ජීවිත 300ක් බේරාගෙන නියමුවා යානය ආපසු කටුනායකට ගෙන එයි

1925

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය, කාර්මික දෝෂයකට ලක්වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාලයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සිදුවූ බව ඊයේ (29දා) අලුයම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.33-0—300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.455 දරන මෙම ගුවන් යානය 28 දා රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් ජපානයේ නරීටා බලා පිටව ගොස් තිබුණි.

එහෙත් මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදුවන බව, තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම (Indicate) නිසා, ගුවන් නියමුවා විසින් මෙම ගුවන් යානය පැය 02 යි විනාඩි 25 ක ගුවන් ගැනීමකින් අනතුරුව, යළිත් 28දා රාත්‍රී 10.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණි. ගුවන් යානය පැය දෙකකට අධික කාලයක් පියාසර කළේ ඉන්ධන දහනය කළ පසු නිරුපද්‍රිතව ගොඩ බැස්සවීම සඳහාය.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 301 දෙනකු සිට තිබේ.

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට පියවරගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා පැවැසීය.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment