ජාතික රෝහලේදී කාන්තාව මියගියේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන්ද?

339

සෞඛ්‍ය ඇමැතිගේ නියෝගයෙන් කඩිනම් පරීක්‍ෂණයක්
හෙද සංගමය චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි

රෝගී කාන්තාවකට කොළඹ ජාතික රෝහලේදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් පසු මරණයට පත්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය වෛi රමේෂ් පතිරණ මහතා එම රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබේ.

එවැනි සැක කටයුතු මරණයක් සිදුවූ බවට පළවූ වාර්තා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා එම නියෝගය නිකුත් කර ඇත.

මෙලෙස මියගොස් තිබුණේ නුගේගොඩ පදිංචි 61 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ පියයුරු ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහාය. එම රෝහලේ වාට්ටු අංක 6-ඒ හී නේවාසිකව සිට ඇයව ශල්‍යාගාරය වෙත ඇතුළත් කර පැයකට ආසන්න කාලයක් ශල්‍යකර්මය සාර්ථකව සිදුකර තිබිණි.

අනතුරුව ඇයව රෝගී සත්කාරක කාමරයට ඇතුළත් කර තිබූ අතර එහිදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් පසු ඇය මියගොස් ඇත.

ඔක්සිජන් අඩුවීමෙන් එම කාන්තාවගේ මරණය සිදුව ඇතැයි රෝහල් බලධාරීන්ද ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාගෙන් මේ ගැන විමසූ විට මෙසේ පැවසීය.

විශාල ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් ශරීරගත වෙලා රෝගියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදු කරලා තියෙනවා. රෝගී සත්කාරක සේවාවේ තියෙන ගැටලු සහගත තත්ත්වයක් මෙතන තියෙන්නේ. මේක යට ගහන්න එපා. අතිවිශේෂ විමර්ශනයක් විදිහට කරලා මේ විමර්ශනයේ ඇත්ත හෙළිදරව් කරන්න.

මේ අතර මෙම කාන්තාව මිය යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සංගම් විසින් ප්‍රකාශ කරන ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමේ චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

මේ මරණය පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙන බැවින් ඊට පෙර විවිධ චෝදනා එල්ල කිරීම සාධාරණ නැතැයි ද එම සංගමය සඳහන් කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment