ජල හා මළාපවහන ගාස්තුත් ඉහළට – කැබිනට් අනුමැතියත් ලැබෙයි

249

විදුලි ගාස්තුව සියයට 66කින් වැඩිවීම හේතුවයි -ඇමැති ජීවන් තොණ්ඩමන්

විදුලි ගාස්තුව සියයට 66කින් වැඩි කිරීම හේතුවෙන් ජල ගාස්තුව වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

ජනතාවට දැඩි බලපෑමක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩිවීම සිදුවන අතර යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයට ද යවා තිබෙන බව ජාතික සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමනාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 ක් වෙනවා. රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ද ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීමටයි මෙය සිදු කෙරෙන්නේ. ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

පවුලක පස්දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි. ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධිලාභීන්ට බලපෑමක් වෙන්නේ නැහැ. අපි මිනිස්සුන්ගේ බඩට ගහන්නේ නැහැ.

ආරක්‍ෂිත ජල හා සනීපාරක්‍ෂක ක්‍රියාවලිය තහවුරු කරමින් සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු සමග මළාපවහන ගාස්තුද ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය සඛ්‍යතාව හා තිරසරභාවය තහවුරු කිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය එසේ අනුමැතිය ලබා දී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන සහ සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment