එකම පවුලේ මව, පියා සහ පුතා සමගින් – කැදැල්ලක් සුනු විසුණු කළ තුල්හිරිය අනතුර – ත්‍රිරෝද රිය පැදවූ පියා රට සිට ඇවිත් සති දෙකයි

1201

ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ඊයේ (12 දා) අලුයම වැලි පැටවූ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ මව, පියා සහ පුතා මියගොස් ඇත.

පියා විදේස්ගතව සිට සති දෙකකට පෙර මෙරටට පැමිණි අයකු බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ උඩහිඟුරුවත්ත, කොටුවැල්ල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ඉෂංක මනෝජ් පින්නවල (40), එස්. ඩබ්ලිව්. පී. දිනේෂා ශ්‍රීනානි (39) සහ ජී. ප.ී එච්. ගීත්ම තත්සර (13) යන එකම පවුලේ තිදෙනා ය.

මෙම මව, පියා සහ පුත්‍රයා ගාල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ත්‍රිරෝද රථයෙන් ආපසු නිවස බලා එමින් සිටියදී වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේදී ඊයේ අලුයම 5.40 ට පමණ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි පැටවූ ටිපර් රථයේ ගැටී ඇත. ටිපර් රථය හා ත්‍රිරෝද රථය ගැටෙන අයුරු ඒ ආසන්නයේ පිහිටි නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇතැයි වරකපොල පොලිසිය පවසයි. ත්‍රිරෝද රථය ධාවනය කරමින් සිටි පියාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි.

අනතුර සිදුවූ ටිපර් රථයේ රියැදුරු වරකපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ තුල්හිරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනතුරෙන් මියගිය පියා විදෙස්ගතව සිට සති දෙකකට පමණ පෙර මෙරටට පැමිණ අති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන අතර මව නිවසේ දරුවා සමඟ සිට ඇත. මෙම පවුලේ මියගිය තිදෙනා පමණක් සිට ඇතැයි පොලිසිය පවසයි.

වරකපොල පොලිස් ස්ථානාධිපති චන්දන ප්‍රසාද් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන (34590) වික්‍රමරත්න, (48589) උපාලි යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකරති.
චමින්ද සිල්වා, යූ. කේ. අබේරත්න. වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment