දෙදහසක් පණ පිටින් වැළලෙති – මොරොක්කෝවේ භූකම්පනය

462

මිනිසුන්ගේ කෑ ගැහිලි හඬා වැළපීම් දරා ගන්න බැරි තරම්

මොරොක්කෝ රාජධානිය උතුරු අප්‍රිකාවේ පිහිටි රටකි. ජනගහනය මිලියන 32ක් වන අතර වර්ග කි.මී. 710,850 වන බටහිර සහරාව මොරොක්කෝව යටතේ පවතී. බුර්කා ඇඳුම අලෙවිය, නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝව පියවර ගෙන තිබුණේ මීට වසර හයකට පෙරය. 2017 පළවූ වාර්තාවල දැක්වුණේ පැය 48ක් ඇතුළත තමන් සතු ඇඳුම් තොග අවසන් කරන ලෙස ව්‍යාපාරිකයන් වෙත ලිපි යවා තිබුණු බවයි. ආරක්ෂක හේතු මත එම තීරණයට එරට රජය එළඹ තිබිණි. කවරක් නමුත් මොරොක්කෝව ඇති බහුතරයක් මුස්ලිම් ජනතාවක් සිටින රටකි. එහෙත් අද මොරොක්කෝ රාජධානිය මුහුණ දී සිටින්නේ බලපත්‍ර ඛේදයකටය. සිකුරාදා මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ඒකක 6.8 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනය හමුවේ මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 2000 කට අධික පිරිසක්

මියගොස් ඇතැයි එරට රජය කියයි. මේ භූ කම්පනයෙන් පුද්ගලයන් 1,400 කට අධික පිරිසක් බරපතළ තුවාල තිබේ. මෙම කම්පනයේ අපිකේන්ද්‍රය මරාච් සිට කිලෝ මීටර් 71 ක් (සැතපුම් 44) පමණ නිරිතදිගින් පිහිටි හයි ඇට්ලස් කඳුකරයේ කිලෝ මීටර් 18.5 ක් පමණ ගැඹුරින් පිහිටා ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. මෙම සිදුවීම එරට වේලාවෙන් සිකුරාදා රාත්‍රී 11ට පමණ (මෙරට වේලාවෙන් අලුයම 3.41ට පමණ) සිදුව තිබේ. ඉන් මිනිත්තු 19 කට පසුව ඒකක 4.9 ක විශාලත්වයෙන් යුතු පසු කම්පනයක් ද හට ගෙන ඇත. මොරොක්කෝවේ මරාච් සහ දකුණු දිග ප්‍රදේශ කිහිපයක ජනයා මේ විපතින් මියගොස් තිබේ. විපතට පත්වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගම්බඳ ප්‍රදේශ ආශ්‍රිතව සිටින අය බව විශ්වාස කෙරේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ලැහැවුස්, මරාච්, ක්වාර්සාසෙට්, ඇසිලැල්, ෂිශාවා සහ තෙරුදෙන්ත් යන පළාත්වල සහ නාගරාශ්‍රිත ප්‍රදේශවල පුද්ගලයන් භූ කම්පනයෙන් මියගොස් ඇත.

“මිනිස්සු හැමෝම කම්පනයට පත්වෙලා බයවෙලා ඉන්නේ. ළමයි අඬමින් ඉන්නවා දෙමාපියෝ කලබල වෙලා ඉන්නේ,” එරට වැසි අබ්දෙල්හක් එල් අම්‍රානි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි. ඔහු පැවසුවේ විදුලි සැපයුම් සහ දුරකථන සැපයුම් පද්ධතිය මිනිත්තු 10 ක කාලයකට ඇණහිට තිබූ බවයි. භූ කම්පනය හට ගන්නා අවස්ථාවේ මරාච් හි වෙසෙන ෆයිසාල් බදූර් වහනය එලවමින් සිට ඇත. “මම නැවතුණා, මට තේරුණා මොකක්ද වෙන්න යන ව්‍යසනය කියලා, මිනිසුන්ගේ කෑ ගැහිලි වගේම හඬා වැළපීම් දරා ගන්න බැරිතරම් ඔහු කියයි. මොරොක්කෝවේ වෙසෙන බි්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීයකු වෙන මාටින් ජේ අවදි වී තිබුණේ භූ කම්පනයෙන් පසු ඇසුණු බලවත් කෑ ගැසීම් ශබ්ද මගිනි. “පැය දෙකකට පස්සේ දෙවෙනි භූ කම්පනයක් එයි කියලා අනාවැකි පළ කර තිබුණ නිසා බයට, මේ හැන්දෑවේ මොරොක්කෝවේ හැම නගරයකම වගේ බොහෝ දෙනා තමන්ගේ ගෙවල්වලින්, මහල් නිවාසවලින් එළියට ඇවිල්ලා බිම වාඩි වෙලා හිටියා. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඒක එහෙම වුණේ නෑ” ඔහු කියයි. මේ දරාගත නොහැකි විපත හේතුවෙන් එරට රෝහල් පිටතත් රෝගීන් ප්‍රතිකාර කෙරේ. ස්පාඤ්ඤ පුවත් අනුව පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මොරොක්කෝවේ පිහිටි හෝටලය, භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා

