කෙහෙළියගේ ඇප ඉල්ලීම 25 වැනිදා කැඳවයි

38

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පියා සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 14 වැනිදා ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර ඔහු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (22දා) නියෝග කළේය.

චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල මහත්මිය විසින් සිය නීතිඥවරුන් මගින් ගොනු කර තිබූ එම ප්‍රතිශෝධන අයැදුම්පත කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය, නීතිපතිවරයා එම ප්‍රතිශෝධන අයැදුම්පතේ විත්තිකරුවකු ලෙස නම් කර ඇතත් මේ දක්වා අදාළ ලේඛන තම දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි අධිකරණයට පැවසුවාය. නීතිපතිවරයා වෙනුවෙන් එකී ප්‍රතිශෝධන අයැදුම්පත සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අපේක්‍ෂා කරන බැවින් තම දෙපාර්තමේන්තුවට එකී ලේඛන හා ඇමනුම් ලැබීමෙන් පසුව කැඳවන ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් එම ප්‍රතිශෝධන අයැදුම්පත කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (22දා) මධ්‍යහන 12.00ට පෙර අදාළ ලේඛනවල පිටපත් නීතිපතිවරයා වෙත භාරදීමට පියවර ගන්නා බවද අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment