පැරැණි අංකවලට යතුරුපැදි ලියාපදිංචි කිරීමෙන් පන්කෝටි පනස් දෙලක්ෂයක් ගසාකාලා

54

විගණනයෙන් එළියට

මෙරටට අනීතිකව හා රේගු සටහන්කරයක් නොමැතිව ආනයනය කරනු ලැබු යතුරුපැදි 91 කින් රුපියල් පන්කෝටි, පනස්දෙලක්ෂ, හත්දහස්හාරසිය හැත්තෑපහක (55,207,475) රේගු ආදායමක් රජයට අහිමිවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම මෙකී යතුරුපැදි සඳහා අධිභාර මුදල් අයකර ගැනීමකින් තොරව වංචනිකව පැරණි අංක යටතේ ලියාපදිංචි සහතික නිකුත් කිරීම හේතුවෙන් අධිභාර ගාස්තු හා නව ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අයකර ගැනීමේ අවස්ථාව අහිමි වීමෙන් රජයට රුපියල් දෙකෝටි දාහතරලක්ෂ, හැත්තෑහය දහසක (21,476,000) ආදායමක් රජයට අහිමිවී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියේ පූර්ව ලියාපදිංචි චැසි හා එන්ජින් අංක වෙනස් කර අනීතිකව මෙකී යතුරුපැදි ආනයනය කොට තිබුණි. පසුව යතුරුපැදිවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර ලියාපදිංචි සහතික නිකුත්කොට තිබුණි. යතුරුපැදිවල එන්ජින් ධාරිතාව සැලකිල්ලට ගත්කළ මෙකී යතුරුපැදි වංලගු රේගු සටහන්කරයක් සහිතව ආනයනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි පහකට වඩා වැඩි රේගු ආදායමක් අහිමිවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.මෝටර් රථ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළ මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment