දළදා මාළිගයට බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට වසර විසිහයයි

126

සැදැහැවත්හු 16ක් ජීවිතක්ෂයට
විසිපහකට තුවාල
වාහන තුනක් ගිනිබත්
ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කෙරේ
කුපිත වූ ජනයා හින්දු සංස්කෘතික මැඳුර ගිනි තබති

ශ්‍රී දළදා මාළිගාවට මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු රුපියල් මිලියන එකසිය පනහක පමණ වියදමින් එය ප්‍රතිසංස්කරණය කෙරිණි. ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ලක්ව එවකට දළදා පුදට පැමිණි බැතිමතුන් 16 දෙනකු මියගියහ. තවත් විසිපස්දෙනකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව්දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක් සහ පොලිස් නිලධාරිනියක් ද විය. ඒ අතර භූ විද්‍යා මහාචාර්යවරයකු වූ පී. ඩබ්ලිව්. විතානගේ මහතා මෙම සිදුවීම ඇසීමෙන් කම්පනයට ලක්ව මියගිය බවද පසුව දැනගන්නට ලැබිණි. දැවැන්ත ප්‍රහාරයේ බලපෑම මත ඒ අවට කිලෝමීටර් පහක් පමණ දුරින් වූ ඇතැම් ගොඩනැඟිලිවලටද හානි සිදුව තිබිණි.

දළදා මාළිගා පරිශ්‍රය තුළ සිදුවූ මෙම සිදුවීමේ දී අවට මං බාධකවල සිටි හමුදා භටයන්ටද වෙඩි තබා පුපුරන ද්‍රව්‍ය තොගය රැගත් ට්‍රක් රථය මාළිගාවේ පිවිසුම් අංගනය වෙත කඩාවැදී තිබිණි. අධි පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සීයක් හාරසීයක් පමණ අන්තර්ගත වූ ට්‍රක් රථය ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශ වී තිබූ බවට පසුව කළ පර්යේෂණවලදී තහවුරු විණි.

පුදබිමට ඇතුල් වන ස්ථානයේ වූ ප්‍රතිසංස්කරණය කළ ගල් කැටයම්, ඇත් කැටයම්, සඳකඩපහණ ප්‍රහාරය නිසා මුල් සඳකඩ පහණද කොටස් හතළිස් තුනකට බිඳී ගොස් තිබුණි. මේ වනවිට ඒවා යළි ප්‍රතිසංස්කරණය කොට මාළිගාව තුළ වූ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ප්‍රහාරයෙන් පසු දිනයේම ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. ඊට පෙර අවස්ථා කිහිපයකදීම තහනමකට ලක් කිරීමට සැලසුම් කර තිබුණද රජය එසේ නොකර සිටි බවද එවකට ආන්දෝලනයට තුඩු දී තිබූ සිදුවීමක් විය.

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනයා කුපිතයට පත්ව සිටියහ. පිරිසක් එම අවස්ථාවේ වාහන තුනකට සහ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයට ගිනි තබන ලදී. එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද කිසිවෙකුටත් හානි සිදුවූයේ නැත. දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් පැතිර ගොස් දෙමළ ජනයාගෙන් පළිගැනීමට මිනිසුන් යාවි යැයි සිතූ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වහාම ජනතාව අමතා ඉල්ලා සිටියේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව ජනතාව තුළ අපුලක් ඇති කළ මෙම සිද්ධිය ආරක්ෂක දුර්වලතාව මත සිදුවූවක් බවට වගකීම භාර ගනිමින් එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේ මහතා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද දන්වා සිටියේය.

නමුත් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය. 1998 නිදහස් සැමරුම බි්‍රතාන්‍යයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන්ගෙන් සමන්විතව මහනුවර දී පැවැත්වීමට සැලසුම් කර තිබිණ. මහා බි්‍රතාන්‍යයෙන් නිදහස් වී ඒ වනවිට පනස් වසරක් ගෙවී තිබූ නිසා මහනුවරදී නිදහස් උළෙල සැමරීමට සංවිධානය කර තිබිණ.

බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ නිදහස් උළෙල අගනුවර පැවැත්වීමට සැලසුම් කළහ. මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට තහවුරු වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ තිදෙනෙකුට 2003 ඔක්තෝබරයේදී මහනුවර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරන ලදී.

සමන්ති වීරසේකර – සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment