ගෙවී ගිය පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ගම්බිම්වලින් බැහැරව කොළඹ පැමිණ සිටියහ. පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ ඔන්ලයින් පනත, වැට්, ටින් ඇතුළුව ඉතා වැදගත් පනත් හා මාතෘකා කීපයක් සාකච්ඡාවට ලක්ව තිබූ බැවින් ඒවා පිළිබඳ සමාජයේ ලොකු කථිකාවක්ද ඇතිව තිබිණි. වඩාත්ම කතාබහට ලක්ව තිබුණේ ඔන්ලයින් පනත පිළිබඳවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතිය ආරම්භ වන විට සිටියේ සුවිට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන්නට ගොසිනි. එය අවසන් වූවාට පසු ඔහු උගණ්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වන්නට ද මේ ගමන අවස්ථාවක් කොට ගත්තේය.

ඒ වන විට උගන්ඩාවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට ලංකාවෙන්ද කණ්ඩායමක් පිටත්ව ගියහ. අමාත්‍ය චාමර සම්පත්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ අතර මේ කණ්ඩායමට සමග ජනබලවේගයේ කින්ස් නෙල්සන් ද ඇතුළත්ව සිටියේය. ඊට අමතරව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ප්‍රමුඛ රජයේ නිලධාරීන්ද දෙතුන් දෙනකු වූහ.

එම කණ්ඩායම කොළඹින් ඩුබායි බලා පිටත්ව ගිය අතර ස්විටර්ලන්තයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඒ වන විට ඩුබායිවලට පැමිණ දූත කණ්ඩායම හා එක් වූයේය. අනතුරුව සියල්ලෝම උගන්ඩාව බලා ගියේ එක කණ්ඩායමක් ලෙසය.

ආණ්ඩුවේ සාද තෙපුල් නෙල්සන්ගෙන් බයිට…

ජනාධිපති උගන්ඩාවට ගිය පළමු දිනයේම ශ්‍රී ලංකාවෙන් එක්තරා පුවතක් අසන්නට ලැබිණ. ඒ වූ කලී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබූ තීන්දුවයි. ජනාධිපති සමාව අත්හිටුවා දුමින්දට නැවතත් මරණ දඬුවම නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව පිළිබඳ පිටපතක් ගෙන්වා ගත් ජනාධිපතිවරයා එය කියවා බැලීය.

ඒ වන විට උගන්ඩාවට ලොව හතර වටෙන්ම රාජ්‍ය නායකයන් හා රට රටවල්වල නියෝජිතයන් පැමිණ සිටියහ. නොබැඳි සමුළුවට සමගාමීව ජී 77 සමුළුවේ සැසි වාරයක්ද එරට පැවැති බැවින් අප ජනාධිපතිවරයාට ඊට ද සහභාගි වන්නට අවස්ථාව උදාවිය. මේ නිසා ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් රාජ්‍ය නායකයන් හා නිලධාරීන් විශාල ප්‍රමාණයක් මුණගැසීමේ හා සාකච්ඡා කිරීමේ අවස්ථාව අප ජනාධිපතිවරයාට උදාවී තිබුණි.

මේ අතර ලංකාවෙන් ගිය මන්ත්‍රී කණ්ඩායම හා නිලධාරීන් සමග සාකච්ඡා කරන්නටද ජනාධිපතිවරයාට හොඳ නිදහසක් මේ සංචාරය අතරතුර ලැබී තිබිණි. එහිදී ජනාධිපතිවරයා විවිධ භෝජන සංග්‍රහයන්ට හා උත්සවවලටද සෙසු පිරිස හා සහභාගි විය. චාමර සම්පත් හා කින්ස් නෙල්සන් ජනාධිපතිවරයාට ඉතාම සමීපව කටයුතු කරනු දැකගත හැකි විය. එහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද ඔවුන්ට කිසිසේත්ම දෙවැනි වන්නට කල්පනා කළේ නැත. ඔහු ජනාධිපතිවරයා ළඟින්ම සිට කටයුතු කළ අයකු විය.

මේ අතර ඉතා සුහද විහිළු තහලුවලටද සෙසු මන්ත්‍රීවරු හා ජනාධිපති රනිල් සම්බන්ධ වූයේ සාකච්ඡා හමුවීම් හා රැස්වීම් අතරතුර ලැබුණු කුඩා කුඩා අවස්ථාවලය. මන්ත්‍රීවරු ඇතිතරම් විනෝද වන බවත් දේශපාලන පක්ෂ පාට තරහ මරහ අමතක කර මේ පිරිස එකට සිටින බවත් ආරංචි වූ ජනාධිපතිවරයා ඊට කරුණු කාරණා සොයා බැලීය. සජබෙ මන්ත්‍රී කින්ස් නෙල්සන් කල්තබා ගත හැකි විවිධ බැදුම් වර්ග ලංකාවේ සිට ගෙන ගොස් තිබූ බැවින් නිතර නිතර සෙසු මන්ත්‍රීවරු ඔහු සොයා ඔහුගේ කාමරයට යන බව ජනාධිපතිවරයාට සැලවිය. ඒ පිළිබඳ තොරතුරු විමසා සිටියේ චාමර සම්පත් ගෙනි. කට ගැස්මට ඉතා ප්‍රනීත කරවල හාල්මැස්සන් හා හා දැල්ලන් බැදුම් වෙන වෙනම පිළියෙල කරගෙන ගෙනවිත් තිබූ බැවින් කින්ස් නෙල්සන්ට අනිත් මන්ත්‍රීවරුන්ගෙන් ගරු සත්කාර හා සැලකිලි බහුල විය.

රාජ්‍ය තාන්ත්‍රික සමුළු සාකච්ඡා හා සුහද හමුවීම් රැසක් අවසානයේ ජනාධිපතිවරයා හා දූත පිරිස පසුගිය අඟහරුවාදා අලුයම මෙරටට පැමිණ සිටියහ. ගමන් මහන්සිය වත් නොතැකූ ජනාධිපතිවරයා පසුදා දවල් සිටම ජනාධිපති කාර්යාලයේ නිල රාජකාරි කටයුතුවලට සම්බන්ධ විය.

දේශපාලන ඉදිරිවාදය කලාවේදී සනීපයිලු…

මේ රටේ කලාකරුවන් මෙන්ම කලාකාමී රසවතුන් බොහොමයකට පසුගිය 21 වැනි ඉරිදා සන්ධ්‍යාව ඉතා සුවිශේෂී සන්ධ්‍යාවක් විය. හේතුව කලා ශිල්පිනී ප්‍රදීපා ධර්මදාසගේ ඒකපුද්ගල ගීත ප්‍රසංගයක් එදින හවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සජීවීව දැක බලා ගන්නට අවස්ථාව උදා වී තිබුණ නිසාය. ප්‍රදීපා සිය කලා ජීවිතයේ විවිධ ඉසව් හා මන් සලකුණු සනිටුහන් වන ලෙස සිය ගණනක් ඇයගේ ගීත අස්වැන්න අතරින් ඉතා අර පරිස්සමින් තෝරා බේරාගත් ගීත විසි දෙකක් ප්‍රසංගයේදී ගායනයට නියමිත විය. ප්‍රසංගය නම් කර තිබුණේ “සුපෙම් හැඟුම්” නමිනි. ප්‍රදීපා ප්‍රසංගය සඳහා තෝරාගෙන තිබූ බොහෝ ගීත පසුගිය කලබලකාරී ආණ්ඩු සමයන්හි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම පවා තහනම් කර තිබූ විරෝධාකල්පීය නිර්මාණ වූහ. ප්‍රදීපාගේ “කලාවේ දේශපාලනය” නිසාත් ඩලස් අලහප්පෙරුම නමැති ඇයගේ ස්වාමියාගේ “දේශපාලනයේ කලාව” නිසාත් ප්‍රසංගය බලන්නට කලාකරුවන් හා සමානවම දේශපාලනඥයෝ ද පැමිණ සිටියහ. ලසන්ත අලගියවන්න ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, කරුණාරත්න පරණවිතාන ඇතුළු දේශපාලනඥයෝ ගණනාවක්ම ප්‍රසංගය නිසි වේලාවට අවසන් වී අමුත්තන්ගේ සුභපැතුම් එක් කරන අවස්ථාව වනතුරම නෙළුම් පොකුණේ රැඳී සිටීම විශේෂත්වයක් විය. මේ අතර පසුගියදා දැඩි විවේචනයක්ද කරමින් ඩලස්ලාගේ දේශපාලන කණ්ඩායමෙන් ඈත්ව සමගි ජනබලවේගය හා අත්වැල් බැඳගත් ඩිලන් පෙරේරා ප්‍රදීපාට පමණක් නොව, ඩලස් ළඟටම පැමිණ ඩලස්ට සුබපතන්නට ද අමතක කළේ නැත.

මේ අවස්ථාව ඇසින් දුටු මාධ්‍යවේදීන් “ඇයි දැන් දෙන්න යාළුද… පාවල දුන්නයි කියපු ඒවා මතක නැද්ද… කියා ඩිලාන්ගෙන් අසද්දී ඔහු අපූරු පිළිතුරක් දුන්නේ හයියෙන් සිනාවෙමිනි…

“දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්. දේශපාලන එදිරිවාදිකම් කලාවට අදාළ නෑනේ මචං…” ඩිලාන් කීවේය.

ඔන්ලයින් පනතට විරුද්ධ මඩකරියොලු….

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී වැඩිපුරම කතාබහට ලක් වූයේ ඔන්ලයින් පනත කියා හැඳින්වුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි. සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සියල්ලෝම පාහේ මෙම පනතට මුලින්මනින්ම විරෝධය පෑහ. මෙම පනත පිළිබඳ සංශෝධන රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ලබාදී තිබීම නිසා ආණ්ඩුව මේ පනත දෙස බැලුවේ සුබවාදීවය..

“ගරු අධිකරණයෙන් සුදුසු නෑ කියලා අයින් කරපු යෝජනා ටික සේරම අයින් කළා. දැන් මේ ගේන්නේ අධිකරණයෙන් අනුමත වෙච්ච යෝජනා ටික පමණයි. ඇයි ඉතින් මේකට විපක්ෂය කන් කෙඳිරි ගාන්නේ. මේකෙන් විපක්ෂයේ අදහස් ප්‍රකාශ කිරීමේ හැබෑ අයිතිය අහිමි වෙන්නේ නෑනේ… ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රීවරු තර්ක කරන්නට වූහ.

“ඕනම ආණ්ඩුවක් වහන්න හදන, යටපත් කරන නිවුස් තියෙනවා. සමාජ මාධ්‍ය නැත්නම් ඒවා ජනතාවට යන්නේ නෑ. ඒකට වැට බඳින්නයි මේ පනත ගේන්නේ. කොහොම වුණත් මේකට අපි විරුද්ධයි. සමාජ මාධ්‍ය වුණත් මොකක් වුණත් මේ රටේ ජනතාවගේ මාධ්‍යය. ජනතාවගේ මාධ්‍ය නිදහසට ඇඟිලි ගැසීමකින් තොරව තියෙන්නයි ඕන. ආණ්ඩුව ඇයි ඒකට බය වෙන්නේ..”

“අපි නම් සමාජ මාධ්‍යවලට පොඩ්ඩක්වත් බය නෑ. අපෙත් ප්‍රචාරක වැඩකටයුතුවලට සමාජ මාධ්‍ය යොදාගන්නවා. හැබැයි ඉතින් අපි අනිත් අයගේ චරිත ඝාතනය කරන්න මඩ ගහන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැති හින්දා ප්‍රශ්නයක් නෑ මේ වගේ නීති රීති ආවට. අනුන්ට මඩ ගහන්න අපහාස කරන්න බොරු බේගල් පතුරවන, පච ආරංචි පතුරවල සමාජගත කරන විපක්ෂයට තමයි අද මේ පනත ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇයි ඒගොල්ලන් එකතු කරලා, අනලා ආරක්ෂා කරගෙන ඉන්න මඩතලි ටික මේ පනත ආවොත් දාන්න විදියක් නෑනේ… ඔන්ලයින් පනතට විරුද්ධ විපක්ෂයේ ඉන්න මඩකරියෝ” ආණ්ඩු පක්ෂය විපක්ෂයට චෝදනා කරන්නට වූහ. සාකච්ඡාව ඔය විදිහට සතිය පුරාම ඇදී ගියේය.

මෙම සතියේත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි. අගමැතිවරයාත් සභා නායකවරයාත් නොසිටි බැවින් මන්ත්‍රී කණ්ඩායමේ මුලසුන දරන්නට සිදුවූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගටය. පසුව ඔවුන් දෙදෙනා පමා වී පැමිණියහ.

සභාවේ වැඩකටයුතු ආරම්භ වූයේ ටිරාන් අලස් කරන ලද පැහැදිලි කිරීමකිනි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පවතින තත්ත්වය ටිරාන් අලස් මන්ත්‍රීවරු හමුවේ පැහැදිලි කළේය.

“පනතට සංශෝධන ඉදිරිපත් කරන්නේ අධිකරණයෙන් ලබාදුන් තීන්දුව අනුවයි. අපි මේ ගැන සිවිල් සංවිධාන හා සමාජ මාධ්‍ය කණ්ඩායම් හමුවුණා. විපක්ෂයත් විරෝධය දක්වනවා. හැමෝම කියන්නේ පනත විවාදයට ගන්නේ නැතුව කල්දමන්න කියලයි. අපි එයාලගේ යෝජනාවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ගැසට් කරමු” ඇමැතිවරයා කීය.

“විපක්ෂය අනිවාර්යයෙන්ම මේකට විරෝධය දක්වාවි. ඡන්දයක් ඉල්ලන්නත් පුළුවන්. ඒ නිසා මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම උදේට පාර්ලිමේන්තු එන්න.” ඒ ඇමැති ප්‍රසන්නය.

නීතිපතිවරයා සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ මෙම පනතේ අරමුණු සම්බන්ධයෙන් කරුණු දක්වන්නටය.

“මේ පනතින් අපි කතා කරන්නේ සමාජ මාධ්‍යවලින් පුද්ගලයන්ට හා අධිකරණයට සිදුවන අපහාස ගැනයි. ඒත් මේකේ අධිකරණය ගැන විශේෂ සඳහනක් තියෙනවා. ඒත් පාර්ලිමේන්තුව ගැන සඳහනක් නෑ. ඒ ඇයි?” ඇමැති ප්‍රසන්න, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසීය.

“අධිකරණයට අපහාස කළොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඩිජිටල් ෆැලැට්ෆෝම් එකේදී අධිකරණයට අපහාසවීම සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග ගැන කිසිම සඳහනක් නෑ. ඒ නිසා තමයි අධිකරණය ගැන මේකෙ සඳහන් වෙන්නේ.” ඒ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකය.

“අධිකරණය වෙනම ගන්න එපා, අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය කියන්නේ ව්‍යුහයන් තුනක්. මේක වෙනම ගන්න එපා” මන්ත්‍රීවරු කීය. මේ කතාබහ සෑහෙන දුර දිග ගියේය.

“මම මේ ප්‍රශ්නය ඇහුවෙ වෙන මොනවත් නිසා නෙවෙයි. විපක්ෂය අපෙන් ප්‍රශ්න කළොත් පිළිතුරු දෙන්න අපි දැනගෙන ඉන්න ඕන. ඒ නිසයි.” ඇමැති ප්‍රසන්න කරුණු පැහැදිළි කළේය.

“හැම නීතියකටම අපි අත උස්සනවා. ඒත් මේව ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?” ඒ රාජ්‍ය ඇමැති කනකය. හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැනත් කරුණු පැහැදිලි කළේය.

“දැන් නීතියක් තියෙනවා. අධිකරණයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?. එක පුද්ගලයෙක් වරදක් කළොත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමූහයක් වරදක් කළොත් දඬුවම් කරන්නෙ කොහොමද?” ඒ සංජීව එදිරිමාන්නය.

“අරගලය හරහා අපේ ගෙවල් ගිනි තිබ්බා. අද වෙනකම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ නීතිය මොකද්ද?” සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කීය.

“ඒක ඇත්ත. අපේ ගෙවල් ගිනි තියපු අය ගැන සාක්ෂි එක්ක ඉදිරිපත් කරල තියෙනවා. හැබැයි අද වෙනකම් මුකුත් වෙලා නෑ” ඒ රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්තය. මැති ඇමැතිවරුන් ඒ ගැනද කතා කරන්නට වූහ.

“ඒ ගැන ඉදිරිපත් කරල තියෙන පැමිණිලි සම්පූර්ණ නැහැ. සාක්ෂි නැති නිසා සමහරු ඉල්ලා අස්කරගෙන තියෙනවා. ඒ නිසා නඩු පවරන්න විදියක් නැහැ. හැබැයි කිහිප දෙනෙක්ගේ පැමිණිලි සම්බන්ධයෙන් නඩු පවරන්න කටයුතු කරගෙන යනවා” නීතිපතිවරයා පැහැදිලි කළේය.

“මගේ ගේ ගිනි තියපු අයගේ ෆොටෝ පවා ඉදිරිපත් කළා. අමාත්‍යාංශයේ වාහනත් ගිනි තිව්වා. රාජ්‍ය දේපළ ගිනි තියපු අයට ඇප දෙන්න බෑ. ඒත් සැකකරුවන්ට ඇප දුන්නා.” ඇමැති ප්‍රසන්නද කීය.

“ජනසභා ක්‍රියාත්මක කිරීම ගැන ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්ඡා කළා. නමුත් මන්ත්‍රීවරුන් දැනුවත් නෑ කියල චෝදනාවක් ආවා. 24 වැනිදා ඒ ගැන සාකච්ඡාවක් තියෙනවා. ඒකට සහභාගි වෙන්න.” ඇමැති ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට කීය.

“අපි මේ කෙටුම්පත දැකලත් නෑ. මේකට අත උස්සන්නෙ කොහොමද?. ඒ නිසා අපි දෙන්න සාකච්ඡා කරල මේක කල් දාගමු” ඒ
අගමැතිවරයායි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේ දෙවැනි දිනයේදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා චෝදනාවක් කළේය.

“මේ සංශෝධන අධිකරණ තීන්දුවට සම්පූර්ණ පටහැනියි” වීරක්කොඩි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

“නෑ… එහෙම එකක් නෑ. අධිකරණ තීන්දුව අනුව තමයි සංශෝධන ගෙනාවේ” ඒ සභා නායක සුසිල්ය. මන්ත්‍රී දයාසිරි ජයසේකරද කතා කළේ මන්ත්‍රී චන්දිමගේ කතාවට පක්ෂපාතීවය.

“අධිකරණයට විරුද්ධව පාර්ලිමේන්තුවට තීරණ ගන්න බෑ” සුමන්දිරන් කීය.

මේ කතාව දුරදිග යද්දී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා යමක් කියමින් වේගයෙන් ආණ්ඩු පක්ෂය දෙසට ආවේය.

එයට පිලිතුරු දෙන්නට ඇමැති ප්‍රසන්න නැඟී සිටියේය. ඔහු වේගයෙන් හකීම් දෙසට ගියේ ඔහුට මුහුණ දීම සඳහාය.

“ඇමැතිතුමා වාඩි වෙන්න. අපි මෙයාට උත්තර දෙන්නම්” කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රොත්තක්ම ඉදිරියට ආවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද වන ප්‍රසන්නගේ ගමන ඒ හැටි හොඳ නැති බව වැටහුණු නිසාය. හිටපු ඇමැති මහින්දානන්ද ද සභා ගර්භය මැදට පැන ප්‍රසන්නගේ අතින් අල්ලාගෙන ඔහු වැළැක්වූයේය. සනත් නිශාන්ත, සුමිත් උඩුකුඹුර, චාමර සම්පත්, සම්පත් අතුකෝරල ඇතුළු පිරිසක් සභා ගර්භය මැදට බැස්සේ එන ඕනෑම දේකට මුහුණ දීමේ සූදානමෙනි. ඒ සමඟම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකුත් නැඟී සිටියහ.

“මේ ගොල්ලන්ට ඕන රැස්වීම නවත්වන්න. ඔයාල ගිහිල්ලා සෙංකෝලේ බලාගන්න” ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කී ඇමැති ප්‍රසන්න කෙලින්ම ගියේ කථානායකවරයා අසලටය.

“කථානයකතුමනි, අපි සංශෝධන ඉදිරිපත් කරනවා. ඒකට අවස්ථාව දෙන්න”

ඒ අනුව ඇමැති සුසිල් පනතේ සංශෝධන ඉදිරිපත් කළේය. ඒ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බාධා මැදය.

ඔන්ලයින් පනත අස්සේ ඕෆ්ලයින් ගිය බිලියන 21

ඔන්ලයින් පනත පිළිබඳ විවාදය මොනතරම් උණුසුමින් පාර්ලිමේන්තුව තුළ ඇදී ගියත් ඊට පරිබාහිර තවත් වැදගත් කාරණාවක් ගැන අවධානය යොමු කළ මන්ත්‍රීවරයෙක්ද පාර්ලිමේන්තුවේ සිටියේය. ඒ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය. පසුගිය සතියේ ඔහු වඩාත් වැඩිපුර අවධානය යොමු කර සිටි වැදගත් කාරණාව මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව බව බොහෝ දෙනකුට වැටහී ගොස් තිබුණේ නැත.

ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අසමින් පෙන්වා දුන්නේ පහුගිය 2022 වසරේ රටේ ජනතාවගේ ඊපීඑෆ් හා ඊටීඑෆ් මුදල් ආයෝජනය කර ලැබූ පොලී මුදලින් එම වසරේ සියලු වියදම් පියවා ජනතාවට ගෙවිය යුතු 9% ක පොලී මුදල්ද ගෙවා ඉතිරි වන ලාභයෙන් රුපියල් බිලියන 21ක් ලාභ තුලනය කිරීමේ ආරක්ෂක ගිණුම කියා මහ බැංකුව සතුව තිබෙන ගිණුමකට බැර කිරීම සම්බන්ධවය.

මීට පෙර වසරවල මේ සා විශාල මුදලක් එම ගිණුමට බැර කර නැත. 2021 දී රටේ උද්ධමනය 6% ක්ව තිබියදී ජනතාවටත් ප්‍රතිලාභ 9% ක් ගෙවා බිලියන 2.6ක් එම ගිණුමට බැර කර තිබිණි. 2020 දී උද්ධමනය 4% ක් තිබියදී ජනතාවට 9%ක පොලි අනුපාතයක් ගෙවා එම ගිණුමට රුපියල් බිලියන 13ක් බැර කර ඇත. එහෙත් 2022 වසරේ රටේ උද්ධමනය 46%ක් බඳු ලොකු අගයක තිබියදී ඊපීඑෆ් ඊටීඑෆ් මුදල් යොදවා කරන ලද ආයෝජනවලින් ලැබෙන ලාභයෙන් ජනතාවට සරිලන පොලී අනුපාතයක් නොගෙවා ඔවුන්ට සියයට නමයක් පමණක් දී බිලියන 21 ක් බඳු විශාල මුදලක් මහා බැංකුවේ ආරක්ෂණ අරමුදලට වෙන්කර ගත්තේ මන්දැයි ගෙවිඳු ප්‍රශ්න කර සිටියේය. 2018 වසරේදී කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා එම ආරක්ෂණ අරමුදලින් බිලියන හයක් ගෙන ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ පූර්වාදර්ශයක්ද තිබූ බව ගෙවිඳු මෙහිදී පෙන්වා දුන්නේය. එහෙත් ගෙවිඳු ජනතාව වෙනුවෙන් කරන ලද මෙවන් හෙළිදරව් කිරීම් සෙසු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් වූ වාද නැද්ද යන ප්‍රශ්නය මතුවිය. පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අවධානයේ තිබුණේ මෙම ප්‍රශ්නයට වඩා වැට්, ටින් හා ඔන්ලයින් පනත් බඳු මාතෘකාය.

සනත්ගේ මරණයේ ඔන්ලයින් මනුෂ්‍යත්වය…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හදිසි රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 25 වැනි බ්‍රහස්පතින්දා අලුයමය. ඒ ඔහු බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ වාද විවාදවලට හා යම් යම් මත ගැටුම් වලට සක්‍රීයව සහභාගි වී අවසානයේ විශේෂ ආරාධනාවන් කිහිපයක් සඳහා කුරුණෑගල හා පුත්තලම ප්‍රදේශවලට ගොස් මධ්‍යම රාත්‍රියේ ආපසු එමින් තිබූ අතරමඟදීය.

පුත්තලමේ සනත් නිශාන්තට අයත් නිවස පසුගිය අරගල සමයේ ගිනිබත් කර තිබූ බැවින් එහි ඔහුට නතර වීමට තැනක් නොවීය. එම නිසා පුත්තලම ප්‍රදේශයේ වැඩ කටයුතුවලට සහභාගි වී කොතරම් රෑ බෝ වුවත් ඔහු යළි කොළඹ පැමිණීම සාමාන්‍ය දෙයක්ව තිබිණි. බදාදා රාත්‍රියේ බ්‍රහස්පතින්දාට එළිවන්නට මෙම කනගාටුදායක අවාසනාවන්ත අනතුර සිදුව තිබිණි.

අනතුර සැලවන අවස්ථාව වන විට මහින්දානන්ද මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අධිවේගී මාර්ගය ඔස්සේ යාපනය ප්‍රදේශය බලා යමින් සිට ඇත. සනත් නිශාන්තගේ රථය අධිවේගයේදී කන්ටේනර් ලොරියක ගැටී බරපතළ අනතුරක් වී ඇතැයි යන ආරංචිය ඔහුට ලැබී ඇත්තේ එම ගමන අතරතුරයි. එම ගමන පසෙක තබා ඔහු වහාම රාගම රෝහල වෙත පැමිණියේය. ඒ වනවිට අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි ඇමැති සනත් නිශාන්තත් ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියාත් මියගොස් ඇති අතර බරපතළ තුවාල ලද රියැදුරු පමණක් රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

මහින්දානන්ද වහාම නාමල් රාජපක්ෂට කතා කොට අනතුර පිළිබඳ ආරංචිය සැල කළේය.

පාන්දර නාමල්ගේ දුරකථනය එකදිගට නාදවන්නට විය. වහාම නාමල් සිය දුරකථනය රැගෙන බැලූවිට කතා කරන්නේ මහින්දානන්දය.

“අයියා මොකෝ මේ මහ පාන්දර නාමල් විමසීය. මල්ලි මාර වැඩේ සනත් නිශාන්ත නැතිවෙලා” මේක අහද්දී නාමල් ඇඳෙන් බිමට පැන්නේ නොදැනුවත්වමය.

නාමල් වහාම රාගම බලා පිටත්ව තිබූ අතර ඒ වනවිට මහින්දානන්ද අරුන්දික හා සනත් නිශාන්තගේ බිරිඳ රාගම රෝහලට පැමිණ සිටියහ. ඉන් අනතුරුව ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් රාගම රෝහලට පැමිණ සිටියහ.

තවද තේනුක ඩී. වී. චානක ඇතුළු පිරිසක් කොළඹ මල්ශාලාව සම්බන්ධීකරණය කිරීමට භාරගෙන තිබිණි. මාධ්‍ය විසින් නාමල්ගෙන් වොයිස්කට් එකක් ඉල්ලූ අතර නාමල් මේ වෙලාවක් නෙවෙයි කියා කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව රාගම රෝහලේ පැය දෙකක් පමණ සිටි නාමල් නැවත කොළඹ බලා පැමිණියේ දැඩි ශෝකයෙනි.

කෙසේ වෙතත් 2024 අවුරුද්දේ පළමු වන පෝය දිනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එතරම් සැනසිලිදායක දිනයක් වූයේ නැත. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් සනත් නිශාන්ත තම ලෙන්ගතු මිත්‍රයා වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ. සනත් නිශාන්තගේ දේහය ජයරත්න මල්ශාලාව වෙත ගෙන එන්නට පෝදා දහවල් වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් සිද්ධිය ආරංචි වූ මොහොතේ පටන් ඒ පිළිබඳ සොයා බලන්නට වූහ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයෝත් දේශපාලන එදිරිවාදිකම් පසෙක තබා පාර්ලිමේන්තුවේ හැමදාම දකින මේ සටන්කාමී මිත්‍රයාගේ අවසන් ගමන පිළිබඳ කනගාටුව පළ කරමින් සිටියහ. ඇතැම්හු ඒ මොහොතේම පැමිණ සනත් නිශාන්තගේ පවුලේ උදවිය මුණගැසී ශෝකය පළ කරන්නට වූහ. ජනාධිපතිවරයා සනත් නිශාන්තගේ නිවසට ගොඩ වැදී බිරිඳ හා දරුවන් සිව් දෙනා සමග කතාබස් කරමින් සිටින විටදී සිදුවූ ඇතැම් සංවේදී සිදුවීම් මාධ්‍යවලින් පවා ප්‍රචාරය විය.

මේ රටේ බොහෝ දෙනෙක් සිදුවීම් සංවේදීව විඳදර ගත්තත් සමාජ මාධ්‍යවලින් වෛරී දේශපාලනය වගා කරන ඇතැම් කල්ලි කණ්ඩායම්වලට එම අවස්ථාව පවා ඔවුන්ගේ දේශපාලන ඉදිරිවාදිකම් විදහා දක්වන්නට හේතුවක් වී තිබෙන බව දැකගත හැකිවිය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලවීමත් සමඟ ඒ ගැන සතුට පළකරමින් සමාජ මාධ්‍යවල ඒ ගැන පෝස්ට් පළ කර තිබුණි.

“මේ බලන්න සර්..” කියමින් මන්ත්‍රීවරයකු එවැනි පෝස්ට් කිහිපයක් ඇමැති ප්‍රසන්නට පෙන්වීය.

“ඕව… දේශපාලන පිසාචයන්ගේ වැඩ මල්ලි. ඕව පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා මේ රටම දන්නවා” ඇමැති ප්‍රසන්න කීය.

“මිනිහෙක්ගෙ මරණයෙන් සතුටු වෙන්න පුළුවන් අමනුස්සයන්ට විතරයි” මල්ශාලාවේ සිටි බොහෝ දෙනකු කතාවනු දක්නට ලැබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment