හොර ගිනි අවි ගැන හරි ඔත්තුවලට මුදල් තෑගි – ටී – 56ට රු .ලක්‍ෂ 2ක්

50

“යුක්තිය මෙහෙයුම” යටතේ නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා නිවැරදි තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

නීති විරෝධී අවි ආයුධ පිළිබඳ ඔත්තු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා බව සඳහන් කරන තෙන්නකෝන් මහතා එවැනි ආයුධ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, අධ්‍යක්‍ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති අතර අදාළ ත්‍යාග මුදල් ලබාදීම ද රහස්‍යභාවය ආරක්‍ෂා වන ආකාරයට කිරීමට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ටී 56, ඒ කේ 47, එම් 16, එස්. ඒ. ආර් 80, ටී 81 වර්ගයේ අවි පිළිබඳ ඔත්තු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදලක්ද අර්ධ ස්වයංක්‍රීය අවි පිස්තෝල 84 එස් ආදිය පිළිබඳ ඔත්තු වෙනුවෙන්ද එම මුදලම පිරිනැමීමට පොලිසිය තීරණය කර ඇත.

රිවෝල් අවියක් සඳහා රුපියල් ලක්‍ෂ එකහමාරක්ද, රිපිටර් තුවක්කු සඳහා රුපියල් පනස් දහසක්ද, පතරොම් තුවක්කු සඳහා රුපියල් පහළොස් දහසක් ද පිරිනැමීමට කටයුතු කරමින් සිටියි.

විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් විසිපන්දහසක මුදලක් ද මෙරට නිෂ්පාදිත ගිනි අවි සඳහා ද රුපියල් පහළොස් දහසක මුදලක් ද ලබාදීමට තීරණය කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment