කෝටි දෙකක කට වහන්න එන නල්ල මලේ නියාමන පනත…

133

සමාජ මාධ්‍ය ස්වකීය අභිමතය පරිදි හැසිරවීමේ අභිලාශය ඇතිව රජය ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව නම් පනත මේ වන විට පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ප්‍රමාණය 50 කට ආසන්න බව දැනගන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සමාජය තුළ මේ වන විට පවතින තොරතුරු සන්නිවේදන මාධ්‍ය ක්‍රම සැලකීමේදී මෙවැනි පනතක් අපේ සමාජයට ඉදිරියේදී කෙසේ බලපෑම් කරනු ඇතිද? මේ ගැන අවධානය යොමු කිරීමේදී මෑතකදී සිදු වූ සිදුවීමක් මතකයට නැගේ. එක හා සමාන එම සිදුවීම දෙක සිදුවන්නේ මෙරට සුප්‍රකට සන්නාම දෙකක් අයිති වෙළෙඳසල් දෙකකය. මේ රටේ පාරිභෝගිකයාට ඉහළ සේවයක් ලබා දෙන අතර තුර ඇති වූ එම හුදකලා සිදුවීම් දෙක ජනතාවට සන්නිවේදනය කළේ මේ ලිපියට මාතෘකාව වන සමාජ මාධ්‍ය හරහාය. මෙරට එකඳු ජාතික පුවත්පතකට හෝ විද්‍යුත් නාලිකාවකට එම සිදුවීම සන්නිවේදනය කිරීමේ හැකියාව නොතිබුණේය. අඩුම තරමේ එම වෙළෙඳසල් ජාලයේ කීර්ති නාමයට හානියක් නොවන සේ “එක්තරා වෙළෙඳසල්” ජාලයක යනුවෙන් හෝ ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ නොතිබිණ. ජාතික පුවත්පත් හෝ විද්‍යුත් නාලිකාවලට එහි වන ආයතනික බැඳීම් හෝ ආචාරධර්ම මත මෙවැනි සිදුවීමක් සන්නිවේදනය කිරීම අපහසු වුවත් කුමන හෝ පුවතක් දැනගැනීමේ අයිතිය ජනතාව සතු අනුල්ලංගනීය අයිතියකි. ප්‍රධාන පෙළේ මාධ්‍යයන්ට කළ නොහැකි එම අඩුව දැන් පුරවාලමින් හිඳින්නේ සමාජ මාධ්‍ය බව මේ සිදුවීම යළිත් සනාථ කළේය.

එවැනි තත්ත්වයක් තුළ මේ රටේ සියලුම මාධ්‍ය තම සිතැඟි ලෙස පාලනය කිරීමට පසුගිය කාලය පුරා ඉව ඇල්ලූ රජය දැන් සාමාජ මාධ්‍ය පාලනය කිරීමටද අත තබා ඇත. එය සමාජය ඉදිරියට එන්නේ සමාජ මාධ්‍ය නියාමනය නැමති කෙටුම්පතක් මගින් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” නැමැති සළුපිළියේ දවටාය. ජීවත් වීම අරඹයා මිනිසුන් තමන්ගේ අවයව විකිණීමේ තැනට වැටී තිබෙන අයුරු පුවත් ඇසෙන රටක, රජය ටක්කෙටම රට හමුවේ ඇති ප්‍රමුඛ ගැටලුව හඳුනාගෙන තිබෙන අයුරු අපූරුය. ඇත්තෙන්ම මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

ඉකුත් දස වසරක කාලය පුරා මෙරට දේශපාලනයේ බොහෝ වෙනස් කම් කිරීමට තීරණාත්මක බලපෑම් කළ එක් පාර්ශ්වයක් වන්නේ සමාජ මාධ්‍යයේ හැසිරීමය. ආසන්නතම උදාහරණය නම් මේ රටේ විදේශ සංචිත හිඳී රට බංකොළොත් වී තිබියදී බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙක් ගෙදර යවන තැනකට ජන මතයක් ගොඩනැඟීමේ ප්‍රබල වාහකය වූයේ සමාජ මාධ්‍ය බවට තර්කයක් නැත. එය හොඳාකාරව දත් පාලක පන්තිය තමන්ට අභියෝගය වූයේ කුමක්දැයි දුටුවේය. වැරදුණ තැන් හිඩැස් වසා ගැනීමේ අවශ්‍යතාව දුටුවේය. ඊට පිළියම් යෙදීමට පිඹුරුපත් සැකසූයේ අරගලය නැමති සමාජ පිපිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වූ දා පටන්ය.

ගිනියම්ව පැවති සමාජ පීඩනය ක්‍රමයෙන් නිවෙන්නට හැර වික්‍රමසිංහ රජය විසින් ගත් එහි පළමු පියවර වූයේ “විද්‍යුත් විකාශන අධිකාරි පනත” නමින් අනියමාකාරයෙන් මාධ්‍යයේ ස්වධීනත්වයට වැට බඳින පනතක් ගෙන ඒමය. එමගින් සෘජුවම රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි ආයතන පාලක පන්තියේ සිතැඟි ලෙස කටයුතු කිරීම ඉලක්ක කෙරිණි. එය සමාජය තුළ විවාදයට බඳුන් වෙමින් තිබියදී එහි උණුසුම යන්නට මත්තෙන් සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ද සිංගප්පූරුවේ මෙන් පනතක් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කළේය. දැන් ඒ බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

වික්‍රමසිංහ මහතාගේ පාලනය නොමැතිනම් ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් කියන ලෙස රනිල් රාජපක්ෂ පාලනය මේ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව නැමැති පනත ගෙනෙන්නේ ලෝකයේම නූතන පරම්පරාවේ ප්‍රබලම සන්නිවේදන ක්‍රමය බවට සමාජ මාධ්‍ය පත්ව තිබියදීය. එමගින් අලුත් පරම්පරාව ලෝකය පිළිබඳ උකහා ගන්නා දැනුම සේම සමාජ මාධ්‍යයේ ඇති වේගවත් සන්නිවේදන හැකියාව අද ලෝකයම එක මිටක් බවට පත්කර ඇත. මේ කරුණු මත පමණක් හිඳ සෙසු පාරම්පරික මාධ්‍ය සියල්ලටම අභියෝගයක් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ ඇත්තේ යහපතක්ම පමණක් බව අපි නොකියමු. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ පෙන්වාදීය හැකි ඕනෑ තරම් අඩු පාඩු ඇත. පුද්ගල කීර්තිනාම හානි කිරීමේ සිට ආගමික ගැටුම් ඇතිකිරීම, දුෂ් තොරතුරු ප්‍රචාරණය, ලිංගික අගතීන් මුදාහැරීම, ජනතාව ප්‍රකෝප ගැන්වීම්, වැරදි පුවත් සන්නිවේදනය සහ සමාජයක් නොමඟ යැවීම දක්වා ව්‍යසනයන් සමාජ මාධ්‍ය තුළින් සිදුවීමේ සම්භාවිතාව පවතී. ඒ නිසාම ඒවා නිවරදි කිරීමක් කළ යුතුය යන්නට විවාදයක්ද නැත. ඒ සඳහා මේ රටටත් පෙර සමාජ මාධ්‍ය ප්‍රබල සන්නිවේදන ක්‍රමයක් වූ ලෝකයේ වෙනත් රටවල සාධනීය ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද? මේ පිළිබඳ අධ්‍යයනයක නියැළී ඇති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාරණ මහතා පසුගියාදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කීවේ මෙයයි.

“සමාජ මාධ්‍ය මගින් වැරදි සිදුවෙනවා. විශාල වශයෙන් වැරදි සිදුවෙනවා. අපහාස කෙරෙනවා. සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි. ජනමාධ්‍ය ඇතුළෙත් වැරදි වෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍ය නමුත් ලෝකෙ කොහෙවත් සමාජ මාධ්‍ය නියාමනයට එහෙම ප්‍රශස්ථ මට්ටමේ ක්‍රමයක් හොයාගෙන නෑ. ඒක මේ ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. ගෝලීයව පවතින තත්ත්වයක්. සන්නිවේදනයට තියෙන බාධාවන් නැති කරන්නෙ නැතිව, මිනිසුන්ගෙ සන්නිවේදන අයිතිය හානිය නැතිකරන්නෙ නැතිව මේකෙ සදාචාර සීමාවන් ආරක්ෂා කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශස්ථ නියාමනය කියල කියන්නෙ. එවැනි ක්‍රමයක් තවම සමාජ මාධ්‍ය හොයාගෙන නෑ. ලෝකයේ මේවයේ හැටිත් එහෙම තමයි. මේ කර්මාන්ත නියාමනය නෙවෙයි ඉස්සෙල්ලා එන්නෙ. ඉස්සෙල්ලා එන්නෙ කර්මාන්තය. කර්මාන්ත ඇවිල්ලා කාලයක් ක්‍රියාත්මක වෙද්දි තමයි නියාමනයට ක්‍රමවේදයක් එන්නෙ. ලෝකය ඒ වෙනුවෙන් තවම ඒකට උත්සහ දරනවා. හැබැයි ඒක රටේ ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කරන උත්සහයක් වෙන්න බෑ. රජය මේ උත්සහ කරන්නෙ සමාජ මාධ්‍ය නියාමනය කියන අවශ්‍යතාව දඩමීමා කරගෙන ඉතාමත්ම දරුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුගාමී පනතක් ගෙන එන්න” යැයි පරණවිතාන මහතා සඳහන් කරන්නේය.

රජයේ යෝජනා කර තිබෙන මේ නියාමන ක්‍රමවේදයද කිසිවකුටත් පිළිගත හැකි දැයි ප්‍රශ්න සහගතය. සමාජ මාධ්‍ය නියාමනය සඳහා ඔවුන් යෝජනා කර තිබෙන්නේ සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත ස්වාධීන කොමිෂන් සභාවකි. මේතාක් ස්වාධීන යැයි නම ඉදිරියෙන් තබාගෙන වැඩකරන කොමිෂන් සභාවලින් සිදුව ඇති සාධාරණත්වය පසෙකින් තැබුවද මේකී මාධ්‍ය නියාමන කොමිෂමට සාමාජිකයන් පත්කරන සැටියෙන් නම් පෙනෙන්නේ එහි ඇති නල්ලමලේ ස්වාධීනත්වයය. සාමාජිකයන් පස්දෙනෙක්ගෙන් යුතු එහි සාමාජිකයන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එහි සභාපති පත් කිරීමේ බලයද ඔහු සතුය. යම් හෙයකින් ජනාධිපතිවරයාගේ සිතැඟි ඉටු නොවූ විට සභාපති ඉවත් කිරීමේ බලයද ජනාධිපතිවරයා යටතටම ගෙන ඇත. ඒ අනුව මේ කොමිෂන් සභාවට තිබෙන්නේ කයක් පමණකි. එම කය පාලනය වන හිත තිබෙන්නේ ජනාධිපතිවරයා ළඟ බව මින් පැහැදිලිය. කොමිෂම ක්‍රියාත්මක වීමේදී එහි තීන්දු තීරණ ගැනීමට සාමාජිකයන් පස්දෙනාගෙන් තිදෙනකුට හැකිය. දැන් ඔබ මෙසේ සිතන්න. ඔබ ෆේස් බුක් හෝ ඉන්ටර්ග්‍රෑම් හෝ වෙනත් කිසියම් සමාජ මාධ්‍යයක පළ කරන ස්වාධීන අදහසක් දරණ මතවාදියෙකි. එම අදහසේ හරි වැරද්ද තීන්දු කරන්නේ මේ සාමාජිකයන්ය. සරලවම මේ කරන්නේ කෝටි දෙකකට වඩා වන මේ රටේ ජනතාවගෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන මිනිසුන්ගේ අදහස් පාලනය කිරීමේ පුදුම බලයක් මේ කොමිෂම මගින් වක්‍රව පාලකයන් අතට ගැනීමය. මේ පිළිබඳ පැවති කථිකාවකදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ එරංග ගුණසේකර පාලකයන් මේ සැරසෙන්නේ කුමකට දැයි විග්‍රහයක් කළේය.