රැකවරණය ලබා දෙයි. විශේෂයෙන්ම ගම්බද ගම්මානවල කඩා වැටුණු ගොඩනැඟිලිවල සුන්බුන් යට සිරවී සිටින සම්පූර්ණ පවුල් බේරා ගැනීමට සහන සේවකයන් තවමත් උත්සහ කරමින් සිටී. දැඩි ලෙස පීඩාවට පත්වූ පිරිස් සිටින ප්‍රදේශවලට සහන සේවකයන් සහ උපකරණ යැවීම අරගලයකි. මන්ද මෙම ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ මාර්ග භූමිකම්පාවේ සුන්බුන් නිසා අවහිර වී හෝ හානි වී තිබීම හේතුවෙනි. මොරොක්කෝ මාධ්‍යවේදී හසන් ඇලවුයි දෙවන දිනයටත් මහපාරේ රාත්‍රිය ගතකරන පිරිස් සොයා ගොස් තිබිණි. ඔහුට තම අසල්වැසියා විසින් බේරාගත් කාන්තාවක් හමුව තිබිණි.

භූමිකම්පාවෙන් ඇගේ නිවස සම්පූර්ණයෙන්ම සමතලා වී තිබිණි. ඇගේ කෑගැසීම ඇසුණු සැනින් අසල්වැසියෝ එක්වූහ. පසුව මේ කාන්තාවගේ දිවි බේරාගැනීමට හැකිවිය.

මෙම භූ කම්පනය අසල්වැසි ඇල්ජීරියාවට ද දැනී තිබේ, නමුත් එහි ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති. දිල්ලි නුවරදී ඨ 20 සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ප්‍රජාව මොරොක්කෝවේ සහයට පැමිණෙනු ඇති බවයි. ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍ය පේද්‍ර සැන්චෙස් “මොරොක්කෝවේ විපතට පත් ජනතාවට සහයෝගය” පළ කර තිබිණි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැවසුවේ මෙම පුවත ඇසීමෙන් තමන් “අතිශය කනගාටුවට පත්වූ” බවත්, මොරොක්කෝවට සහය ලබා දෙන බවත්ය. පසුගිය පෙබරවාරි මාසයේ 06 වැනිදා සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් හැට දහසක් මරණයට පත්විය. නිදි පැදුරේ සිටි මිනිසුන් දහස් ගණනකට දිවි අහිමි කළ එම විපත ලොවම කම්පනය කළේය. එය විශාල භූ කම්පනයක් විය. ගාසියාන්ටේප් අසල සිදුවූ කම්පනය ඒකක 7.8ක් ලෙස ගණන් බලා ඇති අතර, එය නිල ප්‍රබලත්ව පරිමාණයෙන් “මහා පරිමාණ” කම්පනයක් ලෙස වර්ගකර තිබිණි. එහි කේන්ද්‍රය සාපේක්ෂ වශයෙන් නොගැඹුරක පිහිටි අතර මතුපිට ගොඩනැඟිලිවලට බරපතළ හානි සිදු කර තිබිණි. මොරොක්කෝ විපත ගැන පැහැදිලි විස්තර ලබා ගැනීම ලෙහෙසි නැත.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment