නව සභාපති වැඩ භාරගැනීමට යද්දී වෙඩි ප්‍රහාරයක්

539

බත්තරමුල්ල සමුපකාර රක්‍ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස ඊයේ (5දා) උදෑසන 7.30 ට පමණ වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම මහතාට වල්පිට ගැමුණු මාවතේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි වැදීමෙන් අතකට තුවාල සිදුවූ 62 හැවිරිදි සමරවික්‍රම මහතාගේ තත්ත්වය බරපතළ නැතැයි මීගොඩ පොලිසිය පවසයි.

ඒ මහතා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනයේදී හෙළිවී ඇත. වෙඩි තැබීම සඳහා උණ්ඩ 04 ක් භාවිතා කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ දර්ශන සමරවික්‍රම මහතා මීට පෙර සමුපකාර රක්‍ෂණ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. කුමන හේතුවක් මත ඔහුට වෙඩි තබා ඇතිද යන්න සොයාගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සමරවික්‍රම මහතාට ජීවිත තර්ජන ඇති බවට මීගොඩ පොලිසියට මීට පෙර පැමිණිල්ලක් හෝ ලැබී නැති අතර මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
චමින්ද සිල්වා, නීල් රාජපක්‍ෂ – පාදුක්ක

advertistmentadvertistment
advertistmentadvertistment