“මේ සාමාජිකයන් පස් දෙනාට බලතල අනුව එකක් තමයි සමාජ ජාල ලියාපදිංචි කළ යුතු වන්නේ ඒ අයගේ කොන්දේසි අනුව. එයාල හිතන ආචාර ධර්ම පද්ධතියකට හැමෝම යටත් විය යුතුයි. ඒකට යටත්ව තමයි ලියාපදිංචිය දෙන්නේ. එහෙම ලියාපදිංචිය මත තමයි ලංකාව තුළ සමාජ මාධ්‍ය කරන්න පුළුවන් වෙන්නේ. අපි කියන අදහස අපි ලියන අදහස හරිද වැරදිද කියල තීරණය කරල ඒකට දඬුවම් පමුණුවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්කරන පස්දෙනෙක්ගේ මේ රූකඩ කමිටුව. මේ ගැසට් එකේ තැන් කිහිපයක තිබෙනවා අසත්‍ය ප්‍රකාශන, තහනම් ප්‍රකාශන කියල. ඒවා මොනවද කියල අර්ථකථනය කරල නෑ. කිවුරු හරි අනාගතයේ විය හැකි සත්‍ය තොරතුරක් ඉදිරිපත් කළත් ඒක දේශපාලන වශයෙන් එයාලට අවාසි සහගත නම් වැරද්දක් කියල තීන්දු කරල ඒ පුද්ගලයට දඬුවම් කරන්න පුළුවන්. එතනදි මේ කොමිෂන් සභාවෙන් අපිට වරදක් වෙලා තිබෙනවා කියල දැණුනත් සිවිල් හා අපරාධ නඩුවක් මේ කොමිෂන් සභාවට එරෙහිව පවරන්න බෑ. මේකෙන් අහිමි වෙන්නෙ අපේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස. ඉතින් මේ හදන්නේ රටේ සිදුවෙන මූල්‍ය වංචා ළමා අපරාධ වළක්වන්න නෙවෙයි. රනිල් රාජපක්ෂගේ දේශපාලනයට අභියෝගයක් වෙන පාර සුද්දකරල හදාගන්න එක.” යැයි ඔහු සෘජුවම චෝදනා කරන්නේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව නමින් ගෙන එන මේ පනතේ අනෙක් භයානක කරුණ නම් මෙමගින් ශ්‍රී ලංකාව ලෝකයේ පසුගාමී රටක් බවට පත්වීමට ඇති ඉඩ කඩය. මෙකී පනතට අනුව සමාජ ජාලා පහසුකම් සපයන ආයතන මෙරට ලියාපදිංචි විය යුතුය. ඒ කියන්නේ ගූගොල් වැනි සමාගම්ද මෙහි ලියාපදිංචිය ගත යුතුව ඇත. රජය එවැනි තීරණයක් ගත්තේ මේ පනත සකස් කරන විට සමාජ ජාල සඳහා සේවා සපයන අන්තර්ජාතික ආයතන සමග සාකඡ්ඡාවක් පැවැත්වූවාට පසුදැයි කිසිවෙක් දන්නේ නැත. එවැනි විටකදී ලෝකයේ කොහෙවත් නැති මේ රජයේ කොන්දේසිවලට යටත් වීම ප්‍රතික්ෂේප කර අදාළ සමාගම් එම සේවා සැපියීම්ද හකුළාගෙන යෑමට අදහස් කළහොත් අපට සමාජ මාධ්‍යයේ දොර වැසී යන්නේය. එවිට ඉදිරි පරම්පරාවට සිදුවන්නේ පාලකයන් කියන දෙයක්ම අසාගෙන දූපත් මානසිකත්වයෙන් ජීවත් වීමටය. රජයට වක්‍රව වුවමනා වන්නේ එයදැයි අප දන්නේ නැත. මීට දශක දෙකකට ඉහතදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතේ මෙවැනිම පනතක් ගෙනාවේ ඔවුන්ට හානිදායක වන මාධ්‍ය මර්දනය කිරීමේ අරමුණ ඇතිවය. නමුත් 1997 වසරේ චන්ද්‍රිකා රජය ගෙනා එම මර්දනකාරී මාධ්‍ය මර්දන පනත ලත් තැනම ලෝප් කිරීමට එවකට ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවට හැකි විය. එදා ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ ශ්‍රී ලංකා විකාශන අධිකාරි පනත් කෙටුම්පත සමස්ථයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය. එවැනි පනතක් ගෙන එන්නේ නම් අඩුම තරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් නොව ජනමත විචාරණයක්ද අවශ්‍ය බව එම ඓතිහාසික තීන්දුවේ සඳහන් විය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබෙන වර්තමාන මාධ්‍ය නියාමන පනතට කවරාකර තීන්දුවක් ලැබේදැයි අපට අනාවැකි කිව නොහැකිය. නමුත් දැන් දැනගන්නට ලැබෙන පරිදි මෙම පනත පිළිබඳ රජය හත්පොලේ ගාගන්නා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරන බව සඳහන්ය. විශේෂයෙන් මෙවැනි වැදගත් කෙටුම්පතක් සකස් කළ කමිටුව පිළිබඳ රජය ඉදිරිපත් කර ඇත්තේ සාවද්‍ය තොරතුරු බව දැනගන්නට ඇත. එය හෙළි වන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම පනත පිළිබඳ රජයෙන් ලබාදී දී තිබෙන ලේඛනවලට අනුවය. එහි දැක්වෙන පරිදි මෙම පනත සකස් කිරීමට ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක ඇතුළු දොළොස්දෙනෙක් ගෙන් යුතු පිරිසක් සහභාගී වී ඇත. නමුත් මෙම ජනාධිපති නීතිඥවරුන් දෙපළම තමන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ එවැනි කමිටුවක් නියෝජනය නොකළ බව දැනටමත් සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේය. එසේ නම් මේ පනත සකස් කළ කෙනෙක් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට රජය අපොහොසත්ව ඇත. නොමැති නම් මේ පනත කමිටුවකින් සකස් කළේ යැයි රජය කියන්නේ අමුම අමු බොරුවක්ය. රජයේ එම ක්‍රියාව පවා සමාජ මාධ්‍ය ඇසුරු කොටගෙන ඇසුරු සැනින් ලෝකය දැනුවත් වෙමින් තිබියදී වක්‍රව එයට වාරණය ගෙන ඒමට සැරසීමම විහිළුවකි. සරලවම අපට කියන්නට ඇත්තේ කෝටි දෙකක ජනතාවගේ අදහස් පස්දෙනෙකුගේ කැමැත්ත මත පාලනය කිරීමට සැරසීමේ කූට උපක්‍රම එතැනින්ම පරාජය වී ඇති බවය. රජයේ එම ක්‍රියාව පවා සමාජ මාධ්‍ය ඇසුරු කොටගෙන ඇසුරු සැනින් ලෝකය දැනුවත් වෙමින් තිබියදී වක්‍රව එයට වාරණය ගෙන ඒමට සැරසෙන පාලකයන්ට එම අතීතය අමතක වී දැයි අප දන්නේ නැත. නමුත් කෝටි දෙකක ජනතාවගේ අදහස් පස්දෙනකුගේ කැමැත්ත මත පාලනය කිරීමේ මේ පනත පරාජය කිරීමට එය කදිම අතීත පූර්වාදර්ශයකි.

****

මේ හදන්නෙ තරුණ හඬ නිහඬ කරන්න

ආචාර්ය රංග කලංසූරීය

මේ පනතේ අන්තර්ගතය දිහා බැලුවම අපිට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති එක්ක මේක සැසඳෙනවද කියල? මොකද එතුමා ජී 07 සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහට

ගිහිල්ලා කියන කතාව නෙමෙයි මේ පනතෙ අපට පේන්න තියෙන්නෙ. මේ පනතේ තියෙන්නෙ දඩයක්කාර ස්වර ස්වරූපයක්. මේ පනත් කෙටුම්පතේ තියෙන්නෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් භය ගන්වන ඒ වගේම ඔවුන්ට සාපරාධී නීතිය පාවච්චි කරල දඬුවම් කිරීමට හදන ස්වරූපයක් මේකෙ පහැදිලිවම පේන්න තියෙන්නෙ. අනික දැන් අපි ඉන්නෙ මැතිවරණ සංක්‍රාන්ති සමයක. මැතිවරණයක් අත ළඟ තියාගෙන ආණ්ඩුවක් ඇයි මේ අන්ජබජල් පනතක් ගේන්නෙ. ඒක ඔවුන්ට

වගේම රටේ මහජනතාවටත් අවාසි සහගතයි. ආණ්ඩුව මේ පනතින් දෙගොල්ලක් පාලනය කරන්න උත්සහ කරනවා. ඒ සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස සහ ඒ සමාගම්. අපි හිතමු මේ පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා කියල. ඒත් කොහාමද මේ සමාගම්වලට මෙතනදී දඬුවම් කරන්නෙ. එයාල මේකට එකඟ වුණේ නැත්නම් එයාලට නඩු දානවද? අනික ලංකාවේ අඩකට වඩා වැඩි පිරිසක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ වැඩි පිරිස තරුණ ප්‍රජාව. මේ හදන්නෙ තරුණ හඬ නිහඬ කරන්න. වෙනසක් ඉල්ලන තරුණ හඬ නිහඬ කරන්න. මේක භයානක පනතක්. ජනාධිපතිවරයා මේ නියාමනය සඳහා පත් කරන කොමිසම ස්වාධීන නෑ.

****

භාෂණයේ සහ ප්‍රකාශන නිදහස අහිමි වෙනවා

නීතිඥ ජගත් වික්‍රමනායක

සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් ගන්නෙ නැතිව මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ අදහස් ගන්නෙ නැතිව මෙහෙම නීතියක් ගේන එක වැරදියි. අන්තර්ජාල වගේම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. භාවිතාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒවාට කිසියම් නියාමනයක අවශ්‍යතාව තියෙනවා. නමුත් මේ ගේන්න හදන්නෙ බරපතළ පනතක්. මේ පනතේ තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක කළොත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්පූර්ණයෙන් ඇහිරෙනවා. මට දකින්න තියෙන දේ අනුව මේ තරම් ඉකිමනින් හදිස්සියේ මේ වගේ පනතක් ගේන්න අවශ්‍යතාවක් නෑ. ඇත්තටම මේ පනත ගේන්න හැදුවේ මීට වසර දෙකකට කලින්. මේ කමිටුවේ සභාපතිවරයා විදියට කටයුතු කළේ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහත්මයා. ඒ අය සංගප්පූරුවේ ගෙනාව පනත පදනම් කරගෙන තමයි මුල් කෙටුම්පත් කරේ. නමුත් පසුකාලීනව ඒක ක්‍රියාත්මක වුණේ නෑ. එවකට රටේ ඇතිවුණ ප්‍රශ්න එක්ක. දැන් මේ අලුතින් තමයි මේක එළියට ඇවිත් තියෙන්නෙ. එදා මේ කමිටුවට අවශ්‍ය වෙලා තිබුණේ අතිශය ස්වාධීන වූ කොමිෂමකින් මේක ක්‍රියාත්මක කරන්න. ඒ ස්වාධීනත්වය නැති වෙන තැනට වැඩ වෙනවා කියල එතුමාට දකින්න ලැබුණාම එතුමත් මේ කමිටුවෙන් ඉවත් වුණා කියල මට කිව්වා. ඒ නිසා වසර මේ ගැන වසර දෙකක් තිස්සෙ සාකච්ඡා වෙලා ආව කෙටුම් පතක් නෙවෙයි. දැන් වෙනස් ස්වරූපයකින් මේ පනත ඇවිත් තියෙන්නෙ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment