පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත – සජබ විරුද්ධයි – ජාජබ පක්‍ෂයි

170

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) ඉදිරිපත් කරන ලද පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පතට සමගි ජනබලවේගය විරුද්ධ වුවද ජාතික ජනබලවේගය ඊට පක්‍ෂ යැයි සඳහන් කළේය.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරමින් ඊට අදාළ විවාදය ඊයේ ආරම්භ කළ මොහොතේදීම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නැඟී සිටිමින් ඊට විරුද්ධත්වය පළ කළේය.

අදාළ පනත ආංශික අධීක්‍ෂණ සභාවට ඉදිරිපත් නොකිරීම හා මාධ්‍ය සංවිධාන සියල්ල විරුද්ධ වීමත් ඔවුනට ඒ පිළිබඳ සාකච්ඡුා කිරීමට අවස්ථාව ලබා නොදීමත් නිසා ඊට විරුද්ධ බවත් එය සටහන් කර ගන්නා ලෙසත් කිරිඇල්ල මහතා කීය.

එම පක්‍ෂයේම පත්කළ මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා ද විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් ඊයේ දින පනත් කෙටුම්පත විවාදයට නොගන්නා ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගය පත්කළ මන්ත‍්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙම පනත් කොටුම්පත සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් කියාසිටියේ ඊට විරුද්ධ නැති බවය. එවැනි පනතක් අවශ්‍ය බවත් එහෙත් මාධ්‍ය නිදහස, මාධ්‍ය අයිතීන් ආරක්‍ෂා විය යුතු බවත් ඇය සඳහන් කළාය. ඊට අමතරව තොරතුරු දැන ගැනීමේ අයිතිය ද තහවුරු විය යුතු බවත් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් නැති බවත් මන්ත‍්‍රීවරිය කීවාය.

මෙහිදී පනත් කෙටුම්පත ඉදිරිපත් කළ නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයා කියාසිටියේ පනතට විරුද්ධ කිසිවකු ඊට එරෙහිව උසාවි නොගිය බවත්, මෙම පනත මගින් කිසිසේත්ම මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදුවීමක් නොකරන බවත්ය.

පනතට එරෙහිව උසාවි යෑමට සමගි ජනබලවේගයට අමතක වූ බවත් පනත හදිසියේම ගෙන ආ එකක් නොව වසර 20 ක් පමණ තිස්සේ කතා කරපු පනතක් බවත් නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment