ඔක්කොම කෑම පිට රටින්; කට සහ බඩ ලංකාවෙන්

1157

ඊයේ වනවිට කැරට් කිලෝව රුපියල් 2400 කි. තෝර මාළු කිලෝව රුපියල් 2000 කි. තලපත් කිලෝව රුපියල් 1800 කි. මේ අනුව ලංකාවේ ඉහළම මිලක් හිමි තෝර මාළු සහ තලපත් මාළුවලට වඩා කැරට් මිල ඉහළ ගිය ඉතිහාසයේ පළමුවන දවස ඊයේ දවස බවට පත්විය.

ඊයේ වනවිට බ්‍රකොලි කිලෝවක මිල රුපියල් 7000 කි. රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 14000 කි. මේ අනුව බ්‍රකොලි සහ රත්තරන් අතර මිල වැඩි වෙනසක් පෙන්නන්නේ නැත. එහෙත් බ්‍රකොලිවලින් මුදු, මාල, අරුංගල් සෑදිය නොහැක. ෆ්‍රයිඩ් රයිස්වලට බ්‍රකොලි දමා අනුභව කරනවාක් මෙන් රත්තරන් දමා අනුභව කළ නොහැක. ඒ අනුව ඒ උදාහරණය මදකට පසෙකින් තබනු ලැබේ. ඉංග්‍රීසි එළවළු ලෙස හැඳින්වෙන එළවළු වර්ග මේ තරම් ඉහළ ගිය පළමුවන අවස්ථාව මෙය වෙයි. එංගලන්තයේ පවා කැරට් කිලෝවක් රුපියල් 2000 ට අඩුය. බ්‍රකොලි කිලෝවක් රුපියල් 7000 ට වඩා අඩුය. ඉංග්‍රීසි එළවළු යන යෙදුම මීට පෙර ද පැහැදිලි කරදී තිබුණත් නැවතත් පැහැදිලි කරදීමට අපි තීන්දු කෙරුවෙමු. අධිරාජ්‍යවාදී සුදු ජාතිකයා ලංකාවේ පාලනය අල්ලාගත් පසු ආහාර වශයෙන් ගැනීමට සිදුවුණේ බොහෝ කටුක දේවල්ය. තුඹ කරවිල, කොහිල, පතෝල, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න මැල්ලුම්, කුරහන් තලප, සියඹලා ලුණු ජලය සහ තුනපහ යොදා සාදන ආනම් හොද්ද වැනි කෑම ජීවත්වීම සඳහා පමණක් අනුභව කිරීමට ඔවුන්ට සිදුවිය. සුද්දන්ගේ කටට පුරුදුව තිබූ චීස්, බටර්, සොසේජස්, සලාමි, බේකන්, ලුණු දැමූ මස්, හෝල් ග්‍රේන් බ්‍රෙඩ්, කැරට්, බ්‍රකොලි, ගර්කින්, තම්බපු බෝංචි සහ තැම්බූ අර්තාපල් යෙදූ සලාද ලංකාවේදී අනුභව කිරීමට ඔවුන්ට ලැබුණේ නැත. මනුෂ්‍යයා වූකලී කට සහ දිව පිනවීම පිණිස ඕනෑම ගාස්තුවක් ගෙවීමට සූදානම් කෙනෙකි. මනුෂ්‍ය දිවෙහි රස නිෂ්පත්ති කොටස හෙවත් සියලු රස වර්ග දැනෙන කොටස වර්ග අඟල් 4 කි. මේ වර්ග අඟල් හතර තුළ තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, ලුණු රස සහ උමාමි රස (Mono Sodium Glutamate) යන රස වර්ග පහ දැනෙන taste buds තිබේ. කරවිල කකා මදුරුවන් තලමින් ලංකාවේ කරන රාජකාරියෙන් හෙම්බත් වුණු නෝර්ත් ආණ්ඩුකාරතුමා තම රටේ තිබෙන එළවළු වර්ග ලංකාවට ගෙනවුත් නුවරඑළියේ වගා කරමු යැයි යෝජනා කළේය. ඉංග්‍රීසි ලෙස හැඳින්වෙන ගෝවා, බෝංචි, බීට්, කැරට්, රාබු, ටර්නිප්, ලීක්ස් වැනි එළවළු වර්ග අපේ රටේ පැතිරෙන්නට පටන්ගන්නේ ෆෙඩ්රික් නෝර්ත්ගේ කෑදරකමේ ප්‍රතිපලයක් වශයෙනි. ඉන්පසු කන්දෙන් පහළට බැස්ස මේ එළවළු පහත රට වංශවතුන්ගේ කෑම මේසවල දිලිසෙන්නට පටන් ගත්තේය. තවත් කාලයක් ගතවන විට මේ කියන ඉංග්‍රීසි එළවළු සාමාන්‍ය නාගරික ජනතාව අතර ද පැතිර ගියේය. මෙහි ප්‍රතිපලයක් වශයෙන් වට්ටක්කා සීන් එකෙන් අයින් විය. කරවිල සහ කොහිල දිවට සනීපයක් නැති රළු කෑම ලෙස සලකා පැත්තකට ඇද දමනු ලැබීය. ගහල, රටල, ඉන්නල, හොඬල යන දේශීය අල වර්ගවලට වඩා අර්තාපල් රසවත් වූ බැවින් එයට ද කෑම මේසයේ ඉහළ තැනක් ලැබිණ. ක්‍රමයෙන් පතෝල සහ වැටකොළුවලට තිබූ තැන නැති විය. කොස් කෑම ගැමියන්ට පමණක් සීමා විය. ඒ අතර, ඊට අවුරුදු 250 ට පමණ පෙර පිටරටවලින් දෙල් ගෙනවුත් පළමු වරට මෙහි වගා කරන ලදි. දෙල් අනුභව කළේ ද සාමාන්‍ය ගැමි ජනයාම පමණි. ඊට අමතරව සිරකාරයෝ ද දෙල් අනුභව කළහ. වම්බටු, තිබ්බටු සහ තලන බටු පැත්තකටම වීසි විය. ලංකාවේ ආහාර සංස්කෘතියේ ලොකු ප්‍රශ්නයක් තිබේ. එය නූතන ලෝකයට ගැලපෙන්නේ නැත. තලප ගුලිකර ආනම් හොද්දෙහි බහා එකවරම ගිල දැමිය යුතු අතර නුපුරුදුකාරයකු මේක කළොත් තලප ගුලිය උගුරේ හිරවී ඔහු මිය යයි. ඉංග්‍රීසි ආහාර සංස්කෘතිය වඩාත් සුමට බැවින් ද කෑම රස බැවින් ද තලු මර මරා අනුභව කළ හැකි බැවින් ද එය වහා වැළඳ ගත්හ. ඉඳි ආප්ප සහ ආප්ප යන දෙකම තමිල්නාඩුවෙන් පැමිණි සාම්ප්‍රදායික ආහාර වෙති. කිරිබත් ආවේ මැලේසියාවෙන්ය. කොකිස් යනු පෘතුගීසි කෑමකි. ආස්මි ආවේ ද ඉන්දියාවෙනි. මේ අනුව ලංකාවෙන් පැමිණ තිබෙන්නේ කට සහ බඩ පමණි.

අපේ ආහාර සංස්කෘතිය වඩාත් සුමට කිරීමට හැකි නම් දේශීය එළවළුවලට ජනතාව පුරුදු කළ හැකිය. කංකුන් යනු ලංකාවට ආවේණික පැලයක් නොවේ. එය වැවෙන්නේ චීනය හා වියට්නාමය වැනි රටවලය. එය අද අපේ ආහාර සංස්කෘතියට එකතු වී තිබේ. මේ අනුව පතෝල, වැටකොළු වැනි එළවළු හොඳට කිරි දමා ඉවීම, මෑකරල් රසවත් ලෙස තෙම්පරාදු කිරීම සහ වෙනත් සිංහල එළවළු වඩාත් රසවත් සේ සකසා සමාජයට භාරදීමෙන් දේශීය එළවළුවලට හොඳ තැනක් ලබාගත හැකිය. එහෙත් මෙය කව්රුත් නොකරති. නූතන ගෙවල්වල ඉන්න අම්මලා පවා වැඩියෙන්ම උනන්දුව දක්වන අලය වූකලී කැරට් අලය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment