කොන්දේසි සහිතව කාන්තාවන්ට රෑ රැකියා

533

සේවා ස්ථානවල ලිංගික හිරිහැර වළක්වන්න දැඩි නීති
IMFයෝජනාද? - නැහැ - ඇමැති කියයි

කොන්දේසි සහිතව රාත්‍රි කාලයේදී කාන්තාවන්ට ආරක්ෂිතව රැකියා කිරීමට ඉඩකඩ සලසමින් හා වර්තමානයට ගැළපෙන පරිදි නව කම්කරු පනතක් සති තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ (14 දා) පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ගෙන ඒමට නියමිත මෙම නව කම්කරු පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය ජනගත කරමිනි. කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති එම උත්සවයට වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සේවා ස්ථාන තුළදී කාන්තාවන්ට සිදුවන ලිංගික හා අනෙකුත් තාඩන පීඩන හා හිරිහැර වැළැක්වීම සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී ඇතැයි ඒ මහතා කීය.

යම් සේවකයකු ස්වෙච්ඡාවෙන් සේවය අතහැර යන්නේ නම් ඒ පිළිබඳව මාසයකට පෙරාතුව සේවා යෝජකයා දැනුම්වත් කළ යුතු බවට නව නීති සකසන බව ද ඒ මහතා පැවසීය.

අතිකාල සේවා හා ගෙවීම් සම්බන්ධයෙන් දැනට පවතින විවිධ ක්‍රමවේද වෙනුවට එක් ක්‍රමවේදයක් සැකසීම, අවම වේතන සම්බන්ධව “ජාතික වේතන කවුන්සිලයක්” ඇති කිරීම, විදේශිකයන් සේවාවල යෙදවීමේදී නියාමනයක් ඇති කිරීම, අර්ධ කාලීන රැකියා කිරීමට නව ක්‍රමයක් හඳුන්වාදීම, පියවරුන් සඳහා පීතෘ නිවාඩු ලබාදීම, සතියකට සේවා කරන දින ගණන දින පහකට සීමා කර සේවක කැමැත්ත මත නම්‍යශිලී වේලාවන් ලබාදීම, විෂමාචාර චෝදනාවලට ලක්වන සේවකයන් සඳහා සේවා යෝජකයා සමඟ නව නෛතික බැඳීමක් ඇති කිරීම ආදී යෝජනා රැසක් නව පනත මගින් හඳුන්වාදීමට නියමිත බව ඇමැතිවරයා කියයි.

දැනට මෙරට ඇතැම් කම්කරු නීති වසර සීයක් දෙසීයක් පරණ ඒවා බව ද මනුෂ නානායක්කාර මහතා එහිදී පැවසීය.

නව කම්කරු පනත ගෙන එන්නේ ජාත්‍යන්තර අරමුදල (අයිඑම්එෆ්) පනවා තිබෙන කොන්දේසි හෝ තානාපති කාර්යාල සකස් කළ යෝජනාවලට අනුව නොවන බවත්, මෙරට විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති, විවිධ පාර්ශ්ව හා මහජන අදහස් හා යෝජනා පදනම් කරගෙන බවත් ඒ මහතා කීය.

මෙම නව යෝජනා ඇතුළත් නව කම්කරු පනත කැබිනට් මණ්ඩලයට, අධිකරණයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති තුනක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද නව කම්කරු යෝජනාවලිය ජනගත කරමින් මනුෂ නානායක්කාර මහතා තවදුරටත් කීවේය.

ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment