තරබාරුව සහ කෙට්ටුව මට්ටු කරන හැටි

354

වර්තමානයේ බොහෝ දෙනෙක් රෝගී වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අප තුළ පවතින උද්ධච්ඡකමය. මෙම උද්ධච්ඡකම නිසා පෝෂ්‍යදායී දේශීය ආහාර පාන ගැනීම පසෙකලා කෘත්‍රිම රසකාරක සහිත පෝෂණයෙන් අඩු ආහාර පාන ගැනීමට හුරුව සිටිති. ඉන් සිරුරට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා රෝගී වෙති.

මෙහිදී එක් පිරිසක් අධික තරබාරුව නිසා රෝගී වෙති. තවත් පිරිසක් අධික ලෙස කෙට්ටු වීම නිසා රෝගීන් බවට පත් වෙති.

● තරබාරුවට සහ කෙට්ටු වීමට බලපාන ප්‍රධාන හේතු

තරබාරු වීමට සහ කෙට්ටු වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් ඇත. පළමු හේතුව සිරුරේ හෝමෝන අසමතුලිත තාවයයි. මෙම හෝමෝන අසමතුලිතතාවය නිසා තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති වේ. මෙය තරබාරුවට සහ කෙට්ටු වීමට සෘජුවම බලපායි.

දෙවැනි හේතුව ආහාර ගැනීමේ වැරදි පිළිවෙතය. මෙම වැරදි පිළිවෙත නිසා සමබල ආහාර වේලක් වෙනුවට පිෂ්ඨය සහ මේදය අධිකව පවතින ආහාර වැඩිපුර ගනිති. ඉන් සිරුරට අවශ්‍ය ප්‍රෝටින් විටමින් ආදිය අඩු වීම නිසා හෝමෝන අසමතුලිත හටගනි. එසේම දෙමාපිය ජාන වල බලපෑම ද තරබාරු බව සහ කෙට්ටු වීමට බලපායි. තෙවැනි හේතුව නිසි ලෙස සිරුරට ව්‍යායාම නොලැබීමය.

● තරබාරු වීම පාලනය

සිරුරේ තරබාරු පාලනය කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය වන්නේ සමබල ආහාර වේලක් ගැනීමය. එවිට තරබාරු වීමට බලපාන අධික සීනි සහිත, අධික ලුණු සහිත අධික මේදය සහිත ආහාර වර්ග ගැනීම පාලනය කර ගත හැකිය. ඒ සඳහා ධාන්‍ය වර්ග, පලා වර්ග, එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය.

කිසිවිටෙකත් ප්‍රධාන ආහාර වේල් තුන සීමා නොකළ යුතුය. කළ යුත්තේ එම ආහාර වේල් තුන සඳහා ගනු ලබන ආහාර පාන ප්‍රමාණය පාලනය කිරීමය.

උදෑසන ආහාර වේලට ධාන්‍ය වර්ග, අල වර්ග ආදිය එක් කර ගත හැකිය. විශේෂයෙන්ම අල වර්ග ආහාරයට ගත යුත්තේ උදෑසන ආහාර සමගය. එහි සීනි බහුල නිසා ශරීරයට ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගනී. එවැනි ආහාර ගත යුත්තේ වැඩි වේලාවක් අවදිව සිටින කාලය තුළය. එසේම උදෑසන ආහාර වේලට මුංඇට ආහාරයට ගැනීම සුදුසුය. මුංඇට සිරුරට ජීර්ණය විමට වැඩි කාලයක් ගත වේ. ඒ නිසා උදෑසනට එවැනි ධාන්‍ය වර්ගයක් ගැනීම කෙට්ටු වීම සඳහා ඉතා හොඳින් බලපායි.

දිවා ආහාර වේලට එළවළු, පලා වර්ග වැඩිපුර එක්කර ගෙන බත් අඩුවෙන් ආහාරයට ගත යුතුය.

රාත්‍රියට ගත යුත්තේ සැහැල්ලු ආහාරයකි. ඒ සඳහා එළවළු කිහිපයක් තම්බා ආහාරයට ගැනීම, සුප් වර්ගයක්, කැඳ වර්ගයක් ආහාරයට ගත හැකිය. කැඳ වර්ග ලෙස කුරක්කන්, මුංඇට, රුලං ආදිය භාවිතා කළ හැකිය.

රාත්‍රියට බර ආහාරයක් ගැනීම නිසා ඒවා ජිර්ණය සඳහා සිරුර වෙහෙසවීමේදී හදවතේ ක්‍රියාකාරීත්වය ද වැඩි වේ. සාමාන්‍යයෙන් හදවතට රාත්‍රියට විවේකයක් අවශ්‍යය. මෙලෙස අනවශ්‍ය ලෙස හදවත වෙහෙස කරවීම නිසා හෘදයාබාධ ඇති විය හැකිය.

● කෙට්ටු වීම පාලනය

තරබාරුව මෙන්ම අධික ලෙස කෙට්ටු වීම ද රෝගී තත්ත්වයකි. කෙට්ටු වීම යනු සිරුරට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිරුරේ නිසි වර්ධනයක් සිදු නොවීමය.

එබැවින් කෙට්ටු වීම ද පාලනය කළ යුතුය.

ඒ සඳහා පෝෂ්‍යදායී බව වැඩි කළ ආහාර වර්ග ලබාගත යුතුය. එහිදී සම්බෝලයක් සාදාගන්නා විට ඊට සූදු ලූනු, ඉඟුරු, රම්පෙ, කරපිංචා, රතු ලූනු, දෙහි ඇඹුල් ආදිය ද එක්කර ගත යුතුය.

සිරුරට හොඳින් ආහාර ජීර්ණය කර ගැනීමට හැකි වන පරිදි ආහාර ජීර්ණ පද්ධතිය නිසි ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගත යුතුය. ඒ සඳහා නිසි වේලාවට පණු බෙහෙත් ගැනීම, තැම්බුම් හොද්දක් පානය කිරීම කළ යුතුය. ඉඟුරු සුදු ලූනු, කොත්තමල්ලි, රතු ලූනු, කරපිංචා, ගම්මිරිස් ආදිය යොදා මෙම තැම්බුම් හොද්ද සාදාගත හැකිය.

එසේම දිනපතා පළා වර්ග ආහාරයට ගත යුතුය.

මෙමගින් ආහාර ජීර්ණය හොඳින් සිදුවීමත් සිරුරේ හෝමෝන සමතුලිත බව රැක ගැනීමටත් හැකියාව ඇති කර ගත හැකිය. මේ සඳහා මඤ්ඤොක්කා කොළ,

ගොටුකොළ, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න ආදිය ගත හැකිය. දිනපතා ආහාර වේලට මුංඇට, කවුපි, කුරක්කන්, කඩල ආදී ධාන්‍ය වර්ග එක්කර ගැනීමෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වේ.

තරබාරුව අඩු කර ගැනීමටත් කෙට්ටු වීම මට්ටු කර ගැනීමටත් ආහාර පාලනයේදී බොහෝ දෙනාට මතුවන ගැටලුවක් වන්නේ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීම නිසා කුසගින්න නිතර ඇති වන බවය. එවිට ආහාර ගැනීමට සිදුවන බවත් එසේ නොවුණහොත් ගැස්ට්‍රයිටීස් ඇති වන බවත්ය. මේ සඳහා කළ හැකි හොඳම ක්‍රියාව වන්නේ එවැනි අවස්ථාවකදී උණුවතුර වීදුරුවක් පානය කිරීමය. එසේත් නැති නම් කොළකැඳ වීදුරුවක් පානය කිරීමය. මෙම කොළකැඳ සඳහා බත් වැනි ධාන්‍ය වර්ග එක් නොකළ යුතුය. කොළවල යුෂ පමණක් තිබිය යුතුය. එසේම ලුණු කැඳ කෝප්පයක් පානය කළ හැකිය.

එසේම දිනපතා හොඳින් ජලය පානය කළ යුතුය. ජලය පානය මගින් ආහාර ජීර්ණය හොඳින් සිදු වේ. හෝමෝන ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු වේ. මළපහ පිටවීම මුත්‍රා පහවීම හොඳින් සිදු වේ. එවිට සිරුරේ ක්‍රියාකාරීත්වය නිවැරදිව පැවතීම නිසා රෝගාබාධ ඇති වීම ද පාලනය කරගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0112560121 ඇමතිය හැකිය.

තරබාරුව සහ කෙට්ටුව මට්ටු කරන හැටි

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment