පොලිසිය උතුවන්කන්දෙන් පහළට බැසිය යුත්තේ ඇයි?

863

(රස්සාව නැති වූ පිළියන්දල පොලිසියේ රාළහාමි ගැන අදහසක්)

සිය පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව පොලිසියට බඳවා ගැනීමේ ආකෘති පත්‍රයේ සඳහන් නොකර වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර තිබේ. මේ ඇබැද්දියට ලක්ව ඇත්තේ පිළියන්දල පොලිසියේ සේවය කළ තරුණයෙකි. ඔහු 2021 සැප්තැම්බර් 1 වැනි දින පොලිස් සේවයට එක්විය. ඒ අතර කවුරුහරි ඔහුට විරුද්ධව පෙත්සමක් ගසන්නට ඇති. නොඑසේ නම් පොලිසියේම තිබෙන පරීක්ෂණ ක්‍රියාවලියකදී මේ වැඩේ මාට්ටු වෙන්නට ඇති. කොස්තාපල්ගේ පියා කුලීකාරයෙකි. 2017 දී වැලිගොඩ දැමීමේ වරදකට හසලකදී අත්අඩංගුවට ගත් ඔහු මහියංගන උසාවියෙන් රුපියල් දස දහසක දඩයකට ලක්විය. එසේම 2021 මාර්තු 2 දා දවස් පඩියට මැණික් පතලක් කැපීමට සහභාගි වීමේ වරදට ඔහු රුපියල් 5000 ක දඩයක් ආණ්ඩුවට ගෙවීය. කොස්තාපල්ගේ බාප්පා ද එම වරදටම වරදකරු වී රුපියල් 5000 ක දඩයක් ගෙවා ඇත. කොස්තාපල්ගේ රැකියාව ඉහත සඳහන් කරුණු සැඟවීම හේතුකොටගෙන නැතිවී ගොස් තිබේ. දැන් ඔහුට සිදුවන්නේද හොරෙන් වැලි ගොඩ දැමීමට හෝ හොරෙන් දවස් පඩියට මැණික් පතල් කැපීමටය.

පුද්ගලයන් සේවයට බඳවා ගැනීමේදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ අතීතය ගැන සොයා බලනු ලැබේ. ඊළඟට එම පුද්ගලයාගේ සහෝදරයන් සහ ඥාතීන්ගේ අතීතයද සොයා බලනු ලැබේ. මෙය දියුණු රටවල් විසින් මේ වනවිට පැත්තකට වීසිකර දමන ලද සම්ප්‍රදායකි. එහෙත් පොලිසිය හෝ ආරක්ෂක අංශ හෝ ආණ්ඩුවේ වෙනත් ආයතන හෝ එවැනි ක්‍රියාදාමයක දිගටම රැඳී සිටින්නේ නම් එයට අභියෝග කිරීමේ අයිතියක් අපට නැත. පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීති වලට සම්බන්ධ පනත උතුවන්කන්දේ සරදියල්ගේ කාලයේදී සාදන ලද පනතක් බව පමණක් අපට මතක ඇත. පොලිසිය නවීන වීමට කොතරම් උත්සාහ කළද එය කිසිදු ආකාරයකින් නවීන වී නැත. පොලිස් ස්ථාන බර ගණනකට පරිගණක නැති අතර ඇතැම් පොලිස් ස්ථානවල අදටත් පැමිණිලි ටයිප් කිරීම සිදුවන්නේ ගිය ශත වර්ෂය මැදදී සාදන ලද ටයිප් රයිටර් වලිනි. අපේ පොලිසිය යටිතල පහසුකම් පැත්තෙන් කිසිදු නවීන තත්ත්වයකට පැමිණ නැත. දුෂ්කර පළාත්වල තිබෙන පොලිසිවලට මිනී මැරුමක් ගැන පැමිණිල්ලක් ලැබුණු විට පරීක්ෂණ සඳහා රාළහාමිලා එහි යන විට මිනිය කුණුවී අවසන්ය. එයට හේතුව වාහන නැතිකමය. අපේ පොලිසිය නවීනත්වයට පත්ව ඇත්තේ කතා බහෙන් පමණි. මෙයට අවුරුදු දහයකට පෙර පැමිණිල්ලක් දැමීමට එන ගැමියාගෙන් “මොකද පරයෝ පොලිසියට ආවේ” යනුවෙන් ඇසූ රාළහාමිලා අද අසන්නේ “මහත්මයා පොලිසියට ආවේ ඇයි” යනුවෙනි. එබැවින් ඒ ගැන පමණක් අපට සතුටු විය හැකිය.

පියා උසාවියෙන් වරදකරු වීමේ හේතුවට පුතාට රස්සාවක් නොදීම අන්තිම ගොන් වැඩකි. මෙහිදී සිදුවන්නේ පියා වරදක් කර දඬුවම් ලබන අතර පුතා කිසිදු වරදක් නොකර දඬුවම් ලැබීමය. පියා පැත්තකින් තබමු. බාප්පා වෙනුවෙන් දඬුවම් ලැබීමටද පෙරකී තරුණ කොස්තාපල්ට සිදුවී තිබේ. ඉන් හැඟී යන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මරු සිරාලා සහ සරදියල් අප්පුහාමිලා පහළවීම දිගින් දිගටම අපේක්ෂා කරන බවයි. එවැනි අපේක්ෂාවක් පොලිස් පනත හැදූ, එමෙන්ම ජාතියේ විනාශයද පැතූ ඉංග්‍රීසි ආණ්ඩුව තුළ තිබෙන්නට ඇති. එම අරමුණම ඉන්පසු බලයට ආ සියලුම සිංහල ආණ්ඩු තුළද තිබෙන බව පැහැදිලිය. සරදියල් අප්පුහාමි කළ වරද මෙසේය; ඔහුගේ මව මරණාසන්න මොහොතේ සිටියදී එළකිරි ස්වල්පයක් බීමට කැමැත්ත පල කළාය. තරුණ සරදියල් සුද්දකුගේ ගෙදරකට ගොස් කිරි ටිකක් ඉල්ලා සිටියේය. සුද්දා ඔහුට පහර දී එලවා දැමීය. සරදියල් සුද්දාගේ ගෙට පැන බලෙන් කිරි බෝතලයක් රැගෙන විත් සිය මවට පෙවීය. එම වරදට සරදියල් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විදානේලා පිරිසක් (එකල පොලිස් රාළහාමිලා නැත) සරදියල් පසු පස පැමිණියහ. සරදියල් නමැති භයානක මංකොල්ලකාරයා සහ මිනී මරුවා බිහිවන්නේ මෙතැන් සිටය. අන්තිමේදී සුද්දාගේ ආණ්ඩුව සරදියල් අල්ලා එල්ලා මැරීය. මේ සමගම තවත් පුද්ගලයකු එල්ලා මැරිය යුතුව තිබූ බව සුදු ආණ්ඩුවට අමතක විය. ඒ වූකලී සරදියල්ට කිරි දීම ප්‍රතික්ෂේප කළ සුද්දාය. සරදියල් නමැති මිනී මරුවා බිහිකළේ එම සුද්දාගේ ක්‍රියා කලාපය විසිනි. එසේම මරු සිරාද කුණු වූ සමාජයේ ප්‍රතිඵලයකි.

දැන් අපි නැවතත් පිළියන්දල පොලිසියේ කොස්තාපල් ගැන කතා කරමු. ඔහුගේ පියා හිරේ ගොස් නැත. දඩයක් පමණක් ගෙවා ඇත. ඔහුගේ බාප්පාද කළ වරදට දඩයක් ගෙවා වැඩේ සමතයකට පත්කරගෙන තිබේ. මේ දෙදෙනාම මිනී මරා නැත. හොර සල්ලි අච්චු ගසලාද නැත. මේ දෙදෙනාම කර ඇත්තේ කිසියම් මුදලාලි කෙනකු යටතේ දෛනික පඩියට වැඩ කරමින් දැන හෝ නොදැන නීති විරෝධී කටයුත්තක කොටස්කාරයන් වීමය. මේ දෙදෙනා පතල් කැපීමටත් වැලි ගොඩදැමීමටත් යෙදවූ මුදලාලි සමහරවිට අදටත් කලම්බෝ සෙවන් වල පිහිටි සිය මන්දිරයේදී විවේක සුවය විඳිමින් මසාජ් එකක් ගන්නවා ඇති. උන්දැ පොලිසියට ගියොත් පොලිස් නිලධාරීන් වහා නැගිට උන්දෑට ආචාර සමාචාර පවත්වනවා ඇති. සමහරවිට උන්දැගේ හොඳම යාළුවා බලගතු ඇමැති කෙනෙක් වීමට ඉඩ තිබේ. අවසන් පලයේදී අප කතානායක තරුණ පොලිස් කොස්තාපල්වරයාට සිදුවනු ඇත්තේ උතුවන්කන්දේ සරදියල්, චීනා, යකඩයා, කියුටෙක්ස් පියදාස වැනි නම් දැරූ පරණ තාලේ අපරාධකාරයකු හෝ මධුෂ් පරම්පරාවේ නවීන අපරාධකරුවකු වී භයානක ජීවිතයක් ගත කිරීමටය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය ඉතා පරණය. එසේම ආරක්ෂක අංශවලට බලපාන අණ පනත්ද ඉතා පරණය. මේවා ඇල්ලූ සැණින් දෙකට කැඩෙන තරම් අබලන් වී තිබේ. ඒ නිසා ජනතාවට විය හැකි අසාධාරණය සහ අතවරය විශාලය. අපගේ පුද්ගලික වැටහීමට අනුව උසාවියෙන් වරදකරු වූ මිනී මරුවකුට පොලිස් රාළහාමිකමක් දීමට බැරිය. එහෙත් සුළු වරදක් කර උසාවියෙන් දඩයක් කෑ පියකුගේ පුතකුට පොලිසියේ රැකියාවක් දීමට පුළුවන. අප දන්නා පරිදි සිංහල ජාතියේ පීතෘවරයකු වූ විජය රජු ඔහුගේ පියාණන් විසින් ඉන්දියාවෙන් පන්නන ලද්දේ සාපරාධී ක්‍රියාවලට හසුවීම හේතුවෙනි. එසේම අපගේ ජාතියේ නිර්මාතෘවරයා වූ සිංහයා ජීවත්වීම සඳහා ගැල් කණ්ඩායම් මංකොල්ල කෑ සොරෙකි. හෙතෙම ජීවත්වූයේ බෙංගාලය ලෙස අද අප දන්නා වංග දේශයේය. මෙකී ඉතිහාසය අනුව මේ රටේ කිසිම සිංහලයකුට ආණ්ඩුවේ රැකියාවක් ලබාදීමට නොහැක. ඇප්ලිකේෂන් එකේ ඇති ප්‍රශ්න අතරේ තිබෙන එක ප්‍රශ්නයක් වූ ඔබේ පියා හෝ මුත්තා හෝ මී මුත්තා අපරාධයකට සම්බන්ධ වී ඇත්ද යන ප්‍රශ්නයේදී අපට ලිවීමට සිදුවන උත්තරය වූකලී ‘ඔව්’ ය. එහිදී අපට රස්සාව නොලැබෙන අතර එතැන් සිට සිදුවන්නේ මී මුත්තන්ට අනුව යමින් මංකොල්ල කා ජීවත්වීමටය. අපේ මේ කතුවැකිය කෙරෙහි අවධානය යොමුකර පොලිස් පනත වඩා මානුෂික මට්ටමකට පත්කිරීමට රජය කටයුතු යොදනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment