පලාලි අධි ආරක්ෂිත කලාපයේ අක්කර 112ක් මුල් අයිතිකරුවන්ට දෙන්න

113

ජනපති ලේකම් කාර්යාලය යාපනය දිසාපතිට දැනුම් දෙයි

යාපනය පලාලි නැගෙනහිර ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයට අයත්ව තිබූ ඉඩම් අක්කර 112 ක් එම අධි ආරක්ෂිත කලාපයෙන් ඉවත්කොට ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යාපනය දිසාපතිවරයාට ඉකුත් 13 දා දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයක් වශයෙන් මෙම ඉඩම් නිදහස් කෙරෙන බව යාපනය දිසාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව එම ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන හුවමාරුවක් මේ සතියේදී යුද හමුදාව හා යාපනය දිසාපති කාර්යාලය අතර සිදු වීමට නියමිත බවද යාපනය දිසාපතිවරයා කියා සිටියේය.

නිදහස් කිරීමට නියමිත අක්කර 112 තුළ පවුල් 54 ක් යළි පදිංචි කිරීමට නියමිතව ඇති අතර මුලින්ම එම ඉඩම් ප්‍රමාණයේ මැනුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කොට ඇති බව කී දිසාපතිවරයා ඒ සඳහා කොළඹ සිට නිලධාරීන් පිරිසක් මේ සතියේදී යාපනයට පැමිණෙන බවද සඳහන් කළේය. පසුගිය වසරේ සිට මේ දක්වා යාපනයේ ආරක්ෂක අංශ විසින් යුද සමයේදී යාපනයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලබා ගෙන තිබූ ඉඩම් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කොට ජනතාව වෙත ලබාදී තිබේ. එම ඉඩම් තුළ මේ වනවිට ඒවායෙහි මුල් අයිතිකරුවන් යළි පදිංචි කරවීමට යාපනය දිසාපති කාර්යාලයේ පුනරුත්ථාපන අංශය පියවර ගෙන ඇති බවද යාපනය දිසාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment