ආසියානු මලල ක්‍රීඩා පිටියේ ජය කෙහෙළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැමිණෙති

266

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මලල ක්‍රීඩා පිරිස පෙරේදා (17 දින) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ආසියානු මලල ක්‍රීඩා පිටියේ ජය කෙහෙළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැමිණෙති

ඔවුන් මෙම තරගාවලියේදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එහිදී මීටර් 800 කාන්තා, සහාය දිවීම මීටර් 400×4 සහ මීටර් 400 කාන්තා යන ධාවන ඉසව්වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම මිශ්‍ර සහාය දිවීම මීටර් 400 x 4 සහ කාන්තා සහාය දිවීම මීටර් 400 x 4 ධාවන ඉසව්වලදී රිදී පදක්කම් දිනා ගැනීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිරිස සමත් වී තිබුණි.

ඊට අමතරව මීටර් 800 කාන්තා, හෙල්ල විසි කිරීම කාන්තා සහ මීටර් 1500 යන තරග ඉසව් වලදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම මීටර් 800 කාන්තා, පිරිමි මීටර් 400 x 4 සහාය දිවීම, මිශ්‍ර සහාය දිවීම මීටර් 400 x 4, කාන්තා සහාය දිවීම මීටර් 400 x 4 සහ හෙල්ල විසි කිරීම කාන්තා යන ඉසව් වලදී ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට මෙම තරගාවලියේදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හැකි වී තිබුණි.

එමෙන්ම මීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් සහ මීටර් 400 සහාය දිවීමේ තරගයෙන් ආසියානු වාර්තාවක් තැබීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පෙරේදා රාත්‍රී 09.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්. ඩී. – 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ, ශ්‍රී ලංකා යුධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය, නෑදෑ හිතවතුන්, ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල සිසුන් සහ ගුරුභවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment