‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට… අර්බුදයක් ගිය දුර…

223

ජීවන ගමනේ එක් තැනකදී ෆේස්බුක් හමුවීම අපේ පරම්පරාව වෙනසකට භාජනය කළා. අපේ ළමා කාලය ගෙවුණේ පත්තර සහ ගුවන් විදුලිය අතර. අපි යෞවන වියට පාතබන විට, රූපවාහිනියත්, ඉස්සරහ දොරින් ඇතුල්වෙලා, සාලයට ආවා. අපි රැකී රක්ෂා කරන්න පටන් අරගෙන, ටික කලක් යද්දී අන්තර්ජාලයත් අපේ ජීවිතයට එකතු වුණා. ෆේස් බුක් එකේ තමයි ජනගහනය අතින් ලෝකයේ හතර වෙනි රාජ්‍යය. එහි සාමාජික සංඛ්‍යාව බිලියන තුනකට ආසන්න වෙනවා. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ අසූවක් පමණ එහි සාමාජිකයෝ. බයිසිකල් ගමනට පෙර, ජීවන ගමනේදී හමු වූ ෆේස්බුක් ගැන මම කිහිපදෙනකුගෙන් ඒ ඒ අයට දැනෙන විදිහ පිළිබඳව නිර්වචනය කර ගත්තා.

● මුහුණු පොත පුද්ගල හා අන්තර් සමාජීය සබඳතා පැවැත්වීමට හොඳ මෙවලමක්. නරක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්.

● ලොව පුරා සිටි පරිගණකය පරිහරණය කළ හැකි සෑම කෙනකුටම එකතුවී සම්බන්ධතා පැවැත්විය හැකි ජාලයක්. මගේ නිර්මාණ පෙන්වන්න ප්‍රේක්ෂක වේදිකාවක් විදිහට පාවිච්චි කරනවා.

● තමන්ව දැන හෝ නොදැන ප්‍රක්ෂේපණය කරන මාධ්‍යයන් (තමන්ගේ කැඩපත්)

● ප්‍රබන්ධ හෙවත් තථ්‍ය (මායාවක්) සමාන යථාර්ථයක් තියෙන තැනක්.

● අයථා චරිත පොළක්

● තම තමා සතු පුද්ගලික මාධ්‍ය ආයතනයක්.

● තාක්ෂණික ගම් මැද්දක් (මේ ගම් මැද්දේ තමයි අපි කරක්ගහන්නේ. අපි දන්නා කියන නෑදෑ හිතවතුන් සමග අතීතයේ අපි ජීවත් වෙලා තියෙන්නේ ගැම් මැද්දේ ක්‍රමයට. අපි නෑදෑ මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය ගතකරා. ගැම් මැදි සංස්කෘතිය අලුත් සංස්කෘතියට හුවමාරු වෙලා.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…

මාක් එලියට් සකර්බර්ග් තමයි ෆේස්බුක් වෙබ් අඩවියේ සම නිර්මාතෘ. අනිත් කෙනා සිංහලයෙක් වූ චමත් පලිහපිටිය. 1984 මැයි මස 14 වැනි දින උපත ලද මොහු ඇමෙරිකානු ජාතිකයෙක්. 2004 පෙබරවාරි මාසයේදී දියත් කරන මෙම සමාජ ජාල වෙබ් අඩවියෙන් අඩි 5 අඟල් 7 උස මාර්ක් සකර්බර්ග් 2008 වසරේදී ලෝකයේ ළාබාලතම ප්‍රකෝටිපතියා වෙනවා. 2010 වසරේ ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස නම් කරනවා. 2011 වසරේදී මාක් සකර්බර්ග්ගේ වත්කම ඇ.ඩො බිලියන 13.5 ලෙස තක්සේරු කරන අතර 2021 වර්ෂයේදී සකර්බර්ග්ගේ වත්කම ඇ.ඩො බිලියන 90කි. මට හිතුනේ අපි කවුරු මොන මොන විග්‍රහ කළත් අපේ ෆේස්බුක් පාවිච්චියෙන් සකර්බර්ග්ගේ ගිණුම තර කර ඇති බවයි.

මටත් දැනට අවුරුදු කීපයකට කල් ඉඳලා ෆේස්බුක් ගිණුමක් තියෙනවා. මුල් කාලයේ ඉඳහිට ෆේස්බුක් තුළ හිටියත් දැන් දැන් නැතිවම බැරි නොගිහින් බැරි දෙයක් වෙලා. පහුගිය කාලයේ ඉන්ධන අර්බුදයත් සමග පාපැදියට මමත් හුරු වුණා. මූලිකවම මට අවශ්‍ය වුණේ කාර්යාලයට රාජකාරියට යන්න. ඊට අමතරව වෙනත් ගමන් බිමනුත් බයිසිකයෙන් යන්න වුණා. මොකද තෙල් අර්බුදය ජාතික අර්බුදයක් දක්වා ගමන් ගත්තා. ඉන්ධන නැතිව රටම නැවතුනා. ජනතාව වීදි බැස සටන් කරන තත්ත්වයට රට පත්වුණා. මේ සියලුදේ මෙසේ වෙද්දි කාර්යාලට පැමිණීම අත්‍යවශ්‍ය වුණා. බයිසිකලයට ක්‍රම ක්‍රමයෙන් හුරුවුණා. මේ අතර ෆේස්බුක් සමාජ ජාලාවේ කිමිදෙන විට මම වගේම තවත් අය බයිසිකයෙන් වැඩකටයුතු කරගන්නා ආකාරය ඡායාරූප සහිත ‘පෝස්ටු’ දමා තිබුණා. උදයා දේවමුල්ල කියන්නේ ජීවිතයේ ධනාත්මක චින්තනය, වර්ණ චිත්‍රයක් ලෙස සමාජ ගත කරන්න උත්සහ කරන අයෙක්. ඔහු වටා සැලකිය යුතු මිතුරන් ප්‍රමාණයක් එක්වී සිටියා. මමත් ඔහුගේ ෆේස්බුක් මිතුරෙක්. ඔහුත් බයිකලයෙන් තම රාජකාරි කටයුතුවල යෙදී තිබුණා. ඔහුගේ මිතුරු සමාජය ද හැකි හැකි පමණින් මේ ආකාරයෙන් ඉන්ධන අර්බුදයට අභියෝග කරමින් බයිසිකලයට බැස්සා. මේ අතර උදයා දේවමුල්ල වටා ඇති ෆේස්බුක් මිතුරු කැළ පාපැදි ගමන් ගැන විස්තර කතා කළා. මේ කතිකාවල දිගුවක් ලෙස බයිසිකල් ටි්‍රප් එකක් යන්න තීරණය කළා. විවිධ තරාතිරම්වල විවිධ වයස් කාණ්ඩයේ පුද්ගලයින් 100 පමණ ගමන්ට එක්වන්න කැමැත්ත දැක්වුවත් අවසානයේ විසිදෙනෙක් පමණ කණ්ඩායමක් ඉතුරු වුණේ. වැඩි දුරකට නැතිව බෙන්තොටට දවස් දෙකක පාපැදි සවාරියක් දාගත්තා. සූම් තාක්‍ෂණය ඔස්සේ සංවාද ගොඩනගමින් ගමන සැලසුම් කරා. උදයා දේවමුල්ල මූලික වෙමින් පැවති සාකච්ඡාවලදී බෙන්තොට නවාතැන සහ කෑමබීම සියල්ල බෙන්තොට පදිංචි මෙවන්ට භාර කළා. කොළඹ අවට අපි කොට්ටාවෙන් පටන් ගෙන බණ්ඩාරගම හරහා ගාලුපාරට වැටී බෙන්තොටට යන්නයි සැලසුම් කළේ. ගාල්ල, මාතර, දෙනියාය, බද්දේගම නගරවලින් එන අය කැමති පාරක බෙන්තොටට එන්න අවසරය තිබුණා.

බෙන්තොට කියන්නේත් අමුතුම තැනක්. නගරයක් නෑ. ගමක් තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා බෙන්තර නගරයක් වෙන්නේ නෑ. ළඟම නගරය අලුත්ගම. අලුත්ගම බස්නාහිර පළාතේ. බෙන්තර දකුණු පළාතේ. නාගරික නොවන නිසාම කලබලයක් නෑ. සුන්දරයි. බෙන්තර ගඟ මුහුදට වැටෙන තොට වූ බෙන්තොට සංචාරක පුරවරයක්. මේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව තමයි මිනිසුන්ගේ ජීවිත බැඳිලා තියෙන්නේ. බෙන්තොට වෙරළ බේරුවල සිට ඉඳුරුවත් පහුවෙනකල් තියෙනවා. විශාලයි.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…

බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම පැත්තෙන්. කුඩා දොළ පහරක් සේ ගල්පර්වත අතරින් ගලා එන මේ ගඟ කිලෝමිටර් 72ක පමණ දුරක් ගෙවා බෙන්තරින් මුහුදට එකතුවෙනවා. කොළඹ සිට කිලෝ මීටර් 63.5 පමණ දුරින් තමයි බෙන්තොට පිහිටලා තියෙන්නේ.

දකුණු පළාතත් බස්නාහිර පළාතත් වෙන් කරමින් බෙම් ගඟ ගලා බසිනවා. අතීතයේ දෙගොඩ යා කරමින් පාලම් නොමැති කාලයේ දී එගොඩ සිට මෙගොඩටත් මෙගොඩ සිට එගොඩටත් පහුරුවලින් තමයි ගමන් කරලා තියෙන්නේ. මෙතන තොටුපළක් තිබිලා තියෙනවා. මේ තොටුපළෙහි අරක්ගෙන සිටි භයානක යක්ෂයකු නිසා ‘භයානක තොටුපොළ’ යන අරුත් ඇති ‘භීමතිත්ත’ (භීමතීර්තය) නම් ආදි කාලීන යෙදුමේ පරිණාමයක් ලෙස ‘භීම’ යන්න ‘බෙම්’ ලෙසටද ‘තිත්ත’ යන්න ‘තොට’ ලෙසටද විකාශනය වී ‘බෙම්තොට’ නම හැදුණ බව ජනප්‍රවාදයේ එයි. බෙම්තොට, බෙම්තර හා පසුව බෙන්තර ලෙසට විකාශනය වී ඇත. බෙන්තර ගඟත්, ඉතා ලස්සන මුහුදු තීරයත් නිසා අතීතයේ සිට විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ගමක්.

අනුරාධපුර සද්ධාතිස්ස රජ කාලයේ ඉදි කළ වෙහෙර විහාර පහක් බෙන්තර ප්‍රදේශයේ තිබෙනවා. ඒ ගලපාත විහාරය, බෝධිමළු විහාරය, වනවාස විහාරය, උඩකොටුව විහාරය සහ ගණේ විහාරයයි. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ අතීතයේ මේ විහාර උමං මගින් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා.

මහා පරාක්‍රමබාහු රජ, කීර්ති ශ්‍රී රජ, නිශ්ශංකමල්ල රජ, දෙවැනි පරාක්‍රමබාහු රජ, හයවෙනි පරාක්‍රමබාහු ආදි රජවරු මේ විහාර සංවර්ධනය කරලා පුද පූජා පවා පවත්වලා තියෙනවා.

බෙන්තොට කලකට පෙර ප්‍රසිද්ධවෙලා තිබුණේ දිගටි හැඩයෙන් යුත් පියන් දෙකක් සහිත කාවාටි නම් බෙල්ලන්ටයි. නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙන් බෙන්තොට ප්‍රසිද්ධවෙලා තිබුණේ කාවාටි නම් බෙල්ලන් විශේෂය නිසයි.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…

මයුර සහ තිසර සංදේශවල පවා බෙන්තර සමෘද්ධිමත් පුරවරයක් ව පැවති බව සඳහන් කර තිබෙනවා. කෝට්ටේ යුගයේ රචිත ගිරා සංදේශයේ බෙන්තර ගැන සඳහන් ව ඇත්තේ මේ විදිහට යි:

නොබැඳ විදෙන වරලස මල් පිටින් පිටින්
නොහැඳ තරම ගිලිහෙන සළු පටින් පටින්
පැහැද තවෙත දිව එන ලිය වටින් පිටින්
සබැඳ නොසිට යාගන් බෙම්තොටින් තුටින්

මයුර සංදේශ කවියා බෙන්තොට දැක්කේ මේ විදිහට යි:
වෙන් කොට වනත ගෙවුයන් සිරි නොදත හැකී
මන් තුට වඩන යැදි සිරි දෙන දෙව් තුරකී
පින් කොට නොගොස් ඔබ මෙලොවම පැමිණි සකී
බෙන්තොට දෙගොඩ දෙනුවර දෙව් ලෝ දෙකකී

තවත් දෙයක් “බෙම්තොටින් මෙහාට ඇස් වහපු බළල් පැටියෙක්වත් ගේන්න එපා” කියලා කියමනක් තියෙනවා. ලන්දේසි හා ඉංග්‍රීසි සමයේ දකුණු පළාත් මුහුදුබඩ ප්‍රදේශවල මූලික කරගෙන වෙළෙඳ ප්‍රජාවක් බිහිවුණා. මේ අය ව්‍යාපාර ලෝකයට ආවා. ව්‍යාපාර කළා. දකුණෙන් ආ ප්‍රජාව කොළඹ කේන්ද්‍ර කරගෙන ව්‍යාපාර කළා. කොළඹ ව්‍යාපාර ලෝකයට ආවත් ඒ අයගේ මුල් ගම් සහ මුල් සම්බන්ධතා පැවතුනේ දකුණත් එක්ක. එයාලගේ මුල් පදනම තියෙන්නේ ගමත් එක්ක. තමන්ගේ නෑදෑ සංහාරයට තමයි උදව් කරන්නේ. කඩේකට අත් උදව්වට, වැඩකට කෙනෙක් ගත්තත් දකුණේ තම සනුහරේ කෙනක් තමයි වැඩට ගන්නේ. මෙන්න මේ කාරණය එක්ක තමයි කියන්නේ බෙම්ගඟෙන් මෙපිට ඇස් වහපු බළල් පැටියෙක් ගෙනාවත් ඌ හැරිලා යන්නේ ගමට කියලා. මේ කතාව තුළ ගොඩනැගෙන්නේ සංස්කෘතික බලයක්. ඒක ව්‍යාපාරික බලයක්. ඒක තමයි මේ සමාජගතවෙලා තියෙන්නේ.

අපි අපේ ගමනාන්තය හැටියයට බෙන්තර තෝරාගැනීම කොච්චර වටිනවද කියලත් හිතෙනවා අතීතය දෙස බලනකොට.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…
1894දී ඉදිකෙරුණු බෙන්තොට පාලම

මාත් එක්ක මේ ගමනට මගේ පාසල් යාළුවෙක් එකතු වුණා. කැලණියේ ලලිත් ප්‍රියන්ත. අපි උදේ 5 ට පිටත් වෙලා 6 පමණ වනවිට කොට්ටාවට ආවා. උදේ 6 ට කොට්ටාවට එකතු වුණේ දහදෙනෙක් විතරයි. අපි සියලුම දෙනා එකිනෙකා පළමු වරට හඳුනා ගත්තේ ඒ වෙලාවේ. ගොඩක් මිතුරන්ගේ පළමු බයිසිකල් ටි්‍රප් එක නිසා අපි අතරමගදි කරදරයකට මුහණ දෙන්න වුණොත් කියලා පාසල් ගුරුවරයකු වූ දර්ශන වෑන් එකෙන් ආවා. හදිසි අවස්ථාවක් වුණොත් බයිසිකලය වෑන් එකට දාගන්න හිතාගෙන. උදය මූලික කරගෙන මේ මිතුරු සමාජය බෙන්තොට බලා ගමන ඇරඹුවා. කැස්බෑව හරහා බණ්ඩාරගමට ආවා. බණ්ඩාරගම පාස්වෙලා ටිකක් යනකොට උදේ ආහාරට නැවැත්තුවා. මේ පාරේ හරයා යන එන සියලුම පාපැදිකරුවන් හා වෑන් කාර් නතර කරලා කෑම ගන්න ස්ථානයක්.

අපිත් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කාලය ගැන කිසිම තැකීමක් නැතිව කාලය ගතකරමින් උදේ ආහාරය ගත්තා. පැයක් පමණ ගත කළා. නැවත ගමන පටන්ගත්තා. අපි කළුතර බෝධිය ගාවට එනවිට උදේ 9.50 පමණ වෙලා. බෝධිය මෙන්ම චෛත්‍යයට නමස්කාර කරලා නැවත පටන් ගත්තා. ගාලු පාරේ කැමතිම තැනක් තමයි පයියාගල දුම්රිය ස්ථානය පසුකළ ගමන් ඇති මුහුදු තීරය. අපි එතැන ටිකක් වෙලාවක් නැවතිලා මහන්සිය නිවාගන්නකොට අපේ ගමන් මාර්ගය මඟහැරුණ උක්වත්ත එතැනදි අපට එකතු වුණා.

අපි එකටම පිටත් වුණත් දැන් දැන් කොටස්වලට කැඩිලා. මාත් එක්ක ලලිත්, චාමර, උක්වත්ත හිටියා. වෙරළ ළඟ ගල්තලාව දිගට ශරීර අවශ්‍යතාවයට නියම තැන. පිළිවෙළට අපි ඒකට එකතු වුණා. නැවත බයිසිකලයට ගොඩවුණා විතරයි ඉදිරියෙන් ගමන් කරපු උදයා ඇතුළු කණ්ඩායම වෑවර බොන්න නවත්වලා. අපිත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා.

කිසිම කලබලයක් නැතිව අපි සියලුම දෙනා 11.15ට පමණ බෙන්තොටට ආවා. අපිව උණුසුම්ව පිළිගන්න බෙන්තොට මෙවන් සහ ඔහුගේ මිත්‍රයා මංජු සැදී පැහැදී සිටියා. බෙන්තොටදී මෙවන් මූලිකත්වය ගත්තා. අපිත් මෙවන්ට අනුගත වෙමින් අපේ නවාතැන වෙත ඇදුනා. ඒ අතර මා බෙන්තොට දුම්රියපොළ ළඟ නතර වුණා. හරිම පිරිසිදු දුම්රියපොළක්. මම හිතන්නේ සංචාරක කර්මාන්තය නිසා පිරිසිදුව තියාගන්නවා ඇති. අපේ නවාතැනට අපි 12.25ට පමණ ආවා.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිවාඩු නිකේතනයක්. ඉදිරියේ බෙන් ගඟත් පිටුපසින් අනන්තය තෙක් විහිදෙන සාගරයත් අතර තමයි මේ ලස්සන නිවාඩු නිකේතනය තිබෙන්නේ. මේ වනවිට ගාල්ල, දෙනියාය, මාතර අවටින් පැමිණි ෆේස්බුක් මිතුරු කැළත් ඇවිත් හිටියා.

අපි ගස් සෙවනේ විවේක ගනිමින් එකිනෙකා හඳුනා ගත්තා. දැන් දැන් බඩගින්න දැනෙන්න පටන් අරං. මෙවන් අපිව දවල් කෑමට බෝට්ටුවකින් එහා ඉවුරට එක්කගෙන ගියා. හොඳින් දවල් කෑම සප්පායම් වුණ අපි බෝට්ටුවෙන්ම අවට ප්‍රදේශයේ රවුමක් ගසමින් නිකේතනයට ආවා. මහන්සියට නිදිමත ඇවිත් කවුරු කවුරුත් කතා නැතිවම ඇඳවල්වල, පුටු උඩ නිදි.

සවස 4.30 මම නැගිටින කොට අපේ සගයන් රාත්‍රි සැණකෙළියට අවශ්‍ය ගිනිමැල, බාබකිව් සෙට්, මේස පුටු එළියේ ලෑස්ති කරමින් සිටියා. ඒ අතර අපිට එක්වූ යුදහමුදා නිලධාරියකු වූ නිරෝෂන ගිටාර් එක සුසර කරමින් හිටියා. තවත මිතුරෙක් ඕගන් එක වාදනය කරනවා. මෙවන් චාමර සින්දුවල ඛාණ්ඩ ගායනා කරනවා. මේ පෙර පුහුණුවට උදය සියලු උපදෙස් ලබා දෙනවා. මේ අතර මම, ලලිත් සහ ජගත් පිටුපස තිබූ වැලි පාර දිගේ ඈතට ගියා. පෝය දවසක් නිසා පිටරට සංචාරකයන් මෙන්ම ශ්‍රී ලංකා සංචාරකයනුත් පිරිලා. අපිත් නාන්න ඇඳුම් අරන් නොගියත් ඇඳන් හිටිය ඇඳුමෙන්ම නෑවා. ඉර අවරට යන්න තවත් සුළු මොහොතයි. අපි බයිසිකල් සමග වෙරළ දිගේ තල්ලු කරගෙන ගියා. සිතිජ ඉමේ ඉර බාගෙට ලස්සනට පේනවා. මුහුදු වෙරළ දැන් ඇඳපු චිත්‍රයක් වගේ. මෙතෙක් වේලා එළිය දුන්න හිරු අපිව අඳුරේ තනිකර නොපෙනී ගියා. අපි ඉක්මනටම නැවත අපේ නවාතැනට ආවා. ඒ එනකොට සියලු දේ ලෑස්ති කරලා. ගිනිමැලය පත්තු කරන්න හදන්නේ. වටේට පුටු තියාගෙන එකිනෙකා සංගීත සාජ්ජයට සූදානම් වෙනවා. අද පෝය දවසක්. හඳත් එළිය දීගෙන වලාකුළු අතරින් එළියට එනවා. දැන් ගිනිමැලයත් පත්තු වෙවී එළිය දෙනවා. සින්දු කියන්න දැන් නියම වෙලාව. උදයා කිව්වා අපි පළමුවෙන්ම බයිසිකලය සින්දුව කියමු කියලා. අපි සියලුම දෙනා ‘බයිසිකලේ, බයිසිකලේථ පොහොසත් අපගේ බයිසිකලේ’ කියලා වෙනස් කරමින් ගායනා කළා.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…

ඊළඟට මේ ‘එෆ්බී මිත්‍රත්වය’ කරපු කියපු දේවල් ගැන සහ ඉදිරිය ගැන උදයා දේවමුල්ල සංක්‍ෂිප්ත කතාවක් කළා.

ඔබට මතකද, අපි එකතුවෙලා වරක් කීර්ති බණ්ඩාර මානවවාදී රියදුරු මහතා වෙනුවෙන් ඒ පවුලේ අයට සහ එම රිය අනතුරට මුහුණදුන් අයට ආර්ථික වගේ ම සමාජ වටිනාකමක් එකතු කරන අපූරු වැඩක් කළා. කීර්ති බණ්ඩාර විරුජන සම්මානය කියලා. දෙස් විදෙස් අපේ මුහුණු හිතවතුන් ඒ වෙනුවෙන් පිරුණු සිතින් එකතු වුණා. තව දවසක් අපි, මුහුණු මිතුරු එකමුතුවක් විදිහට ජපුරේ රොබරෝසියා පැළ හිටෙව්වෙ ගම්පොළ ඉඳන් රොබරෝසියා පැළ අරන් ඇවිත්, ජපුර එපුර මෙපුර අයත් කැන්දගෙන. ආයෙ ම අපි ස්වර්ණමාලී චෛත්‍ය භූමියේ රන්තෙළඹු පැළ රෝපණ වැඩසටහනක් කළේ මේ මුහුණු මිතුරුකම් එක්ක බැඳුණු කඹයක් වගේ එකට එකතුවෙලා. අටදාස් පෙතියා ඇට රට පුරා විසිරෙව්වා අපි එකතුවෙලා. රට පුරා කුඹුක්, මී වගේ හිටවපු පැළ දහස් ගණනක් මේ වෙද්දි තැන තැන උස යමින් අපිට ඔක්සිජන් පිඹිනවා.

අපි එෆ්බී මිතුරන් විදියට එකතුවෙලා කරපු දේවල් උදයා එක දිගට කියාගෙන කියාගෙන ගියා. අපේ අය මීක් නෑ.

අවුරුද්දට පැළයක් හිටවන්න කියලා කියපු අපි, අවුරුද්දට තෑගි වෙනුවට භෝග අරගෙන ගෙවල්වලට යන්න කියලා මුහුණු පොතේ එක ම තාලෙකට දාපු සද්දෙ, පස්සෙන් පස්සෙ “පැළ හිටවන නැකතක්” අවුරුදු ලිතට එන තරමට ම ඒක පැතිරිලා ගියා. මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ පෞද්ගලික ආයතන පවා තමන්ගෙ ගනුදෙනුකරුවන්ට අලුත් අවුරුද්දෙ පැළයක් තෑගි දෙන තැනට මේ මුහුණු මිතුරු දැළ ලියලන්න ගත්තා.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…

කොරෝනා කාලෙ අපි ගෙදරට වෙලා හිත් අඟුළු දාගෙන උන්නු පොඩි දරුවන්ගෙ හිතට හයියක් දෙන්න සව්කොළ වෙනුවට ගොක්කොළවලින් වෙසක් කූඩු සැරසෙව්වේ දරුවන්ට ගෙදරින් එළියට බහින්න අවසර නැතිව ඉන්දැද්දි… මේ මුහුණුපොතේ මිතුරුකම්වල අසිරියෙන්.

අපි එක නිදහස් දිනයක් දා අපේ රටේ හිටවපු පොල් පැළ හයසීයකට වැඩි ප්‍රමාණයක් තව ටික කාලෙකින් මල් පූදීවි අපේ මේ මුහුණු මිතුරුකම්වල එකමුතුව අතරින්.

මේ කිසි “වැඩක” නායකයො නැහැ. මේ කිසි වැඩකට “සල්ලි” ඉස්සරහට ආවෙ නැහැ. ඉස්සරහට ආවෙ වැඩේට තියෙන “ඇම්ම” විතරමයි. ඒක “ගැම්මක්” කරන්න මේ මුහුණු පොතේ අපේ මුහුණු හිතවතුන් දාපු එක පෝස්ට් එකකට තිබුණු “හයිය” මාර ම මාරයි. කෙනෙක් තව කෙනෙක් ව හඳුනගන්න ඕනෑ කරන්නෙ නම, ගම, වයස, රැකියාව ඇතුළෙ නෙවෙයි… ඒකට ඕනි “වැඩක්!”

අපි හැදෙන්නෙ “වැඩ” වලින් ම විතරයි. “වැඩ” වලින් ම විතරයි. අපිට අපිව හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි “වැඩ” “වැඩ” කරන්න නම් ඕනෑ කරන ප්‍රධානතම දේ තමයි ඒ වැඩේ වෙනුවෙන් එන ඇම්ම. ඊට පස්සෙ ගැම්ම. ගැම්ම හදන්න නම් මුලින් ම ඇම්ම තියෙන්න ඕන. ඒ ඇම්මට සල්ලි, තනතුරු, බලය කියලා ඔය කියන ඒ මෙලෝ දෙයක් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ “ඇම්ම” ම විතරයි.

උදයා මතකය අලුත් කළේ ඒ ඒ ගමන්වලදි ඊට එකතු අය විදියට අපිට ආඩම්බරයක්, සතුටක් එක් කරමින්. මේ වන විට මේ කතාව එෆ් බී හරහා සජීවි විකාශයක් දෙමින් තිබුණා.

ගිනි මැලය ගිනි දඬු පුපුරමින් ශබ්ද නැගුවා. ගිනි පුපුරු හමන සීතල සුළඟත් එක්ක ඉහළට විසිරී යනවා. රශ්නය තදින් දැනුනත් කවුරුවත් කතාවට බාධාවෙයි කියලා නිසොල්මන්ව සිටියා. උදයා කතාකරනකොට මුහුණෙන්, අතින් හැඟීම් එක්කරනවා.

“අපි බයිසිකල් ටුවර් එකක් පදිමුද මල්ලි” කියලා මම චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගෙන් කෝල් එකක් ගත්තු දවසක ඇහුවා විතරයි… “පදිනව නම් පදිමු අයියෙ… ආයෙ මොනවද…” කියලා උත්තරේ ආවා. “අයියා එෆ්බී එකේ පෝස්ට් එකක් දාන්න… එන අය සෙට් වෙයි… ලිස්ට් එකක් හදලා ඩේට් එකක් දාගමු… වැඩි පිරිසක් නැතුව… මොකද අපිට මහපාරෙනෙ අයියෙ පදින්න වෙන්නෙ….”

මාවයි, තුෂාර නිරෝෂන පුංචිහේවා සහ දන්න කීප දෙනෙක් ව ටැග් කරලා පෝස්ට් එක දාන්නකො. එන්නෙ තුනද, පහද, දහයද කියලා අදාළ නෑ අපි ඒ ටිකත් එක්ක පදිමු.

ඊළඟ මගෙ කෝල් එක කිත්සිරිමෙවන් පෙරේරාට. අපේ මුහුණු පොතේ අර කියාපු වැඩවලදි ඇම්මෙන් උන්නු කෙනෙක්.

“මල්ලි, පොඩි වැඩක්. බ්ලා බ්ලා බ්ලා…”

“එකෙන් ම!….. කරමු ඉතිං!”

දැම්මා පෝස්ට් එක.!

ඔන්න එනවා සෙට් එක. හැමදාම අපි එක්ක ඉන්න ශානක උක්වත්ත “මම එනවා” කියලා ප්‍රතිචාර එනවා. ටෝනි, දේශාන්, දර්ශන, ජයතුංග, හර්ෂණ, කීර්ති බණ්ඩාර, දිනූෂ සුගතපාල, අපේ පෙරපාසල් ගුරුතුමී චතුරි නිරුක්ෂිකා සහ හර්ෂණගේ යාළුවා ලලිත් ප්‍රියන්තගෙත් ප්‍රතිචාර ධනාත්මකයි.

“අපිත් එනෝ….” මාතර අපේ සඳුන් කුමාරගේ.

ඔන්න දඩ දඩ ගාලා පැමිණීමේ කොමෙන්ට්ස්. ජානක අලුත්වල, සමිත් බෝධිපක්‍ෂ මේ හැමෝම. අත්දැකීම් අඩු නිසා අපි ස්ත්‍රී පාර්ශ්වය බොහෝම කාරුණික ව ඉල්ලලා වැඩෙන් පොඩ්ඩකට ඈත් කළා.

‘බුකියෙන්’ හරි පාරට පාපැදියෙන් බෙන්තොටට... අර්බුදයක් ගිය දුර…
බෙන්තොට දුම්රියපොළ

එන්න බැරි අය සහ යන්න ඕනෑ ඒත් වයස නිසා බයයි වගේ අයගෙන් දුක්මුසු සුබපැතුම් එනවා. කට්ටිය 30ක් වෙද්දි “සමාවෙන්න, දැන් සෙනඟ ඇති” කියලා ගේට්ටුව වැහුවා අපි.

ගමන යන්න නම් බයික් එකයි, හිතේ හයියයි විතරක් ඇති. ඒත්, ඉන්න-කන්න නිකං බෑනේ… ඔන්න බජට් එකකුත් හැදුවා. එක්කෙනෙක් ට මේ කාලෙ හැටියට ටිකක් බර ගාණක් යනවා. පාං කන්නත් බෑනෙ. එක එක පෞද්ගලික වැඩ නිසා සමහරුන්ට දවස ගැලපුනේ නැහැ. කොහොම හරි අපි විස්සක් දෙනා ඉලක්කය වුණු බෙන්තොටට පැද්දා. අපි කොට්ටාවෙන් පටන් ගත්තට බද්දෙගමින්, ඇල්පිටියෙන්, ගාල්ලෙන්, මාතරින්, දෙනියායෙන් එහෙමත් කට්ටිය ආවා.

අපේ කාංචනා කණ්ඩම්බි ගුරුතුමියගේ සැමියා, බයික් රයිඩිං ගැන හොඳට අත්දැකීම් තියෙන ජගත් අපිට හොඳ මඟපෙන්වීමක් කළා. DSI ආයතනයේ නිලධාරී බුද්ධික අනුරාධ විතානවසම් සොහොයුරා අපිට දුන්නු උපදෙස් සහ සහයෝගය හරි ම ඉස්තරම්. (බුද්ධික, කොට්ටාවේ සිට බෙන්තරට යනකල් තියෙන පාපැදි අලුත්වැඩියා කරන කඩවල දුරකතන අංක එව්වා) ගමනට එන්නම හිටියත් හදිසි වැඩක් හේතුවෙන් පැමිණීමට නොහැකි වුණු නිසා මම එදා පැද්දෙත් බුද්ධික මල්ලිගෙ බයික් එක. අපි බයිසිකල් පදිනවා වගේම තවත් අය මේකට නැඹුරු කරගමු. සෞඛ්‍ය තත්ත්වයේ නිරෝගී වෙනස වගේම මානසික සතුට අන් අයට කියා දෙමු. බයිසිකලය අපේ ජීවිතේ ස්ටයිල් එක කරගමු. ඒ හරහා ජීවිතේ පැද යමු. ජීවිතය විඳිමු. උදය කතාව නිමා කළේ ගමනට සහයෝගය දුන් සැමටත්, පැමිණි සියලුම දෙනාටත් ස්තූති කරලා. දැන් සිංදු සාජ්ජය නැවතත් පටන් ගත්තා. අපි ‘හැඟුම් වලට ඉඩදී මොහොතක් – ඉඩ ලබා ගනිමු තරමින් වියතක්’ රාත්‍රීයට, සඳ එළියට දැනෙන ආදරයේ චමත්කාරය මෝදු කරමින් නිරෝෂන් බොක්ස් ගිටාරය වයමින් ගායනා කළා. මෙවන් ගීතයේ තාලයට අනුගත වෙමින් කැජොන් ඩ්‍රම් (cajon drum) වාදනය කළා. පැය 4ක් විතර ගීත ගයමින් අමතක නොවන රාත්‍රීයක් ගත කළා. දැන් රාත්‍රි 11 ට විතර ඇති. අපි සින්දු කියන, අල්ලාප සල්ලාපයේ යෙදෙන අතරේ හඳත් හොරෙන් හොරෙන් ඉහළට ඇවිත්. සම්පූර්ණ හඳක්. සඳමඬලත් සඳ වටේට එළිය කරන් හොඳින් සඳ කාන්තිය විහිදුවනවා. ඈත බෙන්තොට පාලමෙන් වාහන ගාලු පාර දිගේ කොළඹටත්, ගාල්ල දෙසටත් ධාවනය වෙනවා. ඒ වාහනවල එළි බෙන්තොට ගඟට වැටී විවිධ වර්ණ රටා මවනවා. හරිම ලස්සනයි. චිත්‍රයක් ම තමයි. සින්දු කියන අතරේ සියලු දෙනා ඒ ලස්සන චිත්‍රය දෙස බලා උන්නා. සියලු දෙනා මුලින්ම කතිකා කළේ මේ සාජ්ජය දොළහට පමණ ඉවර කරන්න. එපරිද්දෙන්ම රාත්‍රි දොළහ පමණ වනවිට සියලු දේ නිමා කළා. එකිනෙකා හෙමින් හෙමින් ඇඳවල් කරා ඇදුනා. මමත් ඇඳට වැටුණා පමණයි මහන්සියට නින්ද ගිහින්.

පසුවදා උදේ එකිනෙකා සමුගන්න අතර දෙනියාය, ගාල්ල, බද්දේගම වගේ ප්‍රදේශවලින් පැමිණි මිතුරන් උදෙන්ම නික්ම ගිහින්. අපිත් ගෙවල් බලා පදින්න සියල්ල ලකලෑස්ති කරගත්තා. උදේ ආහාරයත් අරගෙනම උදේ 9ට විතර කොට්ටාවට බලා පිටත් වුණා.

හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment