සාලාවේ ගෙවත්තක තිබූ බර අවි උණ්ඩය පිපිරී සිසුවකුට තුවාල

352

කොස්ගම සාලාව නගරයේ නිවසක මිදුලක තිබූ බර අවි උණ්ඩයක් පිපිරීමෙන් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

පෙරේදා (27 දා) සවස 6.00 ට පමණ කොස්ගම සාලාව නගරයේ අංක 44 දරන නිවසේ පදිංචි ජිනෙන් සමීර අතපත්තු (15) නමැති පාසල් ශිෂ්‍යයා මෙලෙස තුවාල ලබා ඇත. මෙම දරුවා කළුඅග්ගල සාන්ත දොන් බොස්කෝ විදුහලේ ඉගෙනුම ලබයි. මොහු මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම බර අවි උණ්ඩය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

2016 වසරේ සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යෑමේදී අවට නිවාසවලට බර අවි උණ්ඩ පතිත වී තිබිණි. එලෙස පතිත වී තිබූ උණ්ඩ මෙම ගෙහිමියා විසින් මිදුලේ උද්‍යාන අලංකරණයට අසුරා තිබී ඇත.

මෙහිදී පිපිරී ඇත්තේ එලෙස අසුරා තිබූ බර අවි උණ්ඩයකි.

තුවාල ලැබූ දරුවා මුලින්ම සාලාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

කොස්ගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එ්. මාධව මහතාගේ උපදෙස් මත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර එම නිවසේ ඇති සෙසු උණ්ඩ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිෂ්කී‍්‍රය කිරීමට පියවර ගෙන ඇත. මෙවැනි උණ්ඩ ළඟ තබාගෙන සිටින්නේ නම් වහාම සාලාව යුද හමුදා කඳවුරට භාරදෙන ලෙස ද ඉල්ලා සිටී.

එල්. වී. සමරසිංහ – අවිස්සාවේල්ල සහ ලබුගම – ඬේවිඞ් අමරසිංහ සහ ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment