එකඟතාව මත ගෝඨාභයට ජනපති ධුරයේ රැඳී සිටිය හැකි යැයි කිසිදු සහතිකයක් දී නෑ – නීතිඥ සංගමය

437

විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ වන්නේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි බවට තම නීතිඥ සංගමය කිසිදු සහතිකයක් ජනාධිපතිවරයාට ලබාදී නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ.

එසේම රට තුළ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා වාණිජ මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් සිය සංගමය විසින් ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි එකඟ වී ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුව අමතා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිබඳව කරන ලද ප්‍රකාශයක යම් කොටස් කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ අවධානය යොමු වී ඇති බවත් එහිදී අගමැතිවරයා විසින් සිංහල භාෂාවෙන් කරන ලද එම ප්‍රකාශයේ පහත සඳහන් කොටස සාවද්‍ය වන්නා සේම ඉන් එම සිදුවීමේ සැබෑව පිළිබිඹු නොවන බව ද එම සංගමය එකී නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

“ලංකාවේ නීතිවේදී සංගමය තමයි ජනාධිපතිතුමා හම්බවෙලා මැයි 8 වැනිදා ගිවිසුමකට ආවේ. ඔබතුමා 19 වැනි සංශෝධනය ආපහු ගේනවා නම් ඔබතුමා විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා. ඒක ගෙනාව එකේ තියෙනවා. ඒගොල්ලගේ යෝජනාවේ වෙන එකක් නැහැ ඒ ගොල්ල හම්බ වුණා.”

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව තම නීතිඥ සංගමයේ කළමනාකරණ කමිටුව පසුගිය මැයි 8 වැනිදා ජනාධිපති මන්දිරයේදී ඔහු හමුවී ඔහු වෙත යවා තිබූ තම සංගමයේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන යෝජනා පිළිබඳව සාකච්ඡා කළ බවත් එහිදී ඉදිරිපත් වූ ඉල්ලීමක් අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගයේ නියෝජිතයන් ද සමග සාකච්ඡා කළ බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවලට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යළි ස්ථාපිත කිරීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ යෝජනා පමණක් නොව 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් සමන්විත ජාතික රජයක් පිහිටුවීම ඇතුළු යෝජනා කිහිපයක් සහ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ විසින් පිළිගත හැකි අගමැතිවරයකු පත් කිරීම, සියලුම පාර්ශ්වයන් විසින් එකඟ විය යුතු පොදු අවම වැඩසටහනක් සහ සාමාජිකයන් 15 දෙනකුගෙන් යුතු උපදේශක කමිටුවක් පත් කිරීම යන කරුණු ද ඇතුළත් වූ බව ද එකී නිවේදනය මගින් පෙන්වා දී තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා සමග කිසිදු එකඟතාවකට පැමිණ නැති බවත් තම සංගමය යනු වෘත්තියමය සංවිධානයක් වන බැවින් එලෙස ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවක් මතු වී නැති බවත් එමගින් පෙන්වාදී ඇත. පළමු පියවර ලෙස 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාදයකින් තොරව නැවත සම්මත කළ යුතු අතර ඉන්පසුව විධායක සහ ව්‍යවස්ථාදායකය විසින් වගවීම තහවුරු කිරීම සහ දූෂණය පිටුදැකීමේ ජනතා අභිලාෂයන් ඉටු කරන පොදු අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස වන්නේ යැයි ද එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment