එන්නතකින් පසු පේරාදෙණිය රෝහලේ තවත් මරණයක්

1192

හෙදිය එන්නත් දෙකක් දුන් පසු දරුවා නිල් පැහැ වුණා – මව කියයි

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (11 දා) ඇතුළත් කරන ලද 21 හැවිරිදි තරුණියක එන්නතක් ලබා දී සුළු වේලාවකට පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති තරුණියකි.

උදරාබාධය හේතුවෙන් පසුගිය 10 වැනිදා කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමග පේරාදෙණිය රෝහලට මාරු කර එවා ඇත.

හදිසි ප්‍රතිකාර ඒකකයට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30 ට පමණ හතේ වාට්ටුවට යොමුකර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දීමෙන් පසු තම දරුවා එක් වරම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ පියා වන වයි. ජී. ජයරත්න මහතා මෙසේ කීවේය.

දුව බඩ රිදෙනවා කිව්වා. බඩඑළිය සහ වමනය තමයි තිබුණේ. සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණ නිසා අඟහරුවාදා (11) එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරු කර එව්වා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00 ට විතර දුවව හදිසි ප්‍රතිකාර ඒකකට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සේලයින් එකක් දීලා 12.00 ට විතර 07 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එකක් දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. ඊට පස්සේ තමයි දුව නැතිවෙලා තියෙන්නේ.

තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය මෙසේ පැවසුවාය.

වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30 ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්වම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්කම ටොයිලට් එකට දිව්වා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අත පය නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි.

සිද්ධිය පිළිබඳව විමසූ අවස්ථාවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියකු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහල සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment