ජාතික මහා ක්‍රීඩා උළෙලේ බාලගිරි දෝෂය නිම වේ

245

රට තුළ ඉස්මතු වූ කොරෝනා තත්ත්වය මත 2019 වසරෙන් පසු ජාතික ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට නොහැකිව තිබූ ශ්‍රී ලංකාවේ එම අඩුව යළි පිරවීමට කටයුතු කෙරුණේ 2022 වසරේදීය. එහෙත් කොරෝනා නිසා බැට කා සිටි ශ්‍රී ලංකා ආර්ථිකයට යළි නැගිටීමට 2022 වසරේදී ඉඩක් ලැබුණේ නැත. ඊට හේතු වූයේ කොරෝනා පමණක් නොවේ. වරින්වර රට කරවූ පාලකයන්ගේ අසාර්ථක පාලන ක්‍රමය මෙන්ම ඉහවහා ගිය හොරකම් සහ දූෂණ හේතුවෙන් ද 2022 වසර මෙරට ආර්ථිකය ගමන් කළේ දෙපයින් නොව හොම්බෙනි.

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ලෙස 2022 වසරේදී පවත්වන්නට කටයුතු යෙදුණු ජාතික මහා ක්‍රීඩා උළෙලටද එම ආර්ථික අහේනිය මහා බාධාවක් විය. තරග කරන්නටත් කාලා ඇඳලා ඉන්න ඕනෑය. ඒ අනුව මෙරට තුළ වසරක් පාසා ක්‍රියාත්මක කෙරෙන ලොකුම ක්‍රීඩා සැණකෙළිය ද එම ආර්ථික ගැටලු මත නතර විය. එහෙත් ක්‍රීඩා ඉසව් තුනක් පමණක් ක්‍රියාත්මක විය. මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරගය.

එවර පැවැත්වීමට නොහැකි වූ ඉතිරි ක්‍රීඩා 27 2023 වසර දක්වා කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව 47වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිරි ක්‍රීඩා 27 ලබන මැයි මස 11 සිට අගෝස්තු මස 6 දක්වා කොළඹ, පොලොන්නරුව අනුරාධපුර, මීගමුව ඇතුළු තවත් නගර කීපයක් කේන්ද්‍රකොටගෙන පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. විජේරත්න, ක්‍රීඩා අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට ඒ බව දැනුම් දී ඇත. එම ක්‍රීඩා 27 පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබිණි. එවැනි අවම මුදලක් වැය කරමින් අදාළ ක්‍රීඩා 27 පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැනට සැලසුම් කොට තිබේ. ජාතික ක්‍රීඩා 15ක් ම කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සැලසුම් කොට ඇත. මේ අතර ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රධානතම සහ අවසන් තරග ඉසව් වන ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 4,5 සහ 6 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙහි දැක්වෙන්නේ එම පූර්ණ තරග කාලසටහනයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ බාලගිරි දෝෂය නිම වේ

කුෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment