අවුරුදු 7ක් පැද්ද ජපන් වාහන ගෙන්වන්න අවසර ඉල්ලයි

4591

එක ජපන් මෝටර් රථයක් ආනයනය කරන මිලට, වාහන තුනක්ම ආනයන කළ හැකි ක්‍රමවේදයක් සහිත යෝජනාවලියක් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය විසින් රජයට ඉදිරිපත් කරන ලද බව එම සංගමය කියයි.

එම ක්‍රමවේදය ඇතුළු අදාළ යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකා රේගුවේ ඉලක්කගත බදු ආදායමට කඩිනමින් ළඟාවිය හැකි බව එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ට කීය.

මෙරට රේගු බදු ආදායමෙන් සියයට විස්සක්ම ලැබුණේ වාහන ආනයනයේදී යැයි ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී රේගු නිලධාරීන් හෙළිකර ඇත.

කොරෝනා වසංගතය පැතිරීමත් සමග 2020 වසරේ සිට වාහන ආනයනය නතර කෙරිණි.

මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය අවස්ථා ගණනාවකදීම රජයේ පාර්ශ්වය සමග කළ සාකච්ඡාවලින් පසුව මෙරට ආර්ථික අර්බුදයට බලනොපාන පරිදි වාහන ආනයනය කළ හැකි ක්‍රමවේදයක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ‘දිවයින’ට පැවසීය.

ජපන් වාහන ආනයනයේදී අදාළ නිෂ්පාදිත වසරේ සිට වසර තුනක් ඇතුළත ඒවා ගෙනා යුතු බව දැනට ඇති නීතියයි. නමුත් එම කාලය වසර හතක් දක්වා දීර්ඝ කරන්නේ නම් හොඳ තත්ත්වයේ මෝටර් රථ තුනක්ම එක රථයක් සඳහා වැය කරන මුදලටම ආනයනය කළ හැකි බව ද එම යෝජනාවලියේ ඇතුළත්ය. එසේ ගෙන්වීමේදී රජයට ලැබෙන රේගු බදුවලට වාසියක් වන බවත් මෙරට මෝටර් රථ මිල අඩු වන බවත් කුලතුංග මහතා කීය.

ණයවර ලිපි විවෘත නොකර වාහන ආනයනය, කෙඩිට් ලයින් භාවිතය ආදී තවත් ක්‍රමවේද රැසක් එම යෝජනාවලියේ ඇතුළත්ව තිබෙන බව ද ඒ මහතා කීය.

වාහන ආනයන සීමා ඉවත් නොකළහොත් මෙම වසරේ ඉලක්කගත රේගු බදු ආදායම වන රුපියල් බිලියන 1226 ඉලක්කය වෙත ළඟා විය නොහැකි බව රේගුව ද පවසයි. ඒ අනුව මෙම වසරේ රේගු ආදායම රුපියල් බිලියන 480 ක සීමාවේ රැඳෙන බව ද අධීක්ෂණ කාරක සභාවේදී හෙළිකර ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment