ගුවනින් නොව බිමින්ම යන්න වෙයි ශ්‍රී ලංකන්

1055

ශ්‍රී ලංකන් පාඩුව කෝටි 37,200

විකිණිය යුතු ලැයිස්තුවේ මුල්ම රාජ්‍ය ආයතනය

ගුවන් යානා 18 යි

ගුවන් යානා නියමු හිඟයෙන් ගුවන් ගමන් අවුල්

දිනකට ගුවන් ගමන් 5ක් අවලංගුයි

ශ්‍රී ලංකාව බංකොලොත් රටකි. රට බංකොලොත් නම් රාජ්‍ය ආයතනත්, අති බහුතර ජනතාවත් බංකොලොත්ය.

විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදී රාජ්‍ය සම්පත ම ප්‍රතිව්‍යුහගත කරන්නට යන්නේ ඒ නිසාය. ප්‍රතිව්‍යුහගතකරණය ටිකක් පරණ වැඩි නිසා “ප්‍රශස්තිකරණය” නමින් එය හඳුන්වන්නේ නම් මේ කරන්නට යන දේ නොතේරෙන නිසා ඒ වචනයේ යම්කිසි ගතියක් තිබෙන බව ඇතැමුන්ගේ අදහසකි.

අද අප මේ කියන්නට යන්නේ පාඩු පිට පාඩු ලබා හෙට අනිද්දාම “සෙට්ටපෝච්චි” ගසන්නට සැරසෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳවය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේවක ගණන පන්දහස් අටසීයක් පමණ සිටිති. සමාගමට අයත් එකදු හෝ ගුවන් යානයක් නැත. දැනට සමාගම පියාසර කිරීමට යොදා ගන්නේ ලීසිං මත ලබාගෙන තිබෙන ගුවන් යානා විසිහතරක් පමණකි. ඉන් දැනට පියාසට තත්ත්වයේ ඇත්තේ ගුවන් යානා දහඅටකි. 2022 අප්‍රේල් 25 වැනිදා අලුතින් ගුවන් යානා විසි එකක් මිලදී ගන්නට උත්සාහ කළේය. නමුත් රටේ බරපතළ ආර්ථික අර්බුදය හමුවේ එය නතර විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා විසිහතක් තිබූ ගුවන් සමාගමකි. ඉකුත් කොවිඩ් වසංගතය කාලයේ දී ගුවන්යානා තුනක ලීසිං කාලය අවසන් වී එම යානා සමාගමෙන් ඉවත් කර ගැනිණි. මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවශ්‍ය ප්‍රමාණයට ගුවන් යානා නැත. සේවක ප්‍රමාණය ගත් කල සියයට විසිපහක අඩුවක් පවතී. කොරියාව බලා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි තරුණයන්ට දෙවරක්ම ආපසු ගම රට බලා යන්නට සිදුවූයේ අදාළ ගුවන් ගමන හදිසියේම අවලංගු කිරීම නිසාය. ඉකුත් බදාදා රාත්‍රියේ ජපානය බලා පියාසර කරන්නට අහසට ගත් යානය පැයකුත් විනාඩි විසිපහක් ශ්‍රී ලංකා අහසේ පියසාර කර යළි කටුනායකටම ගොඩබෑවේ එහි රෝද හැකිළීම නොවූ නිසාය. ඒ වනවිට ජපානයේ නරීටා දක්වා යෑමට එහි වාඩි වී උන් ගුවන් මගීන් තුන්සීය එක් දෙනෙක් පැය දෙකකුත් විනාඩි විසිපහක් තිස්සේ මැරි මැරි ඉපදුණේ ජීවිතය යදමිනි. මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමකට අයත් යානයක නැඟී පිටරට යෑම, ලදරම් බසයක නැඟී යාපනය බලා යන තරමට පිරිහී තිබේද?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට රුපියල් කෝටි 37,200 ක (බිලියන 372) පාඩු ලබන ආයතනයක් යැයි කීවේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ ඉකුත් වසරේ මැයි 16 වැනිදාට පාඩු ලබන රාජ්‍ය ආයතන ලැයිස්තුවේ මුලින්ම තිබෙන ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම යැයි ද මේ පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට තීරණය කළ බව කීවා මතකය. ඒ විකිණීමේදී දැනට මේවා ලබා තිබෙන පාඩුව ජනතා කර මතම පතිත කිරීම සැලසුමය.

මේ අල්ලපනල්ලේ ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් වෘත්තීය සටනකය. කොවිඩ් සමයේ කැපූ දීමනා ඉල්ලා සහ පුද්ගල ආදායම් බද්දට එරෙහිව ඔවුන් දියත් කර තිබුණ ඒ වෘත්තීය සටන ද ගුවන් ගමන් වාර අවලංගු වීමට හා ගුවන් ගමන් පමාවීම්වලට හේතුවක් බව ගුවන් සමාගමේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වනවිට සැලසුම් කර තිබෙන ගුවන් ගමන් වාර පහක්වත් අවංලගු වීමට මේ වෘත්තීය සටන හේතු වී ඇත.

ගුවනින් නොව බිමින්ම යන්න වෙයි ශ්‍රී ලංකන්

ගුවන් නියමුවකු වීම ලෙහෙසි කාරණයක් නොවන බව ඇත්තකි. ඒ රාජකාරිය බස් ධාවනය කරන හෝ ත්‍රිවීලර් පදවන උදවියට කළ නොහැකි බව ද ඇත්තකි. ඒ නිසාම සිය ඉල්ලීම් දිනාගනු පිණිස පයිලට්ලා හිටි හැටියේ ලෙඩ වී පිටව යන්නේ ගුවන් මගීන් නන්නන්තාර වන්නට ඉඩ තබමිනි.

මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු මගී ගුවන් යානා දහඅට වෙනුවෙන් සිටිය යුතු ගුවන් නියමුවන් ගණන තුන්සීය පනහකි. නමුත් මේ වනවිට සිටින්නේ ගුවන් නියමුවන් දෙසිය පනහක පිරිසකි. අසූ දෙනකුගේ පුරප්පාඩු නිර්මාණය වී ඇත්තේ සමාගමට අනුයුක්තව සේවය කරමින් සිටි පයිලට්ලා අසූවක් පමණ ඉල්ලා අස්වීම නිසාය. එසේ ඉල්ලා අස්වන පයිලට්ලා ඊළඟ ගුවන් යානයේ නැඟී වෙනත් රටක ගුවන් සමාගමක සේවයට යන්නේ “උඹලා බම්බු ගහගනිල්ලා” යැයි අප දන්නේ නැත. ඇත්තට ම ගුවන් නියමුවන්ට ලෝකයේ ඕනෑ තරම් රස්සා තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමක සිටිනවාට වඩා හොඳ රටක හොඳ ගුවන් සමාගමක ගුවන් නියමුවකු වූ පසු ශ්‍රී ලංකාවේදී ගන්නා වැටුප් හා දීමනා මෙන් පස් හය ගුණයකින් ඒ වරදාන වරප්‍රසාද වැඩි බව ද සඳහන්ය. ගුවන් නියමුවන් පමණක් නොව ගුවන් ක්‍ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් ප්‍රවීණයන් ද හුටු කියා පිටරට පනින්නට පටන් ගෙන ඇත.

ගුවන් නියමුවෙක් යනු දරු පවුල සමග නිතර නිතර රැඳෙන පිරිසක් නොව නිතරම අහසේ හෝ පිටරටක සිටින පිරිසකි. ඔවුනට මෙරට ගුවන් සමාගමක සිටියත් පිටරටක පිහිටි ගුවන් සමාගමක රාජකාරි කළත් දෙකම එකකි. එසේ කියන්නේ ගුවන් නියමුවන්මය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ලබා තිබෙන රුපියල් කෝටි 37,200 (බිලියන 372) පාඩුව හමුවේ එය විකිණීමට පැත්තක සටනකි. ඒ සටන අස්සේ පයිලට්ලා ද රට හැර යති. මේ වනවිට පයිලට්ලා පනහක් පමණ පිටරට සමාගම්වල වැඩය. අන්තිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඈවර කර දමන්නට පෙර චකබලාස් අවදානමක් ද මතු වී ඇත්තේ මෙකී කාරණා නිසාය.

කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ අනිසි බලපෑම නිසා ලෝකයේ ගුවන් සමාගම් තිස්හතක් වසා දමන්නට සිදුවී ඇත. මීට අමතරව තවත් ගුවන් සමාගම් විසිහයක් ඒවායේ පැවැති ව්‍යුහයන් වෙනස් කොට ප්‍රතිව්‍යුහගත කර ඇත. ඒ රටවල් නම් ප්‍රතිව්‍යුහගතකරණ (restruturing) ක්‍රියාවලිය හරියට කර ඇත. ලංකාවේ නම් ප්‍රතිව්‍යුහගතකරණය කියා කරන්නේ බහුජාතික සමාගම්වලට ගෙඩිය පිටින්ම විකුණා දැමීම යැයි වෘත්තීය සමිති නඟන චෝදනාවකි.

● ඇත්තම තත්ත්වය හරි භයානකය

ගුවන් යානා විසිහතක් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැන් ඇත්තේ ගුවන් යානා විසිඑකකි. මේ යානා විසිඑකෙන් ගුවන් යානා අටක් නුදුරේදීම ලීසිං කාලය අවසන් වීම නිසා ගුවන් ගමන්වලින් ඒ යානා ඉවත් කර දැමීමට නියමිතය. අලුතින් ගුවන් යානා විසිහතක් ලීසිං මත ගන්නට සමාගම් උත්සාහ කළේ එබැවිනි. ලීසිං වාරික සියයට 20 ක් සියයට 40 ක් පමණ අඩු වී තිබුණත් ඒ සඳහා මුදල් වැය කරන්නට නොහැකි නිසා ඒ උත්සාහය ද වතුරේ ගොසිනි. පළාත් පාලන මැතිවරණයට රුපියල් බිලියන 10ක් නැති රටේ ගුවන් යානා ලීසිං මත ගන්නට මුදල් නොමැති වීම පිළිබඳ එක අතකට පුදුම විය යුතු නැත. කෙසේ හෝ බංකොලොත් රටක, අති බහුතරකට තුන්වේලත් නැති රටක ගුවන්යානා කන්නට දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටට ගෙන ආවේ ආඩම්බරයකි. රට බංකොලොත් වී කෙළවලාම ගිය පසු සෝමාලියාවට හෝ පැන ගන්නට තිබූ එකම මාර්ගයත් වැසී ගියහොත් වැදි යුගය ඉරටත් කලින් ළඟා වෙන්නට බැරිකමක් ද නැත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කළේ කවුරුන්ද? රට කා විනාශ කළේ කවුරුද? බතුයි සම්බෝලයි කා බඩ වියතත්, පණතලන් යාන්තමින් ගැටගසා ගත් අහිංසක දුප්පතුන්ට බාගෙට මැරෙන්නට පාර කැපුවේ උන්ය. ඒ පට්ට හොරු ටික තාමත් හොරකමේමය. බඩ වියත රැකගන්නට කොස් ගෙඩියක් කඩන එකාට මිස රටේම සම්පත් හොරකම් කළ උන් නිදැල්ලේය. ඒ කාරණාත් නොකියාම බැරිය.

රට බංකොලොත්ය. බංකොලොත් රටේ ජනතාවත් බංකොලොත්ය. ජනතාවට තුන් වේලත් අහිමිය. ඇති මිනිසාත් නැති බැරි මිනිසාත් කබලෙන් ළිපට වැටී හමාරය. රාජ්‍ය ආයතන සියල්ලත් රටේ වටිනා කියන ඉඩම්කඩම් ටිකත් නොරටුන්ට දී අලුත්ම කාලේ ආර්ථික විජ්ජාවක් අරඹා ඇත. එය වූ කලී “ප්‍රශස්තිකරණ” නම් දෙයකි. මෙලෝ යකෙකුට නොතේරෙන නිසා සිදුවන දේ දෙස බලා සිටිනවා හැර මිලියන දෙසීය විස්සක පොදු මහජනතාවට වෙන් කරන්නට දෙයක් තාම නැත.

මේ අතරතුර රාජ්‍ය ආයතන රැසක අර්බුද මතු වී ඇත. පුද්ගල ආදායම් බද්ද නිසා ඉහළ වැටුප් ලද ශ්‍රී ලංකන් ගුවන් සමාගම, තෙල් සංස්ථා හා විදුලිබල මණ්ඩලයේ මෙන්ම සෞඛය ක්‍ෂේත්‍රයේ සිටින වියතුන් රට හැර යන්නට පටන් ගෙන ඇත.

ශ්‍රී ලංකාවට පළමු වරට ගුවන් යානයක් පැමිණියේ 1911 වසරේ දී ය. ජනප්‍රවාදයට අනුව නම් රාවණා රජුගේ කාලයේ දඬුමොනරය නම් ගුවන් යානයක් මෙරටට තිබූ බවට සඳහන්ය.

කෙසේ හෝ 1964 වසරේ දී කැනඩා රජයේ ආධාර මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකළ පසු 1970 දී එය විවෘත කෙරිණි. එතැන් පටන් ඇරඹි “එයාර් සිලෝන්” හරහා මිලදී ගත් Douglas DC-3 ගුවන් යානා තුනක් සමගින් ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹුන බව සඳහන්ය. එම ගුවන් යානා තුන සීතාදේවි, විහාර මහදේවි, සුනේත්‍රා දේවි ලෙස නම් කෙරිණි.

පසුව එයාර් සිලොන්, 1979 එයාර් ලංකා ගුවන් සමාගම බවට පත්ව 1998 දී එමිරේට්ස් සමාගම සමග ගිවිසුම්ගත වී එමිරේට්ස් බවට පත් විය. ඉන්පසුව 2006 ඔක්තෝබර් 27 “මිහින් ලංකා” නමින් අඩු වියදම් සහිත ගුවන් සමාගමක් ස්ථාපිත කෙරිණි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේය. තම දෙස බැලූවිට බොහෝ දෙනා කල්පනා කළේ මහින්ද නමට ගරු කිරීමක් ලෙස “මිහින්” නම එම සමාගමට ආරුඪ කළ බවකි. ආරම්භක ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 250 කි. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් තවත් රුපියල් මිලියන 3000ක් ද ලංකා බැංකුවෙන් ද මිලියන 250ක ණය මුදලක් ද මිහින් ලංකා සමාගමට ලබාදී තිබිණි. ගුවන් යානාවක් මිලදී ගන්නට රුපියල් මිලියන 1553ක ණයක් ද ලබාදෙන ලදී. 2010 වසරේ දී රුපියල් මිලියන 2754ක මුදලක් රජය ඊට එක් කළේය. 2010 දෙසැම්බර් වනවිට මිහින් ලංකා වෙත කළ ආයෝජනයේ එකතුව රුපියල් මිලියන 3004කි. මෙලෙස දිගට ම ආයෝජන කළත් 2007 සිට 2010 වනවිට ලැබූ පාඩුව රුපියල් මිලියන 5877 කි. අවසානයේ දී 2016 ඔක්තෝබර් 29 දින මිහින් ලංකා යානා සහ කාර්ය මණ්ඩලය පිටින්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත තල්ලු කර දමා ඒ සමාගම ඈවර කර දැමිණි. කෙසේ වෙතත් 1998 අප්‍රේල් 01 සිට 2008 මාර්තු 31 වැනිදා දක්වා එමිරේට්ස් සමාගම පාලනය කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මහින්ද ජනපති විසින්ම යළි ස්ථාපිත කෙරිණි. ඊට ප්‍රබල ලෙස බලපෑවේ ලන්ඩන්වල සිටි ජනපතිට යළි මෙරටට ඒමට ගුවන් යානයක් ලබා නොදීමේ සිද්ධියක් යැයි එකල පැතිර ගිය කටකතාවක් බවට පත්ව තිබිණි.

දැන් සියල්ල අවසන්ය. රාජ්‍ය ආයතන ගත් කල ලාභ ලබන එකක්වත් නැත. ඔක්කොම පාඩුය. රාජ්‍ය සේවයම රටම බංකොලොත් කර හමාරය. කොටින්ම දෙසීය විසිපස්දෙනාත් රටට බරක් වී ඇතැයි නැඟෙන ආඳෝනාව ද පැත්තකය. රුපියල් කෝටි 37,200ක් පාඩු ලබා තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ද මළගම අතළඟය. ගුවන් ගමන් අවලංගු වී, ගුවන් ගමන් පමා වීම් මේ ඉගි කරන්නේ ඒ මළගම අතළඟම කියා යැයි කොයි කාටත් සිතේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් එමිරේට්ස් ගුවන් සමාගම 1985 ආරම්භ කළේ එක ගුවන් යානාවකිනි. අද වනවිට ඒ සමාගම සතු ගුවන් යානා ගණන 259කි. ඉන් යානා 128ක් ඒ සමාගමේ ම බඩුය. අනෙක් යානා 131 ලීසිං ක්‍රමයට ගත් ඒවාය. අනාගත අවශ්‍යතා සඳහා තවත් ගුවන් යානා 200ක් එමිරේට් සමාගම ඇනවුම් කර ඇත.

එයාර් ලංකා නමින් 1979 ඇරඹි ජාතික ගුවන් සේවයට දැන් වසර හතළිස් හතරකි. වසර 44කට පසු “එයාර් ලංකා” හෙවත් එමිරේට්ස් ලංකා සමාගම හෙවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වළකජ්ජ ගසන්නට බලා සිටී. හැත්තෑපස් වසරක ශ්‍රී ලාංකේය මාතාවගේ නිදහස් අභිමානය ඔපවත් කළ තෙදවත් කළ “එයාර් ලංකා” අවසන් හුස්ම පොද ද උරමින් සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment