ලක්ෂ 365 ක චෝදනාව: නීතිපති අධිචෝදනා ඉල්ලා අස්කරගනී…. බට නඩුවෙන් බැසිල් නිදහස්

240

ජී. අයි. බට මිලදී ගැනීම සඳහා රජයට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් සාපරාධි පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (15 දා) නියෝග කළේය. නීතිපතිවරයා අධිචෝදනා අස්කර ගැනීම නිසා අධිකරණය එම නියෝගය කළේය.

2015 ජනාධිපතිවරණය සමයේදී දේශපාලන කටයුතු සඳහා මිලදී ගත්තේ යැයි කියන එම ජී. අයි. පයිප්ප, පළාත් පාලන ආයතනවලින් කිසිදු ඉල්ලීමක්කොට නොතිබියදීත් පළාත් පාලන ආයතන වෙත මුදාහැරීම මගින් මුදල් සාපරාධි පරිහරණය කළේ යැයි විත්තිකරුවන්ට අධිචෝදනා න`ගමින් නීතිපතිවරයා විසින් 2016 වසරේදී එම නඩුව පවරා තිබිණි.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති අධිචෝදනා ඉවත්කර ගන්නා ලෙසට විත්තිකරුවන්ගේ නීතිඥවරුන් නීතිපතිවරයාගෙන් ලිඛිතව ආයාචනාවක් කර ඇතැයි අධිකරණයට කීවේය.

එම විත්තිකරුවන් දෙදනා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ වෙනත් නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ඔවුන් සියලූ දෙනාම නිදොස්කොට නිදහස් කරමින් නියෝගයක් නිකුත්කොට ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පැවසීය. එම නඩුවට පාදක වූ චෝදනා හා මෙම නඩුවේ චෝදනා එක හා සමාන, එනම් සාපරාධි සාවi පරිහරණය කිරීම වන බැවින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 194 (3) වගන්තිය අනුව චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් එම අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරුවරයා විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් යම් ඉල්ලීමක් සිදුකිරීමට තිබෙන්නේ දැයි විනිසුරු නාමල් බලල්ලේ මහතා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ කරුණුවලට තමන් එකඟ වන බැවින් ඊට පරිබාහිර ඉල්ලීමක් කිරීමට නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා හා ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා අධිකරණයට ප‍්‍රකාශ කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment