ජෙනරාල් ගැටුමෙන් සුඩානය ගිනි ගනී

1070

පුරා වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර හමුදා අත්අඩංගුවට පත්වූයේ මීට වසර හතරකට පෙර එනම් 2019 අප්‍රේල් මාසයේදීය. 1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව සුඩානය පුරා මාස කිහිපයක් උද්ඝෝෂණ පැවැත්විණි. මෙම උද්ඝෝෂණ ඇරඹුණේ 2018 දෙසැම්බර් මාසයේ සිට ඉන්ධන සහ පාන් මිල වැඩිකරන බව රජය නිවේදනය කිරීමත් සමගය. ඔමාර් අල් බෂීර් 1973 ආරාබි-ඊශ්‍රායල යුද්ධයේ දී ඊජිප්තුව වෙනුවෙන් සටන් වැදුණු අතර ඉස්ලාම් ජාතිකයන්ගේ සහයෙන් 1989 දී හමුදා කුමන්ත්‍රණයකින් පසු සුඩානයේ බලය අල්ලා ගනු ලැබීය. එසේම ඔහු ජනපති ලෙස 1990 දී අල්-කයිදා නායක ඔසාමා බින් ලාඩන්ට සුඩානය තුළ රැකවරණය සැලසීම, 2003 සහ 2008 අතර කාලයේ දී සිදුවූ සුඩාන ඩාෆුර් සංහාර සම්බන්ධයෙන් 2009 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ. නමුත් ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. 2011 වසරේ දී දකුණු සුඩානය වෙන් වීමත් සමගම සුඩානයට තෙල් වලින් උපයා ගත් ධනයෙන් 75% ක් පමණ අහිමි විය. සුඩානය දෙකට කිරීම සඳහා කෙළින්ම ඇමෙරිකාව හා බටහිර ලෝකය මැදිහත් වූ බව රහසක් නොවේ. දකුණු සුඩානය වෙනම රටක් බවට පත්වුණේ 2011 ජුලි 9 දාය. එදා මේ දේශය අප්‍රිකාවේ 54 වැනි නිදහස් රාජ්‍යය බවට පත්විය. එමෙන්ම එජා සංවිධානයේ 193 වැනි සාමාජික රට බවට පත්විය. කවරක් නමුත් 2019 දී හිටපු ජනපතිවරයා බලයෙන් පහකළත් එරට හමුදා නායකයන් පවසා සිටියේ ජන සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බවයි.

එහෙත් දැන් සුඩානයේ සිදුවන්නේ කුමක්ද? ඊජිප්තුවට පහළින් පිහිටි විශාල රාජ්‍යය පාලනය කරන්නේ කවුරුන්ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් නැත. එරට අරාජිකත්වය පැතිරෙන්නේ හමුදා ජෙනරාල්වරුන් දෙදෙනකුගේ බලය පිළිබඳව අනවරත අරගලය නිසාවෙනි. මේ මාසයේ සුඩාන පාලනය නැවත ජෙනරාල්වරුන්ගේ බලයෙන් ඉවත්කර සිවිල් නායකයන්ට නියමිතව තිබුණි. එහෙත් සාමකාමී සංක්‍රාන්තියක් සඳහා වූ බලාපොරොත්තුව සෙනසුරාදා අලුයම බිඳ වැටුණේ බලවත්ම හමුදා නායකයන් වන හමුදා ප්‍රධානී, ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ බලගතු කඩිනම් ආධාරක හමුදාවේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් ජෙනරාල් මොහොමඩ් හම්දාන් අතර සබඳතා පළුදු වීමෙනි. ජෙනරාල් අල්-බුර්හාන් 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට නායකයා ලෙස කටයුතු කළ අතර ජෙනරාල් මොහොමඩ් හම්දාන් එරට නියෝජ්‍ය නායකයා විය.

සෙනසුරාදා සිට සුඩාන හමුදාවට එරෙහිව සටන් වදින කඩිනම් ආධාරක හමුදාව 2013 දී පිහිටුවන ලද අතර එහි මූලාරම්භය ඇත්තේ ඩාර්ෆූර්හි කැරලිකරුවන්ට එරෙහිව දරුණු ලෙස ලෙස සටන් කළ කුප්‍රකට ජන්ජාවීඩ් අතුරු හමුදාවෙනි. 2019 ජුනි මාසයේදී විරෝධතාකරුවන් 120 කට වැඩි පිරිසක් සමූල ඝාතනය කිරීම ඇතුළුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද මෙම අතුරු හමුදාවට චෝදනා එල්ලවී ඇත. එරට හමුදාවෙන් පිටත මෙවැනි ප්‍රබල බලවේගයක් සහිත අතුරු හමුදාවක් බිහිවීම සුඩානය තුළ බලවත් අස්ථාවරත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. දැන් අතුරු හමුදාවේ භට පිරිස් සුඩාන හමුදාවේ මෙන්ම එරට ස්ථානගත කර සිටින ඊජිප්තු හමුදාවේ කණ්ඩායම්ද අත්අඩංගුවට ගෙන ඇත. දෙපාර්ශ්වයේ ගැටුම් වලින් එක්සත් ජාතීන්ගේ සහන සේවකයන්ද මියගොස් ඇත. සෙනසුරාදා දිනයේ සුඩාන අගනුවර වන කාර්ටූම් හි හමුදා කඳවුරක ඇති වූ ගැටුම් ඉක්මනින් ජනාධිපති මන්දිරය, ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රාජ්‍ය රූපවාහිනි මූලස්ථානය දක්වා පැතිර ගියේය. පිපිරුම් හඬ සහ යුද ගුවන් යානා අගනුවර ඉහළින් වේගයෙන් පියාඹන විට සුඩාන වැසියෝ තම නිවෙස් තුළට රිංගුවේ භීතියෙනි. ඊයේ නිකුත් කෙරුණු එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිව ඇත්තේ එරට ගැටුම් නිසා
පනස් දෙනකු මිය ගොස් තවත් 400 දෙනකු තුවාල ලබා ඇති බවයි.

වත්මන් සටන 2019 දී දිගු කලක් බලයේ සිටි ජනාධිපති ඕමාර් අල්-බෂීර් බලයෙන් පහකිරීමෙන් පසුව ඇති වූ එරට ඇතිවූ දේශපාලන සමාජ හා හමුදාමය ආතතීන්ගේ නවතම කථාංගයයි. ඕමාර් අල්-බෂීර් දශක තුනකට ආසන්න පාලනය අවසන් කරන ලෙස ඉල්ලා විශාල වීදි විරෝධතා පැවති අතර හමුදාව ඔහුගෙන් මිදීමට කුමන්ත්‍රණයක් දියත් කළේය. නමුත් සිවිල් ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කරා ගමන් කිරීමේ සැලැස්මේ කාර්යභාරයක් ඉටු කරන ලෙසයි. පසුව ඒකාබද්ධ හමුදා-සිවිල් රජයක් පිහිටුවන ලද නමුත් එය 2021 ඔක්තෝබර් මාසයේදී තවත් කුමන්ත්‍රණයකින් පෙරලා දමන ලදී. එතැන් සිට ජෙනරාල් බර්හාන් සහ ජෙනරල් මොහොමඩ් හම්දාන් අතර එදිරිවාදිකම් තීව්‍ර විය. ඇත්තෙන්ම හමුදාව හා අතුරු හමුදාව අතර ගැටුමක් හට ගත්තේ මොහොමඩ් හම්දාන් ගේ නායකත්වයෙන් යුත් අතුරු හමුදාව එරට ප්‍රධාන හමුදා බළකායන්ට ඒකාබද්ධ කළ යුතු ආකාරය සහ ක්‍රියාවලිය අධීක්ෂණය කළ යුත්තේ කුමන අධිකාරියද යන්න පිළිබඳ එකඟතාවකට එළඹීමට නොහැකි වීමෙනි. දෙපාර්ශ්වයම අනවරත බල අරගලයක යෙදෙන බව රහසක් නොවේ. එයින් විනාශ වන්නේ සුඩානය නමැති රාජ්‍ය හා එරට වැසියන්ය. අතුරු බළකාය සතුව ඇති භටයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවයි.

මේ අතර හමුදාවට එරෙහිව සිය අතුරු හමුදාව මෙහෙයවන ජෙනරල් මොහොමඩ් හම්දාන් පවසා ඇත්තේ වසර දෙකකට පෙර සිවිල් ආණ්ඩුව පෙරළා දැමීම “වැරදීමක්” බවයි. එසේම 2021 කුමන්ත්‍රණයෙන් පසු හිටපු පාලක ඕමාර් අල්-බෂීර්ගේ ආධාරකරුවන්ට දේශපාලන වාසි අත් වූ බව හෙතෙම කියයි. 2019 දී බෂීර් බලයෙන් පහ කළ දා සිට සිවිල් පාලනයට සංක්‍රමණය වීම අඩපණ කළ බවට හමුදා නායකයන්ට චෝදනා එල්ල විය. හෙමෙටි ලෙසින් පුළුල්ව හැඳින්වෙන ජෙනරල් හම්දාන් රූපවාහිනී කථාවකදී පැවසුවේ: “හමුදා කුමන්ත්‍රණය හිටපු පාලනයේ බලවත් කණ්ඩායම්වලට නැවත පැමිණීමේ දොරටුවක් වී ඇති බවයි. දශක තුනකට ආසන්න කාලයක් රට පාලනය කළ අත්අඩංගුවේ පසුවන හිටපු නායක බෂීර්ගේ සගයන් යළිත් දේශපාලන ස්ථාවරය ලබා ගනිමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය. මේ අතුරු හමුදා නායකයා හමුදාවට එරෙහිව සටන් මෙහෙයවන්නේ යළි බෂීර්ගේ සගයන් බලය අල්ලා ගැනීමට එරෙහිවද? මෙයට නිසි පැහැදිලි කිරීමක් නම් නැත.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ අනෙකුත් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් සුඩානයේ ප්‍රචණ්ඩත්වය පුපුරා යෑම පිළිබඳව කනස්සල්ල පළ තිබේ. “ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙසත්, තවදුරටත් උත්සන්න වීම හෝ හමුදා බලමුළු ගැන්වීම් වළක්වා ගැනීමටත්, කැපී පෙනෙන ගැටලු විසඳීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යන ලෙසත් අපි සියලුම ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්; යුරෝපීය සංගමයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික ජෝසෙප් බොරෙල්; අප්‍රිකානු සංගමයේ කොමිසමේ ප්‍රධානියා වනමුසා ෆකි මහමත්, අරාබි ලීගයේ ප්‍රධානියා, අහමඩ් අබුල් ගයිට්; සහ කටාර් රාජ්‍යය ඇතුළු සියල්ලෝම මේ ගැටුම් නවතා සියලු පාර්ශ්ව සටන් විරාමයක් සඳහා එළඹෙන ලෙස අයාචනා කර තිබේ. ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයේ සටන් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් එරට දේශපාලන විසඳුමක් සඳහා එක්වන ලෙසත්ය. 2021 කුමන්ත්‍රණයෙන් බලයෙන් පහ කරන ලද හිටපු අගමැති අබ්දල්ලා හම්ඩොක් පවසන්නේ මේ සටන් උත්සන්න වුවහොත් කලාපීය ගැටුමක් ඇතිවිය හැකි බවයි. මන්ද දැනටමත් එජිප්තු හමුදා භටයන් අතුරු හමුදාවේ අත්අඩංගුවට ගෙන ඇති නිසාය. එය මේ ප්‍රශ්නය උඩු යටිකුරු කරනු ඇත. වොෂින්ටන්යේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන කැමරන් හඩ්සන් අල් ජසීරා රූපවාහිනි වෙත ප්‍රකාශ කර තිබුණේ සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මෙන්ම එරට ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම වඩා වැදගත් බවයි. එය ඉක්මනින් සිදුවිය යුතු බව ඔහුගේ අදහසයි. කෙසේවෙතත් මේ ගැටුම් නිරාකරණය සඳහා වොෂින්ටන් පාලනයට වඩා හොඳින් මැදිහත් විය හැකි බව කැමරන් හඩ්සන් පවසයි.

ඇත්තෙන්ම 2011 වසරේදී දකුණු සුඩානය වෙන් වීමට ප්‍රථම සුඩානය විශාලතම අප්‍රිකානු රට විය. එනම් අප්‍රිකානු මහද්වීපයෙන් 8% වඩා බිම් ප්‍රදේශයක් ආවරණය කරනු ලැබුවේ මෙරටය. ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 2% පමණ භූමි ප්‍රමාණයක් මෙරටට හිමිව තිබිණි. කෙසේ නමුත් 2011 වසරේ සිදු වූ වෙන් වීමත් සමඟම මෙම තත්ත්වය ආපසු හැරිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment