EPF – ETF අත තිබ්බොත් බලාගෙනයි සජබ නිකන් ඉන්නේ නෑ-සජිත් කියයි

249

“ආණ්ඩුව ජනතාව මංමුළා කරලා. සේවක අර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයකු රටේ ජනාධිපති වුණත් ඔහුට අයි. එම්. එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ගැසීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනේ තිස් තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය උඩවලව මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

සක්වල හරහා මීට පෙර පාසල් 32කට රු. 27,986,150 ක් වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට තිබේ.

රටට වාසිදායක ආකාරයට ගිවිසුම ගැසිය යුතු වුවත් රටට අවාසිදායක ලෙස මෙම ගිවිසුම ගසා ඇති බවත් යුක්‍රේනයට අයි. එම්. එෆ්. එකෙන් ඩොලර් බිලියන ගණනක් ගන්න පුළුවන් වුවද වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති අප රටට එවැනි දෙයක් බැරි වූයේ ඇයිද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ වත්මන් රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මංමුළා කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෑ කියා මුලින් කිව්වත් දැන් එය සිදු කරන බවත් ඔවුන් අර්ථසාධකයට අත තියන්නෑ කිව්වත් වැඩ කරන ජනතාවගේ තැන්පතු ඉතිරිකිරීම්, ඊපීඑෆ්, ඊටීඑෆ් එක පවා ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ඉතිරි කළ යුතු බවට අනිවාර්ය බලකිරීමක් සිදු කරන බවත් එසේ සිදු කර රට බංකොලොත් වූ පසු අයි. එම්. එෆ්. එකත් එක්ක සාරවත් ගිවිසුමකට එළඹෙන්නේ නැතිව අර්ථ සාධකේ ඇති මුදල් පවා ලබා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයි ද කියා අසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිටින ලක්ෂ 20කට වැඩි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment