වර්ජන කරන්නේ IMF සහන ලබාදීම වැළැක්වීමටයි – සමන් රත්නප්‍රිය

83

වැඩවර්ජන ක්‍රියාවට නංවන්නේ ලබන සඳුදා (20 දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය අත්සන් කිරීමට නියමිත එකඟතාවයන් කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඊයේ (13 දා) පැවසීය.

ජනතාව පීඩා වින්ද පෝලිම් යුගයෙන් මුදාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තවත් සහන ලබාදීමට රජය කටයුතු කරනු ඇතැයි සිතා එය වැළැක්වීමට මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගන්නා බවට ඒ මහතා චෝදනා කළේය.

ලබන 20 වැනිදා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීමට නියමිත බව වර්ජකයන් දන්නා බවත්, එය දැන දැනම සතියකට පෙර වැඩවර්ජන ක්‍රියාවලියක නිරතවන්නේ ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය හා පෙරටුගාමී වෘත්තීය සමිති නියෝජිතයන් බවත් රත්නප්‍රිය මහතා කීය.

රජය මේ වනවිට ඉන්ධන මිල අඩු කිරීම, පොලී අනුපාත අඩු කිරීම, විදුලි බිල අඩුකිරීම ඇතුළු සහන ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙන බවත්, ඒවා ලබාදීමට පෙර රජය අපහසුතාවට පත්කර ජනමතයක් පවතින බවට පෙන්වීමට එම පිරිස් උත්සාහ කරන බවත් රත්නප්‍රිය මහතා පැවසීය.

වෘත්තීය සමිති කියන තරම් සැබෑ වෘත්තිකයන්, වැඩවර්ජන සහ විරෝධතාවලට නොයන බවත් බොහෝ පිරිසක් එනම් සියයට 60 ක් පමණ වෘත්තීය අරගලවලට නොයන තත්ත්වයක් ඇති බවත් පැවසූ සමන් රත්නප්‍රිය මහතා, රට කඩාකප්පල් කර ජනතාව පාරට දමා බලය ගැනීමට උත්සාහ කරන පිරිසට රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් නොමැති බවත්, එම නිසා තව ටික කලක් රට යහපත් අතට ගැනීමට සියලුදෙනා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවත් වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment