බොලිවුඩ් මසාලා සිනමාව කියන්නේ ඉතින් කොයි කාලෙත් ප්‍රේක්ෂකයින්ව රස සයුරේ ගිල්වන අමුතුම අමුතු පාරාදීසයක්. ඔන්න මේ දවස්වල බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින් වාර්තා පිට වාර්තා එක්ක අපූරු සිනමාපටයක් ප්‍රදර්ශනය වෙනවා. ඒ තමයි CREW සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බොලිවුඩ් සිනමාව ඇතුළෙ සාර්ථක වෙන්නේ නළුවෙක් ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපට. නමුත් පසුගිය කාලෙ කාන්තා මූලික සිනමාපට පවා නොසිතූ විදිහට සාර්ථක වෙන ආකාරයක් අපිට දැකගන්න ලැබුණා. මේ CREW චිත්‍රපටයත් අන්න ඒ වගේ එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් ඉන්නවා. ඒ චරිත තුනම රඟපාන්නේ ජනප්‍රිය කාන්තා චරිත ත්‍රිත්වයක්. ඒ තාබු, කරීනා කපූර් එක්ක ක්‍රිතී සැනෝන්. අන්න ඒ නිසයි මේක වෙනමම ලෙවල් එකක චිත්‍රපටයක් වෙන්නේ.

බලාජී මෝෂන් පික්චර් යටතේ රාජේෂ් ඒ ක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන මෙය එක්තා කපූර්, රේහා කපූර්, අනිල් කපූර් සහ දිග්විජය පුරෝහිත් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. නදී මෙහෙරා සහ මෙහුල් සූරි විසින් තිර රචනය ලියා ඇති මෙහි සංස්කරණ කටයුතු මනන් සාගර් විසින් සිදුකර තිබෙනවා. CREW චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ දිල්ජිත් දෝසාන්ජී, බාද්ෂා, රාජ් රංජේා්දා ඇතුළු කණ්ඩායම විසින්. 90 දශකයේ අතිශය ජනප්‍රිය වූ චෝලී කේ පී කේ ජා හේ යන ගීතයේ අනුවර්තනය බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා.

නිළියෝ තුනක් ඉන්දියාවම හොල්ලති

මිනිත්තු 118ක් පුරා දිවයන චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මාර්තු මස 29 වැනිදා. තිරගත කළ පළමු දිනයේදීම ඉතිහාසගත වාර්තාවක් තියන්න CREW චිත්‍රපටය සමත් වෙනවා. ඒ තමයි එතෙක් මෙතෙක් ඉතිහාසයේ කාන්තා මූලික චිත්‍රපටයක් තිරගත කළ පළමු දිනයේදී ඉපයූ වැඩිම ආදායම උපයමින්. ඒ ඉන්දීය රුපියල් කෝටි 20ක්. චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සදහා ඉන්දීය රුපියල් කෝටි 75ක් පමණ වැයවෙලා තියෙනවා. කොහොම නමුත් වැඩි දවසක් යන්න කලින් මේ වෙනකොටත් ඔවුන් චිත්‍රපටය සඳහා වැය වූ මුදල පියවාගෙන තියනවා කියල තමයි අපිට ආරංචි වෙන්නේ. කරීනා කපූර් කාලෙකට පස්සෙ තිරයෙන් දකින්න ලැබීම ඇයගේ ප්‍රේක්ෂකයින්ට ලොකු සතුටක් උදාකරලා තිබුණා.

සිනමාපටයේ කතාව ගලාගෙන යන්නේ ගුවන් සේවිකාවන් තිදෙනෙක් වටායි. ගීතා, ජැස්මින් සහ දිව්‍යා යන ගුවන් සේවිකාවන් තිදෙනා බංකොලොත් වීමට ආසන්න කොහිනූර් ගුවන් සමාගමේ සේවිකාවන්. මේ තුන් දෙනා එකිනෙකට වෙනස් ජීවන ගති පැවතුම් සහිත තුන් දෙනෙක්. බොහෝ වෙලාවට ඇත්ත ජීවිතේදී මවාපෑමක් කරල ජීවත් වෙන්න තමයි මෙයාල කැමති. කොහිනූර් ගුවන් සමාගම මාස කිහිපයක් තිස්සේ තමන්ගේ සේවකයින්ට වැටුප් ගෙවීම ප්‍රමාද කරනවා. මේ නිසා එයාල මුහුණ දෙන්නේ ලොකු අපහසුතාවකට. ගීතා කියන්නේ පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් එයාට පවුලේ වගේම අනිත් අයගේ වියදම් පවා දරන්න වෙලා තියෙනවා. ඒ වගේම ජැස්මින් කියන්නේ තනිකඩව ජීවත්වෙන විවාහයක් ගැන නොහිතන කාන්තාවක්. හැබැයි එයා සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගතකරන්නේ. ඉතින් මාස ගාණක පඩි නොලැබුණාම එයා පත්වෙන අපහසුතාව ගැන හිතාගන්නකො.

නිළියෝ තුනක් ඉන්දියාවම හොල්ලති

අනිත් කෙනා තමයි දිව්‍යා. මෙයා පයිලට් කෙනෙක් වෙන්න ඉගෙනගත්තත් රැකියා අවස්ථාවන් නැති නිසා ගුවන් සේවිකාවක් විදිහට රැකියාවට බැඳුණු කෙනෙක්. පවුලෙ අය හිතාගෙන ඉන්නෙ ඇත්තටම එයා පයිලට් කෙනෙක් කියලා. ඒ නිසා පවුලේ අයව රවට්ටන්නත් එයාට ලොකු රඟපෑමක් කරන්න වෙනවා. ආයතනයේ බංකොලොත් භාවයත් එක්කම මෙයාල තමන්ගේ වියදම් හොයාගන්න අපූරු ක්‍රමයක් හොයාගන්නවා. ඒ මොකක්ද කියලා දැනගන්න ඕනි නම් ඔයාලට අනිවාර්යෙන්ම චිත්‍රපටය බලන්න වෙනවා. කාලෙකට පස්සේ තාබු වෙනස්ම විදිහේ චරිතයකින් ප්‍රේක්‍ෂකයින් අතරට එනවා. ක්‍රිතී සැනෝන් තමයි මේ තුන් දෙනාගෙන අත්දැකීම් අඩුම කෙනා. ඒ වුණත් ඇය අනිත් දෙන්න එක්ක කරට කර රංගනයක් ලබාදීල තියෙනවා.

ප්‍රහසන චිත්‍රපටයක් වුණත් මේක ඇතුළෙ වෙනස්ම විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ. සීරියස් චරිත වලට විතරක්ම කොටුවෙලා හිටපු තාබු CREW චිත්‍රපටයේ කරන රංගනය සමහරවිට ඔබව පුදුම කරාවි. ඉන්දියාව ඇතුළෙ වගේම විදෙස් රටවලත් අති සාර්ථකව තිරගත වෙන CREW චිත්‍රපටය ඉතා ඉක්මණින්ම කෝටි 100 සීමාව පහුකරයි කියල තමයි ගොඩක් අය කියන්නේ. එහෙම වුණොත් අඩුම කාලයක් තුළ කාන්තා මූලික චිත්‍රපටයක් රුපියල් කෝටි 100 සීමාව පසුකළ පළමු අවස්ථාව විදිහට ඉතිහාසගත වෙන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටය ඇතුළේ නළු නිළියන් තේරීමේ වගකීම අධ්‍යක්‍ෂවරයාට පැවරුණත් මෙහි නළු නිළි වරණය කරල තියෙන්නේ එක්තා කපූර් විසින් කියලයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සාර්ථකත්වය නිසාම එක්තා ගොඩක් සතුටින් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබෙනවා.

තාබු, කරීනා සහ ක්‍රිතීට අමතරව මෙහි දිල්ජිත් සහ කපිල් ශර්මා ප්‍රධාන චරිත රඟපානවා. ඔවුන්ගේ රංගනයත් චිත්‍රපටයේ සාර්ථකත්වයට ලොකු පිටිවහලක් වෙලා තියනවා කියලයි විචාරකයින් පෙන්වා දෙන්නේ. ලොකු වියදමක් කළේ නැති වුණත් CREW චිත්‍රපටය මේ දවස්වල සිනමාව ඇතුළෙ ලොකු පෙරළියක් කරනවා. ඒ වගේම කරීනා කපූර්ගේ නැවත පැමිණීම අති සාර්ථක එකක් වීම ඇගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලත් කියන්න පුළුවන්.

අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment