නැගී එන කණ්ඩායම් තරගාවලියේ – ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරගය හෙට

467

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් පූර්ව තරගය හෙට (21 වැනිදා) පැවැත්වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න ඊයේ (19 වැනිදා) රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබූ අතර පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයේ ප්‍රතිඵල මත තීරණය වීමට නියමිතව තිබුණි.

ඕමානය සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 217 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ ඊයේ රාත්‍රියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම යි.

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ පළමු කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරඟයට පිවිසෙද්දී බංග්ලාදේශය එම කාණ්ඩය යටතේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් කීය.

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයෙන් මූලික වටයේ ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2 බැගින් ජය ගෙන කණ්ඩායම් 3 ම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමිකර ගත්තද ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේය. ඇෆ්ගනිස්තානයට අඩු ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පෙරේදා ඕමානය සමග පැවැති තරගයේ ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත් අතර ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 42 කට දැවී ගියහ.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 3කට කඩුලු 3ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා ලහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

advertistmentadvertistment
advertistmentadvertistment