කෙරවලපිටිය මෙගාවොට් 350 LNG බලාගාරයේ ගෑස්  ටර්බයිනය ජර්මනියෙන් ගෙන්වයි

274

කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වභාවික ද්‍රව වායු (LNG)  බලාගාරය ගෑස් ටර්බයිනය ජර්මනියේ සිට පසුගිය 13 වැනිදා දිවයිනට ගෙන්වා තිබේ.

 විදුලිබල ක්ෂේත්‍රයේ අඳුරු වළා මැද රිදී රේඛාවක් බඳු වූ කෙරවලපිටියේ මෙගාවොට් 350 ක සොබාදනවි ස්වභාවික ද්‍රව වායු බලාගාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව මේ වන විට කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතියි. ජර්මනියේ
 Siemens සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නවීනතම තාක්ෂණයෙන් හෙබි F-Class ගෑස් ටර්බයිනය පසුගිය 13 වැනිදා කොළඹ වරායට පැමිණීමත් සමඟ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් විය. ටොන් 317ක බරකින් යුත් ගෑස් ටර්බයිනය කොළඹ වරායේ නව උතුරු තටාකාංගනයේ මේ වන විට ගොඩබා ඇත. එය ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ලැබූ සුවිශාල ජයග්‍රහණයක් වන අතර, ඉහළ කාර්යක්ෂම F-Class ගෑස් ටර්බයිනයක් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ගෙන්වීම විශේෂත්වයකි.

 වර්තමාන විදුලිබල ජාලයේ දුර්වල බල සැපයුම් ධාරිතාවත් සමඟ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑම වර්තමානයේ අතිශයින්ම අභියෝගාත්මක කාර්යයක් වී ඇත. මෙගාවොට් 350 ක සොබාදනවි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සියලු බාධක සහ අභියෝග මධ්‍යයේ වුව අඛණ්ඩව ප්‍රගතියට පත්ව ඇත. දැනට, එය ඉදිවෙමින් පවතින එකම ප්‍රධාන බලාගාරය වන අතර වසර කිහිපයකට පසු රට තුළ ස්ථාපිත කරන ලද එකම මහා පරිමාණ බලාගාරය ද වේ. විදුලිබල උත්පාදන ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මෙම බලාගාරය නියමිත වේලාවට නිම කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත.

කෙරවලපිටිය මෙගාවොට් 350 LNG බලාගාරයේ ගෑස්  ටර්බයිනය ජර්මනියෙන් ගෙන්වයි



 ව්‍යාපෘතියේ පළමු අදියරෙන් මෙගාවොට් 220ක් ජාතික විදුලිබල පද්ධතියට උත්පාදනය කර ලබා දෙන අතර දෙවන අදියරෙන් තවත් මෙගාවොට් 130ක් එක් කෙරේ. මෙම  බලාගාරය ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව මෙගාවොට් 350 ක සම්පූර්ණ ධාරිතාවයකින් ඒකාලෝක කරනු ඇත.


 Sobadanavi සමාගමට අයත් මෙගා වොට් 350 LNG බලාගාරය ඉදිකරනු ලබන්නේ ලක්දනවි සමාගම විසිනි. එහි බලාගාරයේ ඉංජිනේරු සැලසුම්, ඉදිකිරීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්කරු ලෙස ද එම සමාගම ක්‍රියාකරයි. ව්‍යාපෘතියේ සම්පූර්ණ සංවර්ධන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක් පමණ වේ. LTL Holdings සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Lakdhanavi Limited , 1996 වසරේ සිට ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ මැදපෙරදිග මෙන්ම නැගෙනහිර අප්‍රිකාව යන රටවල ගුණාත්මක හා ඉහළ ශක්‍යතාවයකින් යුත් බලාගාර ඉදිකිරීමේ කර්මාන්තයේ ප්‍රමුඛයෙක් ලෙස ක්‍රියාකරයි.

 අති දක්ෂ දේශීය ඉංජිනේරු කණ්ඩායමකගේ දායකත්වයෙන් ඉදිකෙරෙන, ලොව නවීනතම බලශක්ති උත්පාදන තාක්ෂණයන්ගෙන් සමන්විත, මෙගාවොට් 350 ක සොබාදනවි ස්වභාවික ද්‍රව වායු බලාගාරය සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා ශ්‍රී ලාංකේය ජාතිය හමුවේ තැබෙන යෝධ පියවරකි.!

advertistmentadvertistment
advertistmentadvertistment