යුක්තිය, අයුක්තිය සහ භික්ෂුත්වය

828

1987 ජූනි 2 දාව වූකලී මේ රට විසින් අත්දකිනු ලැබූ ඉතාම කාලකන්නි සහ අඳුරු දවසකි. අම්පාරේ විද්‍යානන්ද මහා පිරිවෙනේ නායක හාමුදුරුවන් වූ හෑගොඩ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ නව යොවුන් සාමනේර වහන්සේලා 32 ක් සමග කැලණි රජමහා විහාරය වැඳ පුදා ගැනීම සඳහා කොළඹ පැත්තට යන බස් එකකට ගොඩවූහ. හාමුදුරුවන්ගේ අරමුණ වූයේ ඊළඟ නගරයෙන් බැස කොළඹ බලා යන බසයක නැගීමය. මේ අතර බසය නුවරගලතැන්න නමැති ගම පසුකරන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රැසක් බසය නැවැත්වූහ. ඊළඟට ඔවුහු බසය අරන්තලාව නමැති යාබද කැලෑව තුළට ගෙනයන ලෙස බල කළහ. අනතුරුව මුලින්ම බසයේ ඩ්‍රයිවර්ට වෙඩි තබන ලදි. ඉන්පසු ත්‍රස්තයෝ හාමුදුරුවරු දෙසට හැරුණාහ, එවිට බස් රියේ අසුනින් නැගී සිටි හෑගොඩ ඉන්ද්‍රසාර ලොකු හාමුදුරුවෝ සාමනේරයන් වහන්සේලාගේ පණ බේරන ලෙසත් ඒ වෙනුවට තමන් මරාදමන ලෙසත් කොටින්ගෙන් ඉල්ලා සිටියහ. එවිට ලොකු හාමුදුරුවන් ඉදිරියට පැන්න කොටියෙක් කඩුවකින් කොටා උන්වහන්සේ ඝාතනය කළහ. එයින් පසු තවත් නව යොවුන් සාමනේර වහන්සේලා තිස් දෙනකුට කඩුවලින් කොටා මරණ ලදී. ලංකා ඉතිහාසයේ අරන්තලා භික්ෂු ඝාතනය නමැති ලේ වැකුණු සිද්ධිය මෙය ය. කිසියම් පුද්ගලයකු විසින් බෞද්ධ භික්ෂුවක් ඝාතනය කළ බව ඇසුණු කල්හි සිංහල බෞද්ධයෝ කිපෙති. දිඹුලාගල වාසය කළ කිතලගම සිරි සීලාලංකාර හාමුදුරුවන් කොටි සංවිධානයේ වෙඩි පහරින් අපවත් වූ විටද සිතුල්පව්වේ නායක හාමුදුරුවන් නොදැමුණු සාමනේර වහන්සේ කෙනකු වෙතින් අත් බෝම්බ පහරක් කා අපවත් වූ විටද අපේ රටේ ජනයා මහත් සේ දුක් වූහ. කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි සහ වැල්ලේතොට පඤ්ඤාදස්සී නාහිමි තුවක්කු ගත් නාඳුනන යක්ෂයන්ට එදා බිළිවූහ.

ගම්පහ මල්වතුහිරිපිටියේ කහටාන ගමේ පන්සලකට කඩා වැදුණු අවිගත් පිරිසක් දන් වළඳමින් සිටි භික්ෂුවක ඝාතනය කර පලා ගිය බව අපි පෙරේදා දැන ගතිමු. මේ ඝාතනය මනුෂ්‍ය ඝාතනයක් ලෙස ජනතාවගේ සිත් සතන් සසල කළ නමුදු බෞද්ධ භික්ෂු ඝාතනයක් ලෙස අමතර හිත් රිදවීමක් ඇති කළේ නැත. එය අපවත්වීමක් වුවද තවත් මරණයක් ලෙස පමණක් මිනිස්සු සැලකූහ. මිය ගිය භික්ෂුන් වහන්සේ දුර පළාතක වැඩ විසූ හතළිස් පස් හැවිරිදි කෙනෙකි. හඳහන් බැලීම සහ මන්තර ගුරුකම් කිරීම සඳහා සතියකට දෙදිනක් උන්වහන්සේ මල්වතුහිරිපිටියේ පන්සලට වැඩම කළහ. මේ භික්ෂුවගේ අපවත ජනයා තුළ එතරම් සසල බවක් ඇති නොකළේ මේ කියන හඳහන් සහ ගුරුකම් කේස් එක නිසා විය යුතුය. භික්ෂුන් වහන්සේලා යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරනවාටත් කේන්දර බලනවාටත් යකුන් සමග වැඩ කරනවාටත් සැබෑ බෞද්ධයෝ අකැමැත්තාහ. ඇතැම් පන්සල්වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා පොහෝ දිනවලදී දෙහි ගොඩවල් ගොඩගසාගෙන මුදලට දෙහි කැපීමෙහි නිරත වෙති. මුදල් උපයන පරමාර්ථයෙන් පිරිත් නූල්ද බඳිති. මෙය බුදු දහමට කිසිසේත්ම නොගැළපෙන අප්‍රියජනක අත්දැකීමක් වේ. බුදුන් වහන්සේ වැඩ කළේ පූසාරිලා සහ කපුරාලලා සමග නොව සැදැහැවත් භික්ෂුන් වහන්සේලා සහ ශ්‍රාවකයන් සමගය. උන්වහන්සේ මන්තර ගුරුකම් විශ්වාස කළේ නැත. ජ්‍යොතිෂ්‍යය කෙරෙහි වැඩි ප්‍රසාදයකින් කටයුතු නොකළ භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ජ්‍යොතිෂ්‍ය පිළිබඳ සෙවීමට උත්සාහ කළ ආනන්ද හාමුදුරුවන් අභිමුඛයේදී සප්ත සූර්යෝද්ගමන සූත්‍රය වදාරමින් සෞරග්‍රහ මණ්ඩලයේ සහ විශ්වයේ පහළවීම කොතරම් භෞතිකද යන්නත් ග්‍රහ ලෝකවල පැවැත්ම කොතරම් ද්‍රව්‍යවාදීද යන්නත් තේරුම් කර දුන්හ. තම ශාසනයේදී පහළ වන අනාගත භික්ෂුන් වහන්සේලාගෙන් ඇතමෙකු රතු සිවුරු ඇඳගෙන මන්තර කියමින් යකුන් එළවීමත්, ගුරුකම් කිරීමත්, හඳහන් බැලීමත්, දෙහි කැපීමත් මුදලට කරනු ඇතැයි දැනසිටියේ නම් බුදුන් වහන්සේ අනාගත භික්ෂු ශාසනය සම්බන්ධයෙන් වෙනස් ක්‍රියාමාර්ග ගැනීමට පවා ඉඩ තිබුණි. කෙසේ හෝ වේවා මල්වතුහිරිපිටියේ පන්සලේ භික්ෂු ඝාතනය සුළුකොට නොතැකිය යුතු අතර ලොකුම කේස් එකක් බව අපට නම් වැටහේ. භික්ෂුවට වෙඩි තබා පලාගිය මිනීමරු රැළ තමන් පැමිණි වාහනය මගදී නවත්වා එයට ගිනි තබා විනාශ කර තිබුණි. පොලිසිය කල්පනා කරන්නේ මෙය පෙරකී භික්ෂුව සහ මිනීමරුවන් අතර තිබූ පෞද්ගලික ආරවුලක ප්‍රතිපලයක් විය හැකි බවය. භික්ෂුන්ට ගිහියන් සමග පෞද්ගලික වෛරයක් තිබෙන්නට විදියක් නැත. ගිහියෙක් චීවරධාරියකු සමග වෛරයක් ඇතිකර ගන්නේ එම චීවරධාරියා තවදුරටත් භික්ෂුවක ලෙස සැලකීම අත්හැර දැමූ පසුවය. (මේ අතර පන්සල් සමග ගැටෙන ආපත ගිහි පොරවල් ද පන්සල් වටේ සිටින බව අපි දනිමු.) මල්වතුහිරිපිටියේදී සිදු වූ භික්ෂු ඝාතනය දෙස බැලීමේදී පෙනී යන්නේ මිනීමරුවන් එම භික්ෂුන් වහන්සේ සමග දැඩි ක්‍රෝධයකින් සිටින්නට ඇති බවය.

අද පොහෝ දවසයි. රට තුළ මිනී මැරුම් සහ අපරාධ වැඩි වනු දැක දැක ඔහේ බලා සිටීමට අපට සිදුව ඇත. එම මිනීමැරුම්වලට වගකිවයුතු කුඩ්ඩන් සහ පාතාලයන් අත්අඩංගුවට ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා කැමැති නැත. කුඩ්ඩන් සහ පාතාලයන් නසන යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසට ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන රැසක් නිවේදන නිකුත් කර තිබේ. ඒ ගැන මතු කතුවැකියකින් කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment