සුන්දර හපුතලේ ඇඩිසම් බංගලාව

458

ඉඳල්ගස් හින්න-02

“ඉදල්ගස්හින්න” යන තේමාවෙන් “කැලණිය ඡායාරූප සහ කලා සංගමය” විසින් සංවිධානය කරන ලද උඩරට දුම්රිය මාර්ගයේ පැරණි හා ප්‍රකට දුම්රිය ස්ථාන හතරක් කේන්ද්‍රගත කරමින් පැවැත්වූ ඔවුන්ගේ මෙවර ඡායාරූප වැඩමුළුව සඳහා සූදානම්ව අප රැඳී සිටින්නේ රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් හල්දුම්මල්ල – බත්ගොඩ පිහිටි “පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා පිළිබඳ ජාතික ඔසු උයන” පරිශ්‍රයේය. පසුගිය සතියේ අප සිහිපත් කළ අයුරින් මෙම ආයුර්වේද ඔසු උයන සහිත පර්යේෂණ මධ්‍යස්ථානය අක්කර 64 කින් සමන්විතය. ආයුර්වේද ශාක වගාවකින් සමන්විත ඔසු උයනක් හා අනෙකුත් ගොඩනැගිලි හා සේවා පරිශ්‍රයක් මෙහි පවතින අතර අපගේ අදහස නම්, මෙම ඔසු උයන ජාතික ඖෂධීය උද්භිද උද්‍යානය – National Herbal Botanical Garden බවට පත්කර එහි යන එන සංචාරකයින්ගෙන් යම් ආදායමක් රජයට උපයා ගත හැකි බවයි. මෙහි ඇති වටිනාම දෑ වන්නේ 40 දෙනකුට එකවර නවාතැන් ගැනීමට පහසුකම් සහිත නේවාසිකාගාරය සහ තවත් 10 දෙනකුට පමණ නවාතැන් ගත හැකි සංචාරක නිවහනක් පැවතීමයි. මෙම ස්ථාන දෙකම නාවින්න-මහරගම පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වෙන්කර ගැනීමේ පහසුකම ඇත.

“ඉදල්ගස්හින්න” චාරිකාව සංවිධානය කරන ලද කැලණිය ඡායාරූප සහ කලා සංගමයට හා එහි නිලධාරී මඩුල්ලට, එහි ප්‍රධාන සංවිධායක කුමාර දහනායකට අනුව, මෙම මධ්‍යස්ථානය වෙන්කරවා ගැනීම පමණක් නොව, අප විසින් සිදුකරන්නට යෙදුණු හපුතලේ, ඉදල්ගස්හින්න, ඔහිය හා පට්ටිපොළ යන දුම්රිය ස්ථාන 4 රේ සංචාරය කර, පට්ටිපොළ ප්‍රදේශයෙන් දිවා ආහාරය භුක්ති විඳ, ආපසු හපුතලේට දුම්රියෙන් පැමිණෙන අගනා සංචාරයක් සමග හල්දුම්මුල්ලේ රාත්‍රී දෙකක නවාතැන ද සහිතව වෙනම සංචාරයක් ඔබටත් වෙන්කරවා ගැනීමට පහත කහපාට තීරුවේ පළවන විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් ලබාදීමෙන් හා එහි සඳහන් මුහුණු පොතට හෝ වට්ස්ඇප් අංකයට ප්‍රවිෂ්ට වීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

හල්දුම්මුල්ල ආයුර්වේද ඖෂධ උයනේ නවාතැන් ගත් අපි, සැලසුම් කර තිබූ පරිදි එදින සවස් යාමය යොදාගනු ලැබුවේ “හපුතලේ” සංචාරයක් සඳහාය. එහිදී ප්‍රකට ‘ඇඩිසම් බංගලාව’ නැරඹීමට යාම අපගේ සංචාරේ ප්‍රධාන අරමුණක් විය. වැඩිමනත් හපුතලේ නගර සංචාරය සහ ‘බෙරගල’ නැරඹුම් පොළට ගොස්, තෙරක් නොපෙනෙන දකුණු හා නැගෙනහිර තැනිතලාවේ සුන්දරත්වය ඇස් දෙකෙන් විඳින්නට පමණක් නොව, තෙනෙතියෙන් බලා ඒ සුන්දරත්වය ග්‍රහණය කරගන්නට ද සංචාරේ අපේ අරමුණ විය. ඔසු උයන කාර්ය මණ්ඩලයෙන් ලබා දුන් ප්‍රණීත දහවල් ආහාරයෙන් සප්පායම් වූ අපි ඉන් පසු සැලසුම් කළ අයුරින්ම හපුතලේ බලා පිටත් වූයේ හිරු අවරට හැරෙන යාමයේය.

සභාපති ලක්ෂ්මන් පන්තියදේව, ප්‍රධාන ලේකම් සුජීව ජිනේන්ද්‍ර, භාණ්ඩාගාරික රජීව් ඇලෙක්සැන්ඩර්, උප සභාපති කමල් සූරියආරච්චි, උප ලේකම් රෝහණ පෙරේරා, ප්‍රධාන සංවිධායක කුමාර දහනායක, හිටපු සභාපති කීර්ති අමරසේකර ඇතුළු විසි පස් දෙනකුගෙන් සමන්විත කැලණි ඡායාරූප හා කලා සංගමයේ සාමාජිකයින් සමග නිමල් උඳුගොඩ මහතාගේ කිරිබත්ගොඩ සහ මාතර පිහිටි Lakseya Colour Lab අනුග්‍රාහක දායකත්වයෙන් ‘දිවයින – සංචාරේ’ කණ්ඩායම මෙම තුන් දින සංචාරයට එක්වූයේ සැබැවින්ම වින්දනීය අත්දැකීමක් ලබනු සඳහාය. එම වින්දනීය අත්දැකීමේ උච්චතම අවස්ථාවට තවත් දිනක් ඉතිරිව තිබේ. ඒ හපුතලේ දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්නටත්, එතැනින් ඔහිය හා පට්ටිපොලටත් දුම්රිය 4 ක ගමන් කරන දුම්රිය සංචාරය සහ නැවත පට්ටිපොළ සිට හපුතලේ දක්වා සවස පැමිණෙන 5 වැනි දුම්රිය චාරිකාවක්ද ඇතුළත්වය. එම චාරිකාවට පෙරගමනක් සේ අද අප මෙසේ හපුතලේ බලා ගමන් ගන්නේ තවත් වින්දනීය අත්දැකීමක් ලබනු රිසියෙනි. මීට පෙර අප සිදුකළ ‘ඇල්ල ඔඩිසි’ දුම්රිය සංචාරයේදී ද හපුතලේ නගරයට අප සේන්දු වූ අතර, එදා අපි එහි සිට ‘ලිප්ටන් සීට්’ නැරඹුම් පොළ වෙත තේ වතු මැදින් ඔබව කැඳවාගෙන ගියෙමු. එම නිසා අද ඒ ගැන කතා නොකර, සුන්දර හපුතලේට සහ ‘ඇඩිසම්’ බංගලාව වෙත අපි ඔබව කැඳවාගෙන යන්නෙමු.

සුන්දර හපුතලේ ඇඩිසම් බංගලාව
සුන්දර හපුතලේ ඇඩිසම් බංගලාව
ගල් ආරුක්කුවක්

හල්දුම්මුල්ල සිට හපුතලේ මාර්ගයේ ඉදිරියට ඇදෙන විට පළමුව අපට හමුවන්නේ ‘බෙරගල’ හන්දියයි. එහි සිට දකුණින් විහිදෙන මාර්ගය පල්ලම් බසින්නේ කොස්ලන්ද, දියලුම ඇල්ල ඔස්සේ වැල්ලවායට යි. කෙළින්ම ඉහළට මාර්ගය හපුතලේ හරහා බණ්ඩාරවෙල නගරයට හා බදුල්ල දෙසට විහිදේ. මෙම මාර්ගයේ තරමක් ඉදිරියට ගිය විට සුප්‍රකට ‘බෙරගල නැරඹුම් පොළ’ (View Point) අපට හමුවේ. මෙම නැරඹුම් පොළට පෙනෙන සුන්දරත්වය සමාන වන්නේ ‘කඩුගන්නාව නැරඹුම්පොළ – (View Point) ටය. අපේ කණ්ඩායම ලහි ලහියේ බෙරගලින් බස් රථයෙන් බැස තෙර නොපෙනෙන දර්ශන තලයේ සුන්දරත්වය තම කැමරා තුළ සනිටුහන් කරගත් අතර, අනතුරුව අපි අඩ හෝරාවකින් පමණ හපුතලේ ‘ඇඩිසම්’ බංගලාවට සේන්දු වූයෙමු.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන තංගමලේ අභයභූමිය තුළ පිහිටා ඇති ‘ඇඩිසම්’ බංගලාව ඓතිහාසික වටිනාකමින් යුත් අපූරු නිමාවකින් යුත් ගොඩනැගිල්ලකි. මෙහි ගෘහ නිර්මාණ ශිල්පය ආකර්ෂණීය වූවකි. තරමක අද්භූත බවක් ද මතු කරන මෙම ගොඩනැඟිල්ල, සුවිශේෂී භූ පිහිටීමක, කන්දක් උඩ එහෙත් සුළං ආවරණයක නිර්මාණය කර ඇති අතර, තනි කළුගලින් නිමවා, ඕක් ලීයෙන් තැනූ වහලයකින් තනා ඇත. සුදු පාලකයින්ගේ සමයේදී නිමවා ඇති මෙම විශේෂ ගොඩනැඟිල්ල, එහෙත් දේශීය ගෘහ නිර්මාණ ඥානය යොදවාගෙන තනා ඇති බවට පවතින විශ්වාසයයි.

සුන්දර හපුතලේ ඇඩිසම් බංගලාව
අපේ කණ්ඩායම

බ්‍රිතාන්‍ය වැවිලිකරුවකු වන සර් තෝමස් විලියස් විසින් මෙහි ඉදිකිරීම් 1927 දී ආරම්භ කර, වසර 1931 දී ගොඩනැඟිල්ල විවෘත කරන ලද බව පවතින විශ්වාසයයි. අනතුරුව 1950 දී චාල්ස් විජේවර්ධන වැවිලිකරු විසින් මිලදී ගන්නා ලද මෙය, පසුව, 1961 දී ඉතාලි ජාතික පූජකවරයකු විසින් මිලදී ගන්නා ලදුව පරිත්‍යාගයක් ලෙස ලබාදී 1963 න් පසු මේ දක්වා අයත්ව පවතින්නේ අම්පිටිය පූජ්‍ය ආශ්‍රමය භාරයේය. ‘සෙන්ට් බෙනඩික්ට් ආශ්‍රමය’ ලෙස දැන් මෙය හඳුන්වනු ලබන අතර, සංචාරක ආකර්ෂණය දිනාගත් ඇඩිසම් බංගලාව නේක විධ හා නේක වර්ණයෙන් විකසිත මල් වර්ග සහිත කදිම ගෙවත්තකින් හා මෙයටම ආවේණික වූ ජෑම්, කෝඩියල් නිපදවන පරිශ්‍රයකින් හා වෙළෙඳ කුටියකින් ද සමන්විත වේ.

සුන්දර හපුතලේ ඇඩිසම් බංගලාව

අප එහි යන අවස්ථාව වන විටත් දෙස්-විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ අපූරු ගොඩනැගිල්ලේ පහස විඳිමින් සිටි අතර, අපගේ කණ්ඩායමද තම කැමරා ආම්පන්න භාවිත කරමින් ‘ඡායාරූප සැසියක්ම’ ආරම්භ කර තිබුණි. මේ අතර ගොඩනැගිල්ල පිටත හා ඇතුළත පැරණි විශ්මයන් නරඹමින් අපි අපේ සංචාරයට අදාළ තොරතුරු, පින්තුර රැස් කළෙමු.

නොදැනීම කාලය ගෙවීයන ඇඩිසම් බංගලාවේ පහසට සමු දුන් අපි මීළඟට හපුතලේ නගරය බලා ගමන් ගත්තේ පසුදා දුම්රිය සංචාරයට අදාළ අඩුම-කුඩුම මිලදී ගැනීමේ අවශ්‍යතාව ද පැවති නිසාය.

කැලණිය ඡායාරූප සහ කලා සංගමයට, කිරිබත්ගොඩ ලක්සේයා කලර් ලැබ් අධිපති නිමල් උඳුගොඩ මහතාට, පාලිත හපුආරච්චි මහතාට සහ ඔසු උයන කාර්ය මණ්ඩලයට ස්තුතියි.

හපුතලෙන් ඉදල්ගස්හින්න හරහා ගිය දුම්රිය චාරිකාව ලබන සතියේ…

සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – කැලණිය ඡායාරූප සහ කලා සංගමය
“සංචාරේ” අනුග්‍රහය –
Lakseya Colour Lab –

advertistmentadvertistment
advertistmentadvertistment