පනත අදාළ වෙන්නේ ත්‍රස්තවාදයට විතරයි! – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

159

ජනමාධ්‍ය ත්‍රස්තවාදීන්ද?

දිනෙන් දින මෙරට දේශපාලන ලෝකයේ අලුත් වෙන මාතෘකා අතර නවතම මාතෘකාව ‘ත්‍රස්ත විරෝධී’ පනතයි. පැවැති පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට මේ වනවිට බොහෝ පාර්ශ්වයන්ගෙන් දැඩි ව්වේචන එල්ලවෙමින් තිබේ. එබැවින් නව පනත සම්බන්ධයෙන් විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාව සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු.පහතින් පෙළ ගැසෙන්නේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඉතිහාසය 1979 තරම් ඈතට දිව යන්නක්. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පැවැති සමයේ මෙවැනි පනතක අවශ්‍යතාව තිබෙන්න පුළුවන්. නමුත් මේ වනවිට එම ත්‍රස්තවාදය පරාජය කර අවසන්. එවැනි තත්ත්වයක් තුළ නැවත එවැනි පනතක අවශ්‍යතාවක් පැන නගින්නේ ඇයි…?

පිළිතුර – කවුරු හරි සහතිකයක් දෙනව නම් ඉදිරියේදි ත්‍රස්තවාදයක් ඇතිවෙන්නෙ නෑ කියල අපි මේ පනත ගෙන්නෙ නෑ. ආසන්න ඉතිහාසයට ගියොත් පාස්කු ප්‍රහාරය ගැන අපි කවුරුවත් හිතුවෙ නෑනෙ. ඒ නිසා රටක මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් රකිනව නම් ඔවුන්ගෙ ජීවිත රකින්නෙ නැතිව කොහොමද ඒක නරන්නෙ. රාජ්‍ය ආරක්ෂාව කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කිරීම. සමහර ආඥාන දේශපාලනඥයො මේක අර්ථ නිරූපණය කරනවා මේ පනත තියෙන්නෙ පවතින ආණ්ඩුවයි, රාජ්‍ය නායකයොයි ආරක්ෂා කරන්න කියල. එහෙම වෙන්නෙ නෑ. මේකෙ තියෙන්නෙ මහජන දේපළ සහ මහජන ආරක්ෂාව සහ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න.

ප්‍රශ්නය – යෝජිත පනතෙ 82 වැනි වගන්තිය අනුව උද්ඝෝෂණ කිරීමේ අයිතිය, අරගල කිරීමේ අයිතියට අත තැබීමට වගේම මාධ්‍යයට අත තැබීමෙ අයිතිය ජනාධිපතිවරයට ලැබෙන බව සඳහන් . ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

පිළිතුර – පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ ජනාධිපතිවරයට තියෙන බලතල අපි අලුතින් ඉදිරිපත් කරල තියෙන පනතේ සම්පූර්ණයෙන්ම අයින් කරල තියෙන්නෙ. දැන් ඒක ජනාධිපතිවරයගෙන් අයින් කරද්දිත් හානියක් වෙනව කියනව. මේ අලුත් පනතින් ජනාධිපතිවරයට මෙතෙක් තිබුණු බලතල අධිකරණයේ අධීක්ෂණයට යටත් කරල තියෙනව. අනෙක ජනමාධ්‍යවේදීන්ටයි, ජනතාවටයි නිදහස භුක්ති විඳින්න අයිතිය දීල තියෙන්නෙ මේ පනතින් නෙමෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මේ පනතේ කෑලි විතරක් කියවන අයට ඔය අදහස එනව. පනතෙ 2වැනි වගන්තියෙ පැහැදිලිව සඳහන් වෙනව මේ පනත අදාළ වෙන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විතරයි කියල. ත්‍රස්තවාදය පෝෂණය කරන්න ජනමාධ්‍යය අයිතිය පාවිච්චි කරන්න බලපත්‍ර දීල නෑනෙ.

ප්‍රශ්නය – හැබැයි මේ පනත ඇතුළෙ ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියල හරියට නිර්වචනය කරල නෑ නේද ?

පිළිතුර – මිනිස්සුන්ව ඝාතනය කරන්න, මිනිස්සුන්ගෙ දේපළ විනාශ කරන්න, රටේ ස්ථාවරභාවය නැති කරමින් අපරාධ ක්‍රියාවලට යොමුවෙන්න, සමූල ඝාතන කටයුතු ආදිය ත්‍රස්තවාදී ක්‍රියා හැටියට මේ පනතේ අර්ථ නිරූපණය කරල තියෙනව. ඒ අර්ථ නිරූපණ එක එක්කෙනාට ඕන විදිහට අර්ථකථනය කරල මාධ්‍යයට ඇවිත් කියනව.

ප්‍රශ්නය – ඔව්… එහෙම තියෙනව තමයි. නමුත් ඒක නිරවුල් නෑ කියල තමයි කියන්නේ. ඇයි ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියල පුළුල් විදිහට නිර්වචනය නොකළේ ?

පිළිතුර – ඕක නිර්වචනය කරන්නෙ මම ද? ජනාධිපති ද? ඒක නිර්වචනය කරන්නෙ මහෙස්ත්‍රාත්තුමා. මහෙස්ත්‍රාත්තුමා සෑහීමකට පත්වෙන්න ඕන අධිකරණයට ඉදිරිපත් කරන තියෙන පුද්ගලය කරල තියෙන්නෙ ත්‍රස්තවාදී ක්‍රියාවක් කියල. එතකොට නඩුකාරවරුන්ට ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැහැයි කියන තර්කයද ඔය ඉදිරිපත් කරන්නේ?

ප්‍රශ්නය – ඉතිහාසයෙ සිදුවූ ඇතැම් සිදුවීම දිහා බලද්දි, ‘තිත්, කොමා’ වෙනස්වීම නිසා ජීවිත පවා අහිමිවූ අවස්ථා තමයි තියෙන්නෙ. ඒ නිසා තමයි ජනතාව කියන්නෙ ත්‍රස්තවාදයට කියන එකට නිශ්චිත නිර්වචනයක් තිබිය යුතුයි කියල.

පිළිතුර – හරි ඒකට උත්තරයක් විදිහට තමයි මම 4 වැනිදා මේ පනත පාර්ලිමේන්තුවෙ න්‍යාය පත්‍රයට ඇතුළත් කළේ. ඊට පස්සෙ විපක්ෂයෙ පිරිසයි, නීතිඥවරුයි ඉල්ලීමක් කළා ඒක මේ අයට හොඳට අධ්‍යයනය කරන්න ඕන කියල. එහෙම අධ්‍යයනය කරල, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරල අවශ්‍ය වෙනස්කම් ඉල්ලා සිටින්න වෙලාව දෙන්න කියල. ආණ්ඩුවක් ඒ විදිහට කවදාවත් විපක්ෂයට අවස්ථාවක් දීල නෑ. ඒ නිසා තමයි මම මේක මාසයක් කල් දැම්මෙ. දැන් ඕන කෙනෙක්ට හැකියාවක් තියෙනව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඕනෑම අර්ථකථනයක් කරගෙන එන්න.

ප්‍රශ්නය – ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට අර්ථ නිරූපණ ගත්තට, ඔබතුමන්ල ඇතුළත් කළ වගන්ති වෙනස් කරන්න නොහැකි බව ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – ඒක සම්පූර්ණයෙන් වැරැදියි. ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි පනත් අර්ථ නිරූපණය කිරීමේ බලය තියෙන්නෙ. කෙටුම්පත්වල නීත්‍යනුකූල බව ගැන තීරණ දෙන්න හැකියාව තියෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනව නම් පනතට යම් වෙනස්කම් කරන්න ඕන කියල ඒක කරන්න අපි සූදානම්.

ප්‍රශ්නය – ඔබ පෙර පැවැසුවා ජනාධිපතිවරයට තිබුණු ඇතැම් බලතල අධිකරණයට පවරපු බව. අලුත් පනතෙ මොනවගේ තැන්වලදිද ඒවා නිරූපණය වෙන්නේ…

පිළිතුර – ජනාධිපතිවරයට තමයි බලය තිබුණෙ රැඳවුම් නියෝග නිකුත් කරන්න සහ දිගු කරන්න. දැන් ඒක අයින් කරද්දි කියනව ඒක වරදක් කියල. එහෙම නම් අපි ඒක අයින් කරගන්නම්.

ප්‍රශ්නය – ආණ්ඩුවට එරෙහිව කරන සාමකාමී උද්ඝෝෂණ, අරගලවලට මේ පනතින් බලපෑමක් වෙන්නෙ නැති බවට අධිකරණ ඇමැතිවරයා හැටියට ඔබතුමාට දෙන්න පුළුවන් සහතිකය මොකක් ද?

පිළිතුර – ඒ සහතිකය දෙන්න ඕන නිසා තමයි අපි මේ පනත ගෙනාවෙ. ඒ සහතිකය දෙන්න ඕන නැත්නම් තිබුණු පනත තියනව. මේ නව පනතින් ත්‍රස්තවාදී නොවන උද්ඝෝෂණ හෝ පෙළපාලිවලට කිසිම බාධාවක් වෙන්නෙ නෑ. හැබැයි ත්‍රස්තවාදය වෙනුවෙන් කරනවා නම් ඒක අධිකරණය තීන්දු කරයි.

මරණ දණ්ඩනය තියෙනව. ත්‍රස්තවාදය යටතේ මිනී මරන කෙනෙක්ට මරණ දණ්ඩය නොදී ඊට අඩු දණ්ඩනයක් දෙන්න කියල කවුරුහරි කියනවද?

ප්‍රශ්නය – හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්ව මරණ දණ්ඩයට ඔහු කැමැති නැති බව.

පිළිතුර – මරණ දණ්ඩනයට කැමැති නෑ කිව්වෙ නෑ. එතුම කිව්වෙ මරණය දණ්ඩනයට අත්සන් කරන්නෙ නෑ කියල. කිසිම ජනාධිපතිවරයෙක් ඒක අත්සන් කළේ නෑ, නමුත් අපේ රටේ සාමය ආරක්ෂා කරන්න ඕන නිසා අපි ඒක වෙනස් නොකර තියාගෙන ඉන්නවා. රට සාමකාමී නම් ඔය දඬුවම් හැම එකක්ම අපිට අයින් කරල දාන්න පුළුවන්.

ප්‍රශ්නය – මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පනත නිසා රටම එළිමහන් සිර කඳවුරක් වෙනව කියල තමයි බොහෝ දෙනා කියන්නේ. මේ වගේ තත්ත්වයක් යටතේ ඔබතුමන්ලට මේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්න ලැබෙයි ද?

පිළිතුර – අපි විවේචන, චෝදනා එන තරමට කැමැතියි. එතකොට ඒකෙ අඩුපාඩුවක් තියෙනව නම් හැදෙයි. හැබැයි අපි මේක සම්මත කර නොගත්තත් ආණ්ඩුවට කිසි අවාසියක් නෑ. ඒ වුණත් ජනතාවගේ ජීවිතවලට තියෙන අවදානම වැඩිවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක් නැති රටක් ලෝකයේ කොහෙවත් නෑ. හැම රටේම තියෙනව. පාණ්ඩිත්‍යයෙන් කතාකරන අය තේරුම් ගන්න ඕන දේ තමයි, ආණ්ඩුවක් විදිහට අපි මේ කරන්නෙ එක පැත්තකින් ආණ්ඩුවක තියෙන මුඛ්‍ය වගකීම ඉෂ්ට කිරීමට බව. රාජ්‍යයේ පළමුවැනි වගකීම, ජනතාවගේ ජීවිතය, දේපළ සම්පත් ආරක්ෂා කිරීම. ඒකට නීතියක් ඕන. අනෙක් පැත්තනේ ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඉතින් තරාදියේ දෙපැත්තෙ මේක දාල හරියට තුලනය කරන නීතියක් තමයි ඕන. අපි හදපු එක තුලනය වෙලා නැත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණය තුලනය කරයි.

ප්‍රශ්නය – ඔබතුමා ජනාධිපති නීතිඥයෙක්. ඇත්තටම මේ රටේ දැනට තියෙන නීති ත්‍රස්තවාදය වැළැක්වීමට ප්‍රමාණවත් වෙන්නේ නැද්ද?

පිළිතුර – සාමාන්‍යයෙන් නීතිය යටතෙ තියෙන ඒවා සමහර විෂයන් සම්බන්ධයෙන් ප්‍රමාණවත්. සමහර විෂය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නෑ. ඒ නැති ඒවා සම්බන්ධයෙන් අපි අලුතෙන් අණපනත් තිහ හතළිහක් මේ දවස්වල කෙටුම්පත් කරගෙන යනව. සමහර ඒවා සංශෝධනය කරගෙන යනව. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන විවේචනයක් තියෙනව. ඒ තමයි පනතෙ තියෙන වරදට වඩා පනත දේශපාලනික වශයෙන් අයුතු විදිහට පාවිච්චි කරනවා කියන කාරණය. ඒ නිසා මේ පනත දේශපාලනික වශයෙන් භාවිත කරන්න බැරිවෙන විදිහට අලුත් පනත ගෙනත් තියෙන්නෙ.

ප්‍රශ්නය – විධායක ජනාධිපතිවරයෙක් යටතේ පොල්සිපතිවරයෙක්ට කළ හැක්කේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. එවැනි තත්ත්වය තුළ දේශපාලනික වශයෙන් භාවිත කරන්න බැරිවෙන විදිහට අලුත් පනතක් ගෙනවා යැයි කියන එක ගැටලුවක් නොවේද ?

පිළිතුර – ඔබ හිතන්නකො රටේ ත්‍රස්තවාදය නොවන සාමාන්‍ය මිනී මැරුමක් වුණා කියල. ඉතින් ඔය කියන ක්‍රමවේදය යටතේ ජනාධිපතිතුමානෙ ඔක්කොම දේවල් කරන්නෙ. ඔය කියන විවේචන ගේන එක්කෙනෙක් මේ පනත වෙනුවෙන් දීල තියෙන විසඳුමක් කියන්න.

ප්‍රශ්නය – ඇත්තටම මේ වෙද්දි මේ පනත වෙනස් විය යුතු නැත් මොනවද කියල කවුරුන් හෝ යෝජනා ඉදිරිපත් කර නැද්ද?

පිළිතුර – කිසිම යෝජනාවක් කවුරුවත් ඉදිරිපත් කරල නෑ. හැබැයි අපි විපක්ෂයේ ඉල්ලීමට, නීතිඥ ප්‍රජාවේ ඉල්ලීමට ඇහුම්කන් දුන්න. ඒනිසා තමයි අපි මේක මාසයක් විතර කල් දැම්මෙ.

ප්‍රශ්නය – ඉදිරියේදී මේ පනත යම් හෙයකින් සම්මත වුණොත්…

පිළිතුර – ඇයි එච්චර සැකෙන් කතා කරන්නෙ. මේ රටේ කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්නෙ නෑ කියල ඔබල කියනව නම් අපිට ත්‍රස්තවාදී පනත නැති කරල මුකුත් නැතිව යන්න පුළුවන්.

ප්‍රශ්නය – සමහර නායකයන්ගෙ හැසිරීම් දිහා බලද්දි ඒ දිහා සැකයෙන්නෙ බලන්න වෙලා තියෙන්නේ…

පිළිතුර – අපරාධමය අපරාධ වගකීම අපි අයින් කළා. දැන් ඉන්දියාවේ රාහුල් ගාන්ධි වරදකරුවෙක් වෙලා තියෙන්නේ. ඉන්දියාවේ පවා ඒ නීති තියෙනව.

ප්‍රශ්නය – ඇමැතිතුමා කියන්නේ මේ පනත ගැන විවේචනය ගේන අය ඒක හරියට අධ්‍යයනය කර නැතිව ඒ විවේචන ගේනවා කියලද? නැත්නම් මේ විරෝධතා යට තියෙන්නෙ දේශපාලයද?

පිළිතුර – මේකට විරෝධය දක්වන කණ්ඩායම් තුනක් ඉන්නව. එකක් තමයි දේශපාලන කුහකකම. දෙවැනි කණ්ඩායමේ ඉන්නෙ තමන් නීති විශාරදයො, දේශපාලන විශේෂඥයො කියල මාධ්‍යයේ ඇවිත් පිම්බෙන්න කැමැති කණ්ඩායම. තුන්වැනි කණ්ඩායම තමයි මේ රට අරාජික කිරීමේ සැලසුම්වලට අරඅඳින කණ්ඩායම. මේ කණ්ඩායම්වලට අයිති නැති කෙනෙක් විවේචනයය කරනවා නම් ඔය විදිහට නෙමෙයි විවේචනය කරන්නෙ. එහෙම නම් ගේන්නෙ අලුත් යෝජනා. මම පෙර කිව්ව වගෙ එවැනි යෝජනා ඉදිරිපත් වෙලා නැත්තේ මේ කණ්ඩායම් තුනේ ඉන්න පිරිස විසින් මේ විවේචන ගෙන එන නිසා.

ප්‍රශ්නය – ඇත්තටම ඔබතුමන්ල ගෙන එන මේ පනතෙන් ප්‍රතිලාභ ලබන්නෙ වෙනත් පිරිසක් වෙන්න පුළුවන්. මොකද ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගෙනාපු ව්‍යවස්ථාවෙන් වැඩි වාසි ගත්තෙ 1994 ඉඳල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම. ඒවගේම ඒකෙන් වැඩියෙන්ම බැටකාපු පිරිස එජාපය කියල අදහසක් තියෙනවා.

පිළිතුර – (සිනාසෙයි) ඔබ කියන එක එහෙම වුණේ රඳවා තබා ගැනීමේ නියෝග කියන එක ජනාධිපතිට තිබුණ නිසානෙ. එතකොට වෙනත් ආණ්ඩුවක් ආපුවාම ඒ ජනාධිපතිටත් ඒක අපිට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්නෙ. හැබැයි දැන් තියෙන ක්‍රමය යටතේ ජනාධිපතිට ඕන දේවල් කරන්න බැහැ. ජනාධිපතිගෙ බලය අයින් කරල. අධිකරණයට ගිහින් ඔප්පු කරන්න ඕන අපරාධය කරල තියෙන බව. ඒ නිසා ඒක අපේ ආරක්ෂාවට වගේම ඔබගේ ආරක්ෂාවටත් හොඳයි. මොන ආණ්ඩුවක් ආවත් අධිකරණ ක්‍රියාවලියකින් මේක කරන එක තමයි හොඳම ක්‍රමය.

ප්‍රශ්නය – 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට වඩා නව පනත රටේ ජාතික ආරක්ෂාවට, ත්‍රස්තවාදය වැළැක්වීමට වටිනාකමක් එක්කරල තියෙන්නෙ මොනවගේ තැන්වලදි ද?

පිළිතුර – කලින් තිබුණු පනත යටතේ රටට එරෙහි ත්‍රස්තවාදය මේ රටේ ක්‍රියාත්මක සිදුවීමකට විතරයි නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් ත්‍රස්තවාදය ගෝලීය ත්‍රස්තවාදයක් එක්ක ගැටගැහිල තියෙනනෙ. ඒක නිසා අපේ ඉඳන් විතරක් නෙමෙයි අපේ රටට එරෙහිව වෙනත් රටක ඉඳන් ක්‍රියාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දඬුවම් කරන්න පුළුවන් විදිහට තමයි මේ පනත සකස් කරල තියෙන්නෙ.

අපිට දැන් විකල්ප තුනයි තියෙන්නේ. එක්කො මේ තියෙන පනත තියාගෙන අපිට යන්න පුළුවන්. නැත්නම් මේ නීතිය වෙනුවට ජාත්‍යන්තරය පිළිගත් මට්ටමේ ජාතික ආරක්ෂාව තහවුරු වන මූලික, මිනිස් අයිතිවාසිකම් තුලනය වෙන පනතක් අපි ගේන්න ඕන. ඒක දේශපාලනීකරණයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්වන විදිහට. දැන් ඒ විකල්පය තමයි ගෙනත් තියෙන්නෙ. තුන්වැනි විකල්පයට යනව නම්, අපිට තියෙන්නෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරල දාන එක. එතකොට අපේ ජීවිත ගැන වගකීමක් කියන්න කෙනෙක් රටේ නැතිවෙලා යනව. ඔය විකල්ප තුනෙන් කැමැති එකක් දැනට අපි තෝරගමු.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment