“Spoken HEBREW සිංහල අපිට”

ඊශ්‍රායලය කිවූ සැණින් අපට මතක් වන්නේ ඉතා අමිහිරි, ඉතා කටුක ඊශ්‍රායල්-පලස්තීන යුද ගැටුමයි. එක්කෝ පලස්තීන හමාස් සටන්කරුවන් විසින් අනපේක්ෂිත මොහොතක ඊශ්‍රායලයට කඩා වැදී කරන ලද පහර දීම හෝ ඊට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලය විසින් පලස්තීනයට පහර දීමට ගන්නා ලද තීන්දුව පරිදි ඇදි ඇදී යන යුද්ධය හෝ එමගින් සිදුවන ජීවිත හානි, කඩා වැටෙන ගොඩනැගිලි අපේ මනසේ ඇඳේ.

එනමුත් අපේ තවත් ජන කොටසක් මේ යුද ගිනි දැල් මැද ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා තම වාරය එනතුරා අපේක්ෂාවේ පහන් දල්වාගෙන සිටිනු පෙනේ. ඒ විශේෂයෙන්ම යුද්ධය නිසා ගරාවැටුණු ගොඩනැගිලි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා නිර්මාණය වීමත්, යුද්ධය ඇවිලුණු මොහොතේ පටන් අනෙකුත් ජාතිකයන් මෙන් නොව, ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලය අතහැර නොයෑම නිසා ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා වැඩි ඉඩ කඩක් නිර්මාණය වීමද නිසා බව කියනු ලැබේ.

කෙසේ හෝ ඉදිකිරීම් අංශයේ මෙන්ම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, සාත්තු සේවයේ වැනි අංශවලද තවත් අංශ ගණනාවකද මෙසේ රැකියා අවස්ථා ලැබීම නිසා ශ්‍රී ලාංකිකයන් රැසක් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන මේ මොහොතේ කියන්නට ඇති වැදගත් කතාවක් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමුකරන්නට අප කල්පනා කළෙමු. ඒ නම්, කුමන රටට ගියත් එම රටේ භාෂාව දැනගෙන සිටීම අදාළ රටේ රැකියාවක් කිරීමට ඉතාම පහසුවක් වන නිසාය. එසේනම් ඊශ්‍රායලයට යන අප කවුරුත් ඊශ්‍රායල් රටේ භාෂාව පිළිබඳව යාන්තමින් හෝ දැනගෙන සිටී නම්, එය ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවකට යන තරම්ම වටිනාකමක් ඇති දෙයක් වන නිසාය. මන්ද ඊශ්‍රායල්වරුන් කතාකරන්නේ අපි සිංහල කතා කරනවා සේම ඔවුන්ගේ භාෂාවක් නිසාය. කෙසේ හෝ සිංහලෙන් (හෝ ඉංග්‍රීසියෙන්) ඊශ්‍රායල් භාෂාව ඉගෙන ගන්නට අවස්ථාවක් ඇත්නම් එය කොයිතරම් දෙයක්ද යන්න කෙනකුට සිතෙනු ඇත.

සැබැවින්ම එම අවස්ථාව දැන් අපේ රටේ අයට උදාවී ඇත. එනම් ඊශ්‍රායල් භාෂාව, එසේත් නැතිනම් “හෙබ්‍රෙව්” (Hebrew) භාෂාව සිංහලෙන් හා ඉංග්‍රීසි බසින් උගෙන ගැනීම සඳහා එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය “හෙබ්‍රෙව්” වදන් 4000 කට වඩා සිංහලෙන් අඩංගු අපූරු ග්‍රන්ථයක් නිර්මාණය වී ඇත. මෙම ග්‍රන්ථයේ සිරස්තලය “Spoken HEBREW සිංහල අපිට” යන්නයි. මෙහි වඩා වැදගත් කාරණය වන්නේ “අපි කියන” ගිනි ගන්නා ඊශ්‍රායලයේම රැකියාවක නියුතු ශ්‍රී ලාංකික තරුණ සමාජ ක්‍රියාකාරිකයකු අතින් මෙය රචනා (සංස්කරණය) වීමය.

ඊශ්‍රායල් බස සිංහලට නැගූ සාත්තු සේවකයා
මංගලගේ සාත්තු නිවස

මාතලේ-කවුඩුපැලැල්ලේ ස්ථිර පදිංචිය ඇති, වර්තමානයේ ඊශ්‍රායලයේ “හයිෆා” ප්‍රදේශයේ රැකියාවේ නියුතු “ධම්මික මංගල බණ්ඩාර කරඳවල” යන නම ගැන කියන්නට සිදුවන්නේ මෙම ”Spoken HEBREW සිංහල අපිට” ග්‍රන්ථය සමගිනි. මාතලේ මඩවල – උල්පත මහා විද්‍යාලයෙන් සහ මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඊශ්‍රායලයේ යුද ගිනි දැල් ඇවිලෙන්නට කලකට පෙර සාත්තු සේවකයකු ලෙස එහි රැකියාවට යන මංගල කරඳවල ට ඉතා හොඳ නිවසක් සහ කාරුණික ගෘහ හිමියෙක් හිමිවන බැවින් මංගල කියන විදිහටම රැකියාව ඔහු කරන්නේ ගෙදර ඉන්නවා තරම් පහසුවකින් හා නිදහසකිනි. මෙම රැකියාවෙන් අත-මිට සරු වුණත් ඊට තම තරුණ ජවය කොටු නොකළ මංගල හැමවිටම උත්සාහ ගත්තේ ඊශ්‍රායලයේ නිල බස වන “හෙබ්‍රෙව්” (Hebrew) බස උගෙනීම සඳහාය. පෙරකී පරිදි යම් ආගන්තුක රටක සේවයක් කරද්දී අපට නිතැතින්ම එම භාෂාව හැසිරවීමට සිදුවේ. එසේ නම් වචනයෙන් වචනය-පදෙන් පදේ අපි ඒ පිළිබඳව හැදෑරිය යුතු වෙමු. මෙසේ “හෙබ්‍රෙව්” බස ගැන උනන්දුවෙන් කටයුතු කළ මංගල කරඳවල, පසුව තීරණය කළේ මෙම බසින් අත්‍යවශ්‍ය වදන් ඇතුළත් ග්‍රන්ථයක් කළහොත්, ඊශ්‍රායලයේ රැකියා සඳහා එන ශ්‍රී ලාංකිකයන්ට එය මහත් පහසුවක් වනු ඇති බවයි. ඒ අනුව ග්‍රන්ථය සම්පාදනය ආරම්භය කළ මංගල එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වාක්‍ය රටා 4000 ක් පමණ සහ ක්‍රියාපද 100 කට වැඩි ප්‍රමාණයකින් සමන්විතව ”Spoken HEBREW සිංහල අපිට” ග්‍රන්ථය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මුද්‍රණය කර ඇති අතර, මංගල කියන ආකාරයට ඉකුත් කොවිඩ් වසංගත සමයේ ලෝකයම ලොක්ඩවුන් වී නිවාසවලට හිරවී සිටි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු “හයිෆා” හි පිහිටි තම සාත්තු දායක නිවාසයේ සිට මෙම ග්‍රන්ථය රචනා කර, සංස්කරණය කර තිබේ. මෙම ග්‍රන්ථයේ මූලික ව්‍යාකරණ රටා, නිපාත පද, සංඛ්‍යා රටා ඇතුළත් වන අතර ‘පොළේදී, ගෙදරදී, දුම්රියේදී ආදී වශයෙන් වාක්‍ය රටා බෙදා දක්වා ඇති බැවින් ග්‍රන්ථය හදාරා තනියෙන් වුවද ඊශ්‍රායල් භාෂාව ඉගෙන ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මහත් ප්‍රසාදයක් දිනාගත් මෙම ග්‍රන්ථයේ 2022 මුද්‍රණය අවසන් වී 2023 මුද්‍රණයද දැන් නිකුත් වී ඇත. ඊශ්‍රායලයට රැකියා අවස්ථා විවර වී ඇති මොහොතක එසේ එහි යන සෑම අයකු අතම තිබිය යුතු ග්‍රන්ථයක් ලෙස ”Spoken HEBREW සිංහල අපිට” දැන් පත්වී ඇත.

“හෙබ්‍රෙව්” (Hebrew) භාෂාව ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවස දක්වා ඉතිහාසයකට දිව යන දිගු ඉතිහාසයක් ඇති භාෂාවක් මෙන්ම, ලොව පුරා මිලියන 9 කට අධික (යුදෙව්) ජනතාවක් භාවිත කරන භාෂාවක් බවත්, “හෙබ්‍රෙව්” භාෂාව ඉගෙන ගැනීම ඊශ්‍රායලයට ගොස් රැකියාවක් කිරීමට හෝ සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ට වැදගත්වන බවත් තම ග්‍රන්ථයේ පසුවදනින් පෙන්වා දෙන මංගල කරඳවල, මෙම පොත පරිශීලනය කිරීමෙන් ඊට යම් ඉඩක් සැලසෙනු ඇති බවද, මෙතෙක් ඒ සඳහා තිබුණු ග්‍රන්ථයක අඩුව මෙම ග්‍රන්ථයෙන් පිරවෙන බව තමන් විස්වාස කරන බවද කියා සිටී.

“මම ඉන්න පැත්තට කිසිම යුද ප්‍රශ්නයක් නැහැ. සතුටින් රැකියාව කරනවා. ගෙදර වගේ. ගෙදරක තනි සීයා කෙනෙක්ට උපස්ථාන කරමින් බලාගන්න එක මගේ රැකියාව. ඒකට මට සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. අනිත් කාලයේ මම ලෝකය ගැන, භාෂාව ගැන ඉගෙන ගන්නවා. මේ පොත ඒකෙ ප්‍රතිඵලයක්. යාළුවො හම්බවෙනවා. කතාකරනවා. සාද දමනවා. ඒ නිසා කොහොමත් මෙහෙ භාෂාව ඉගෙන ගන්න එක වැදගත්. එන්න පුළුවන් අය එන්න ඊශ්‍රායලයට. මේක හොඳම රටක්. ශ්‍රී ලාංකිකයන්ට හොඳ සැලකිල්ලක් මෙහෙ තියනවා. හොඳ රැකියා තියෙනවා. සාත්තු රැකියාව හොඳටම හොඳයි. වැටුප් හොඳයි.

ගොඩයන්න පුළුවන්.” මංගල ‘දිවයින’ අමතා එසේ ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයට යන ඔබට මංගලව සම්බන්ධ කරගැනීම සඳහා [email protected] ඊ මේල් ලිපිනය ඔස්සේ හැකිය.

මංගලගේ ග්‍රන්ථයට පෙර වදනක් සපයන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා ඇත්තේ තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන මංගල කරඳවල විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා පහසුවෙන් “හෙබ්‍රෙව්” (Hebrew) බස කතාකිරීමට පහසු අත්වැලක් බවත්, ඊශ්‍රායලයේ රැකියා සඳහා එන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන්ටද මෙම ග්‍රන්ථය අගනා කෘතියක් බවයි.

මංගල කරඳවල සොයුරාණෙනි…! විදේශයක් සිට වුවත් ඔබ කරන ලද මෙම කාර්යය අපි අගය කරන්නෙමු. ඔබට සුබ පතන්නෙමු.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment