අවසන් රංගනයට වරම් සොයා – විලියම්සන් – මෝගන් අද සටනට

330

දෙවෙනි වරටත් පන්දු වාර 20 20 ලෝක ක‍්‍රිකට් ශූරතාවයක් හඹා යන එංගලන්තයත් තවමත් පන්දුවාර විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් කුසලානයක් හෝ එක් දින ලෝක කුසලානයක් ජයග‍්‍රහණය කර නොමැති නවසීලන්ත කණ්ඩායමත් අතර අද (10 වැනිද) පැවැත්වෙන තරගයෙන් මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ වේ.

අබුඩාබි හි ශෙයික් ෂයිඞ්  ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර අනෙක් අවසන් පූර්ව තරගය හෙට (11 වෙනිදා) පකිස්තානය සහ ඔස්ටේ‍්‍රලියාව අතර ඩුබායි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන 14 වෙනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

අවසන් වරට 2016 වසරේදී පැවැති පන්දු වාර 20 20 ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයද මෙම කණ්ඩායම් දෙක අතර පැවැති අතර එහිදී කේන් විලියම්සන් ප‍්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම රැුස් කළ ලකුණු 153 සීමාව කඩුලූ 3ක් පමණක් බිඳ වැටී තිබියදී ඉක්මවා යෑමට ඔයින් මෝගන් ප‍්‍රමුඛ එංගලන්ත කණ්ඩායම සමත් විය.

එමෙන්ම කණ්ඩායම් දෙකම අඛණ්ඩව මෙවරද අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට සමත් වීමත් පසුගිය වර මෙන්ම මෙවරද ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වැදීමට සිදු වීමත් සුවිශේෂි අවස්ථාවක් ලෙස දැක්විය හැක.

අද තරගයේදීද එංගලන්ත කණ්ඩායම නායක ඔයින් මෝගන් විසින් මෙහෙයවනු ලබන අතර නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලබයි.

දෙරට අතර මෙතෙක් පන්දු වාර 20 20 තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් එංගලන්තය විසින්ද තරග 8ක් නවසීලන්තය විසින්ද ජය ගනු ලැබීය. දෙරට අවසන් වරට පන්දු වාර 20 20 තරගයකදී හමු වී ඇත්තේද මීට හරියටම වසර දෙකකට උඩදී 2019 වසරේ නොවැම්බර් 10 වෙනිදා වන අතර එම තරගය ලකුණු සම වීම මත සුපිරි පන්දු වාරයකින් ජයග‍්‍රාහකයන් තෝරා ගනු ලැබීය. එම අවස්ථාවේදීද ජයග‍්‍රහණය හිමි වූයේ එංගලන්තයටයි.

ඔයින් මෝගන්ගෙ නායකත්වය යටතේ එංගලන්තයත්, කේන් විලියම්සන්ගෙ නායකත්වයෙන් නවසීලන්තයත් 2019 එක් දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයටද සටන් වැදුණු අතර එහි ජයග‍්‍රහණයද ඔයින් මෝගන්ගෙ එංගලන්ත කණ්ඩායම විසින් හිමි කර ගනු ලැබීය.

මෙවර පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් එහි පෙරමුණ ගෙන අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට එංගලන්තය සමත් වූ අතර සුපිරි 12 වටය යටතේ සිය කාණ්ඩයෙන් දෙවෙනි ස්ථානය හිමි කර ගෙන අවසන් පූර්ව තරග වරම් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.

පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායම මෙන්ම නවසීලන්ත කණ්ඩායමද අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර එංගලන්තය ඒ හැම අවස්ථාවකම අවසන් පූර්ව තරගය ජය ගෙන තිබෙන අතර නවසීලන්තය හැම අවස්ථාවකම පරාජය වී ඇත.

අවසන් පූර්ව තරග වරම් හිමි කර ගෙන නවසීලන්තය අවසන් මහ තරගයකට සුදුසුකම් නොලත් පළමු අවස්ථාව 2007 පළමු පන්දු වාර 20 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ වාර්තා වූ අතර එහිදී පකිස්තානය හමුවේ නවසීලන්තය කඩුලූ 6 කින් පරාජය ලබයි.

එංගලන්තය 2010 වසරේ අවසන් මහා තරගයේදී ඔස්ටේ‍්‍රලියාව පරාජය කරමින් ශූරතාව ජයග‍්‍රහණය කරන්නේ එවර සිය අවසන් පූර්ව තරග ප‍්‍රතිවාදියා වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 7කින් පරාජය කිරීමෙන් අනතුරුවය.

එහෙත් පසුගිය 2016 පන්දු වාර 20 20 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ එංගලන්තයට එවර උරුම වුණේ අනුශූරතාවයි.

එංගලන්තය මෙවර සුපිරි 12 වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, ශ‍්‍රී ලංකාව, ඔස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙහිව ජයග‍්‍රහණ ලැබූ අතර දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත් විය. නවසීලන්තය ප‍්‍රබල ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව පරාජය කළ අතර පකිස්තානය හමුවේ පරාජයට පත් විණි.

ඒ අනුව කණ්ඩායම් දෙකම සුපිරි 12 වටයේ වටයේ තරග 4 බැගින් ජය ගෙන එක් තරගය බැගින් පරාජයට පත් වී තිබේ.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකයට හිමිකම් කියමින් තරගාවලියේ මෙතෙක් දෙවෙනියට වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 240 ක් හිමි කර ගෙන සිටීම එංගලන්තය පැත්තෙන් විශාල ශක්තියක් වේ. එසේ වුවද ඔහුගේ සහායක ආරම්භක පිතිකරු ජේසන් රෝයි ආබාධයකට ලක් වීම නවසීලන්තයට හොඳ පෙරනිමිත්තක් වේ.

පන්දු යැවීමේ අංශයෙන් එංගලන්තය සතුව අඩිල් රෂිඞ්, මොයින් අලී ප‍්‍රමුඛ දඟ පන්දු බල ඇණියක්ද, ක‍්‍රිස් වෝක්ස්, ටයිමල් මිල්ස්, ක‍්‍රිස් ජෝර්දාන් වැනි වේග පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැත.

නවසීලන්ත නායක කේන් විලියම්සන් සුපුරුදු පරිදි ලකුණු අතර සිටීම එම කණ්ඩායම පැත්තෙන් සුබ ලකුණක් වන අතර මාර්ටින් ගප්ටිල්, ඩෙවොන් කොන්වේ යන පිතිකරුවන් පිළිබඳවද එංගලන්ත නායකයා අවධානය යොමු කරන්නට ඇත.

ටිම් සවුති, ට‍්‍රනේට් බෝල්ට්, ඉෂ් සෝධි සහ මිචෙල් සැන්ට්නර් යන පන්දු යවන්නන් තරගාවලිය පුරා හොඳින් පන්දු යවමින් කඩුලූ අතර සිටීම එංගලන්තයට අවසන් පූර්ව තරගයේදී හිසරදයක් වනු ඇත. ට‍්‍රනේට් බෝල්ට් කඩුලූ 11ක් දවා ගෙන වැඩිම කඩුලූ ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසු වේ.

එංගලන්ත සංචිතය – ඔයින් මෝගන් (නායක), ජෝස් බට්ලර්, ඬේවිඞ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ලියාම් ලිවින්ග්ස්ටන්, මුයින් අලී, ක‍්‍රිස් වෝක්ස්, ක‍්‍රිස් ජෝඩාන්, ආදිල් රෂීඞ්, ඬේවිඞ් විලී, ටොම් කරන්, රීස් ටොප්ලි, මාක් වුඞ්, ජේම්ස් වින්ස් සහ සෑම් බිලින්ස්

නවසිලන්තය – කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, ඩැරිල් මිචෙල්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ජේම්ස් නීෂම්, මිචෙල් සෑන්ට්නර්, ඇඩම් මිලන්, ටිම් සවුති, ඉෂ් සෝධි, ට‍්‍රනේට් බෝල්ට්, ටොඞ් ඇස්ටල්, මාක් චැප්මන්, කයිල් ජෙමීසන් සහ ටිම් සෙයිෆට්

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment