කොටි හිතවාදීන් කලබලයට පත් කළ තානාපතිනියගේ විජිනිපත් පූජාව

2792

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පසුගිය ජුනි මාසයේ සිය රටේ සංචාරයක් සඳහා ගිය අතරතුර උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් පුවතක් ඒ දිනවල මාධ්‍ය ඔස්සේ පලවී තිබිණි. එහිදී උපරතන නායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජුලී චන්ග් මහත්මිය එක්සත් ජනපදය තුළ බෞද්ධ කටයුතුවල නිරත වෙමින් සිදුකරන ආගමික හා සමාජීය මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට සිය ප්‍රසාදය පළකර සිටි බවත් එම පුවතේ සඳහන්ව තිබිණි. උපරතන නායක හිමිපාණන් විසින් තානාපතිනියට පිරිත් නූලක් බඳින ඡායාරූපයක් ද මේ සමග පලව තිබිණි. නමුත් ඒ ගැන කලබලවූ පිරිසක් ගැන අසන්නට දකින්නට ලැබුණේ නැත. එහෙත් පසුගියදා කෝට්ටේ රජමහා විහාරයේ පැවති උත්සවයකදී ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය විසින් පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමියන්ට විජිනිපත ප්‍රදානය කිරීම ගැන කොටි හිතවාදීන් කලබලයට පත්ව ඇත. කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුණේ US Ambassador kneels before Sinhala Buddhist monk යනුවෙනි. ඇමෙරිකානු තානාපතිවරිය සිංහල බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ දණගැසීම ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් වී තිබිණි. මෙරට මහා සම්ප්‍රදායට ගරු කිරීම කවර රටක තානාපතිවරයෙක් වුවද සිදු කළ යුතුය. ඒ ගැන තර්කයක් නම් නැත. මහා සම්ප්‍රදායට ගරු නොකරන දේශීය මෙන්ම විදේශීය ප්‍රබලයන් නිසා මෙරට ප්‍රශ්න වැඩිව තිබේ. කවරක් නමුත් 50 හැවිරිදි ජුලී චන්ග් මහත්මිය 2022 පෙබරවාරි මාසයේ සිට මෙරට ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කරයි.

ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ කෝට්ටේ උත්සවය පිළිබඳව මෙලෙස සඳහන්ව තිබිණි.” සිංහල බෞද්ධ ආගමික බහුතරවාදයේ බලපෑම් ගැන නොතකමින් කෝට්ටේ පාර්ශ්වයේ නව ප්‍රධාන සංඝනායක පදවියට තලංගම දේවානන්ද හිමි පත්කිරීමේ උත්සවයකට ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සහභාගි විය. කලින් ට්විටර් ලෙස හැඳින්වූ එක්ස්හි තානාපතිනිය බෞද්ධ හිමිවරුන් දිරියේ දණින් වැටී සිටින ඡායාරූපයක් ඇතුළත් චාරිත්‍රයට සහභාගි වීමට හැකිවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගැනීමට අපොහොසත් වන පුද්ගලයන් මෙරට රැඳී නොසිටිය යුතු බව මීට පෙර කෝට්ටේ පාර්ශ්වයේ මහ නාහිමියන් ප්‍රකාශ කර තිබුණි. ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව කිතුනුවන්ට, හින්දුවරුන්ට සහ මුස්ලිම්වරුන්ට එරෙහිව ආගමික අභිප්‍රේරිත ප්‍රහාර ගණනාවක් වාර්තා කරමින් ආගමික අකටයුතුකම් පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිකල් සන්ධානය උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරන්නේ, “බොහෝ සිදුවීම්වලදී ක්‍රිස්තියානි පල්ලිවලට බෞද්ධ කණ්ඩායම් විසින් බිය ගැන්වීම් හෝ ප්‍රහාර එල්ල කළ අවස්ථා වලදී, පොලිසිය නිහඬ විය. (උපුටා ගැනීම අවසන්) කොටි හිතවාදීන් කියන ආකාරයේ ප්‍රකාශයක් කෝට්ටේ පාර්ශ්වයේ මහ නාහිමියන් සිදු කළේද නැද්ද යන්න ගැන අප දන්නේ නැත. නමුත් කොටි හිතවාදී බලවේග මෙරට මහා සංස්කෘතික ප්‍රවාහයට එරෙහි කොටසක් බව අමතුවෙන් කිවයුතු නැත. ඇමෙරිකානු තානාපතිනියගේ මෙරට ක්‍රියාකාරකම් ගැන විවිධ විවේචන පවතින බව රහසක් නොවේ. ඇය ඇමෙරිකානු බලපරාක්‍රමය වුවමනාවටත් වඩා මෙරට මත පටවන්නට හදයි. එහෙත් ඇය පිරිනැමූ විජිනිපත ගැන කිසිවකු ප්‍රශ්නයක් ඇතිකරගත යුතු නැත.

කොටි හිතවාදීන් කලබලයට පත් කළ තානාපතිනියගේ විජිනිපත් පූජාව

ඇමෙරිකානු තානාපතිනිය කෝට්ටේ රජමහා විහාරයට පැමිණියේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් ලංකාරාමය, ඇමෙරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරය, ඇමෙරිකාවේ බ්‍රයන් ඔහායෝ නගරයේ පිහිටි මෛත්‍රී විහාරය යන විහාරත්‍රයේ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරී තලංගම දේවානන්ද නාහිමියන්ට ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්‍රාන්තයන්හි ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සවයටය. එහිදී තානාපතිනිය අතින් ප්‍රධාන සංඝනායක ධුරයට අදාළ විජිනිපත පිරිනමනු ලැබීය. එය මෙරට ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු තානාපතිවරයෙක් හෝ වරියක් විසින් සිදුකරනු ලැබූ විජිනිපත් උපහාරයයි. මේ ගැන තලංගම දේවානන්ද නාහිමියෝ මෙලෙස අදහස් දැක්වූහ.

පන්සල කියන්නේ පොදු තැනක් එතනට දේශපාලනය අවශ්‍යය නැහැ. මේ උත්සවයේදී ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර හා මධ්‍යම ප්‍රාන්තයන්හි ප්‍රධාන සංඝනායකකම වෙනුවෙන්. එම නිසාම අපි මේ උත්සවය සඳහා ඇමෙරිකානු තානාපතිනියට ආරාධනා කළා. එතුමිය බොහෝ කැමැත්තෙන් එය භාර ගත්තා. මෙවැනි කටයුත්තක් සිදු කළ පළමු ඇමෙරිකානු තානාපති ලෙස ඇය ඉතිහාසගත වෙනවා. මේ හරහා මේ රටේ බෞද්ධ ප්‍රජාව ගැන ධර්මය ගැන ලොව පුරා අවධානයට ලක්වෙනවා. තානාපතිනිය බොහෝ ගෞරවයෙන් විජිනිපත පූජා කළා. මේ උත්සවය සඳහා රටවල් 17ක බෞද්ධයන් සහභාගි වුණා. ඇමෙරිකානු බෞද්ධයන් මෙහෙ ඇවිල්ලා උඩරට නිලමේ ඇඳුම ඇඳන් පෙරහැරට සහභාගි වුණා. ඔවුන්ගේ සමහරු බෞද්ධ නම් පවා අරගෙන තියන කට්ටිය ඇමෙරිකාවේ ඔහායෝ පල්ලියක් මට ලබා දීල තියනවා. භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. මේ හරහා දෙරටේ මිතුදම තරවෙනවා. අපි කිසිම වෙලාවක ආගම වෙනස් කරන්න යන්නේ නැහැ කිසිවකුගේ. ඔවුන් අපි ගාවට එන්නේ තමන්ගේම අවබෝධයෙන්. මේ හරහා අපේ රට ගැන වඩා හොඳ පණිවුඩයක් යනවා ඒකයි වැදගත්. මෙරට බෞද්ධයන් වෙනුවෙන් අපි විදේශීය බෞද්ධයන්ගේ සහය අරගෙන නොයෙක් කටයුතු කරනවා. මේ තනතුර හරහා ඉදිරියේදී ඒ කටයුතු තවත් හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙනවා.

බොහෝවිට ඇමෙරිකානු තානාපති අංශ ගැන සාකච්ඡා කරන විට ඔවුන්ගෙන් මෙරටට සිදුවන බලපෑම් විශේෂයෙන් ආණ්ඩු වෙනස් කිරීම සඳහා ඔවුන්ගේ උපක්‍රම ගැන අවධානය යොමුවෙයි. නමුත් මෙවර අවධානය යොමුවූයේ විජිනිපත දෙසයි. ලංකාවට එරෙහි බලවේග විජිනිපත දැක බියවන්නේ ඇමෙරිකානු තානාපතිනියද මෙරට මහා සංස්කෘතියට නිසි ගෞරවයක් ලබා දෙන නිසාය. එය අවංක ද නැද්ද යන්න වෙනමම කතා කළ යුතුය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ හා ජුලී චන්ග්ගේ අරගල කතා මේ විජිනිපත නිසා යට යන්නේද නැත. නමුත් කුඩා රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බලවතුන් හා විරසකවීම සුදුසු දෙයක් නම් නොවේ. ඇමෙරිකාව හා ඉන්දියාව එකට සිට ලංකාවේ චීන ව්‍යාපෘතිවලට එරෙහි වෙයි. දිල්ලිය මෙරට චීන ක්‍රියාකාරකම් ගැන ඕනෑවටත් වඩා උනන්දු වෙයි. ඉන්දීය චීන විරෝධය හසුරුවන්නේ ඇමෙරිකාව මගිනි. එහෙත් කෝට්ටේ පන්සලේ උත්සවයට පැමිණි ඇමෙරිකානු තානාපතිනිය වඩා හොඳ පණිවුඩයක් ලබා දී ඇති බව පැහැදිලිය. ඒ ගැන අපේ විවේචනයක් නම් නැත.

සිංහල බුද්ධාගමට ජාතිකත්වයද වැදගත් වෙයි. ජාතිය යනු පැහැදිලිවම සම්මුතියකි. සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. ජාතිකත්වයෙන් සංස්කෘතිය ආරක්ෂා වන අතර සංස්කෘතියෙන් ජාතිකත්වය පෝෂණය වෙයි. කවුරුන් හෝ සිංහල බුද්ධාගම යට ගසන්නට උත්සහ ගනී නම් එය කිසිලෙසකින්වත් සිදු කළ හැකි දෙයක් නම් නොවේ, යම් යම් පසුබැසීම් සිදු වුවත් මේ ප්‍රපංචය පරාජය කළ නොහැකිය. සිංහල බුද්ධාගම සුරක්ෂිතවීමට නම් රට ස්ථාවරව පැවතිය යුතුය. අරගලය සිදු කෙරුණේ මේ මහා සම්ප්‍රදායට එරෙහිවය. නමුත් දැන් අරගලකරුවෝ සැඟවී ඇති නිසා මහා සම්ප්‍රදාය යළි නැගී සිටියි. ඇමෙරිකානු තානාපතිනිය දණ ගසන්නේද ඒ නිසාමය. ධර්මය සුරැකෙන්නේ නම් රටත් සුරැකේ. අද මහා සංඝරත්නයට ඒ සඳහා වැඩි වගකීමක් ඇත. අපේ උරුමය සංස්කෘතිය රකින්නට වෙන කවුරු හෝ එන්නේ නැත. එය අපම විසින් සුරක්ෂිත කර ගත යුතුය. ධර්මයෙහි ඇත්තේ උපයෝගිතාත්මක වටිනාකමකි. එනම් අවශ්‍යතාව සඳහා යොදා ගැනීමේ අගයයි. එය කර තබාගැනීමට හෝ බදා ගැනීමට හෝ පුද පූජා පැවැත්වීමට හෝ නොවේ. හරියටම පහුරක් මෙනි. පහුර ගඟ තරණය කරනු සඳහාය, ගඟ තරණය කළ පසු පහුරට වැඳ පුදන්නෙක් නැත. කරතබාගෙන යන්නෙක් ද නැත. බුදුන් වහන්සේ විසින්ම එය පැහැදිළිව පවසා ඇත. (කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය.) මෙය භික්ෂූන්ටම දේශනා කරන ලද්දක් වීම විශේෂය. අධර්මයෙන් ජීවත්වීම ය, ධර්මයෙන් මරණය ය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම් යැයි ධර්මයේ සඳහන්ව ඇත. මනුෂ්‍යයෝ පරලොව යහපත – පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ස්වල්ප වශයෙනි. රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍රය නොහඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැඟිල්ලක් සේ දුබල ය. මේ සියල්ල විජිනිපත හා සම්බන්ධය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment