කෝප්, කෝපා සභාපති ධූර විපක්‍ෂයට නොදීමෙන් මුළු රටම අමාරුවේ දැම්මා

145

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

විපක්ෂය විසින් වසර දෙකකට පෙර ඉල්ලා සිටි ආකාරයට කෝප්, කෝපා මෙන්ම රජයේ මුදල් පිළිබද කාරක සභා යන පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුරයන් විපක්ෂයට නොදීමෙන් කතානායක සහ සභානායක මුළු රටම අමාරුවේ දැම්මා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ කාරක සභා හරහා රජයට සහයෝගය ලබා දෙන බව විපක්ෂනායකවරයා සහ අපිත් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදීත් කිව්වා. කාරක සභා වැදගත්කම බොහෝ දෙනා දන්නේ නෑ. 2020 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා ඉල්ලීමක් කෙරුවා. අපි ඒ ඉල්ලීම කළේ ස්ථාවර නියෝග අනුවයි. ස්ථාවර නියෝග 121 යටතේ රජයේ මුදල් පිළිබද මුදල් කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු විය යුත්තේය. නමුත් එදා කථානායකතුමා සහ එවකට සභානායකතුමා ස්ථාවර නියෝග අත්හිටුවලා සභාපතිකම විපක්ෂයට දෙන්නේ නැතිව ආණ්ඩු පක්ෂයටම ලබා ගත්තා. වසර දෙකකට පෙර එදා විපක්ෂයට මේක දුන්නා නම් රටේ ආර්ථික ගමන රට බංකොළොත් වෙන බව වසර දෙකකට කලින් පාර්ලිමේන්තුවට දැන ගන්න අවස්ථාව තිබුණා. අපි මුදල් කාරක සභාවට නම් කළේ හර්ෂ ද සිල්වා. එතුමා පාර්ලිමේන්තුව තුළදී කතා කෙරුවට ඔහු මුදල් කාරක සභාවේ සභාපති වුනා නම් ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකශ කරන කරුණු සඳහා නිල වටිනාකමක් තිබෙනවා. වසර දෙකකට කලින් එදා එතුමාව පත්කර ගත්තා නම් අපිට වසර දෙකකට කලින් රට බංකොලොත් කියලා දැන ගන්න තිබුණා. ඒ වගේම අවුරුද්දකට කලින් අයිඑම්එෆ් යන්න තිබුණා. එදා කතානායකතුමා සහ සභානායකතුමා විශාල අපරාධයක් කළේ. රජය අවසානය දක්වා කිව්වේ ඕන තරම් සල්ලි තියනවා කියලයි. එහෙම කියලා මුළු රටම නොමග යැව්වා.

දියුණු රටවල, මහා බි්‍රතාන්‍ය, ජපානය වැනි ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු කරන රටවල ආණ්ඩුව රට පාලනය කළාට කාරක සභා සඳහා පත් කරන්නේ විපක්ෂයේ නියෝජිතයන්. ඒකට හේතුවක් තියනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි උකුසු ඇස වගේ බලාගෙන ඉන්නේ. රටේ වෙන්නේ මොනවද? කාරක සභා තුළ වෙන්නේ මොනවද කියලා නිතර අවදියෙන් ඉන්නේ. බි්‍රතානයේ ඇමැතිවරයෙක් මට හමුවුන අවස්ථාවක කිව්වා කාරක සභාවලට එන්න කිව්වම එතුමාටත් ගැහෙනවා කියලා. මොකද කාරක සභාවේ ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු නිසා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව රට පාලනය කරනවා. කාරක සභාවේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු අඩුපාඩු පෙන්වලා දෙනවා. ඇත්ත වශයෙන්ම එතකොට මේකේ සමබරතාවයක් තියනවා. නමුත් වසර දෙකකට කලින් අපි ඉල්ලපු කාරක සභා සභාපතිකම රජය ලබා දුන්නේ නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment