සමාජ පෙරැළියකට තුඩුදුන් දුරුතු පුන් පොහොය

94

දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි.

ඇතැම්හු නාගයා සංකේතයක් කොටගෙන වන්දනය කළහ. නාගයා වූ කලී රාගයේ සංකේතයකි. ‘නාගරාග ලෙස ද එය හැඳින්වේ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇළීම්-ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇළීම ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදුවන්නේ සසර දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටිකර ගැනීමය.

මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය.

වසරක් ගෙවී තවත් වසරක් උදාවන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව ද මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි.

එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ, අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උකහාගත් මහා ප්‍රඥාව නැත්නම්, දුකේ වෙළී-පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝදා බැවිනි. බුදු බව ලබා නවමසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිලයන් වන, උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරන ලද්දේ දුරුතු පොහෝදාය.

බුදුරදුන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා ගමන නැත්නම් ලක්දිවට වැඩමවීම සිදුවූයේද මේ පුන් පොහෝදාය. මහියංගණයට වැඩමකොට යක්‍ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝදා සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

බුදුරදුන්ගේ කේශධාතු තැන්පත් කොට ඇත්තේ මහියංගණයේය. සුමනසමන් දෙවියන් විසින් මහියංගණ දාගැබ ඉදිකොට, එහි බුදුරදුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදිකරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගන දාගැබයි.

මහීන්+අංගණ ‘මහියංගණය’ විය. ‘මිනිසාට ශාන්තිය උදාකරන තැන්න’ නැත්නම් ‘ආලිංගණය’ වූ නිසා මහියංගණ නම් විය. දුරුතු පොහෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි ඒ. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරැළියක් උදාවිය.

මානව සමාජය විවිධ ආකල්පවල එල්බගෙන සිටි හෙයින් ‘නිසි මාර්ගය’ නැත්නම් ‘විමුක්ති මාර්ගය’ කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ. මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. එයින් නොනැවතුණු සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියා ය.

ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළහොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ.

ඇතැම්හු නාගයා සංකේතයක් කොටගෙන වන්දනය කළහ. නාගයා වූ කලී රාගයේ සංකේතයකි. ‘නාගරාග ලෙස ද එය හැඳින්වේ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇළීම්-ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇළීම ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදුවන්නේ සසර දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටිකර ගැනීමය.

නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටිකර ගැනීම නොව, තව තවත් එයට එල්බ ගැනීමකි.

නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වී ද යත් රජවරුන්ගේ

නමේ අගට ‘නාග‘ යන පදය යොදන්නට පුරුදු වූහ. චෞරනාග, මහානාග, වීරනාග, ඉලනාග ආදී නම් එයට හොඳම නිදසුන්ය. මෙවන් පරිසරයක සිටි ජනකායකට බුදුරදුන් ලක්දිවට වැඩම කොට, එම අඳුරු වළා පටලයෙන් නැත්නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට

ගන්නට දැරූ තැත ද ඉතා ප්‍රශංසනීය ය. ඉන් අනතුරුව උගත් සඟ පරපුරක් බිහිවී මහා කැලෑ එළි පෙහෙළි වී, ගල්ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පෝදාය. එයට පසුබිම සැකසුණේ ද මෙදාය.

යතිවරුන් බුදුරදුන්ගේ උපවත්නා අනන්ත වූ ගුණ සමුදායෙන් අංශුවක් නැත්නම් කණිකාවක් හෙළි කිරීමට අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, දහම් සරණ, සඟ සරණ බඳු ග්‍රන්ථවලින් හෙළි කළේ බුදුගුණයි. ඒ බුදුගුණ ජනකායට අසන්නට සැලසීම මහා පුණ්‍ය කර්මයකි.

බෞද්ධ ග්‍රන්ථ නිර්මාණවලින් නොනැවතුණු එදා සමාජය, ගලට ද ජීවයක් කැවීමට උත්සුක විය. හැඩි දැඩි ගලට ජීවයක් කැවීමට යෑමේ සාධක ලෙස බුදුපිළිම, සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල ආදී කැටයම් හැඳින්විය හැකිය.

බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මගින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදුගුණයි.

බුද්ධ චරිතයයි, බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන්මගට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.

දුර ගමනක් යන්නට ඇති හෙයින් ද දුර බලන්නට හැකි සන්ධිස්ථානයක් ලෙස ද දුරුත්ත හැඳින්විය හැකිය.

සමාජ පෙරැළියකට තුඩුදුන් දුරුතු පුන් පොහොය

පූජ්‍ය අරම ධම්මතිලක නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment