ආර්ථිකයට අයි.එම්.එෆ්. ක්‍රිකට්වලට අයි.සී.සී – ඉතින් වැරැද්ද මොකක්ද?

182

ඉකුත් සතියේ සමාජ – දේශපාලන අංශ උණුසුම් කළ සිදුවීම් කීපයක්ම දැකගත හැකි විය. රටේ ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාලනයේ ප්‍රමුඛයන් වන ගෝඨාභය, මහින්ද, බැසිල් යන සහෝදරයන් තිදෙනා ඇතුළු එවක ආර්ථික මෙහෙයුම් සිදුකළ ඉහළම රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ද වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඓතිහාසික තීන්දුව කැපී පෙනුණි. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළු සමාජ දේශපාලන අංශවල දැඩි අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලය, එහි හැසිරීම් මෙන්ම කෝප් කමිටුව කෙරෙහිය. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්ව තිබුණු, 2024 අයවැය විවාදයේදී පවා ක්‍රිකට් පිළිබඳ විවිධ අනාවරණයන් සිදුවිය. ඒ අතර විපක්‍ෂයේ කීපදෙනෙක් රාජපක්‍ෂවරුන්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව ගැන ද අදහස් පළකර තිබුණු අතර එම තීන්දුව අනුව වැරදිකරුවන් වූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව ද විපක්‍ෂනායක සජිත්ගේ අදහස විය. එසේම ඒ සඳහා ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ජ.වි.පෙ. අනුර කුමාර, ජා.නි.පෙ. විමල් වීරවංශ මෙන්ම ශ්‍රී.ල.නි.ප. මෛත්‍රිපාල ද ඒ නඩු තීන්දුව අගය කරද්දී බන්දුල ගුණවර්ධන එයට සිය කනස්සල්ල පළකර සිටියේය.

කෙසේ හෝ රාජපක්‍ෂවරුන් සම්බන්ධ නඩු තීන්දුවට වඩා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් වැඩි අවධානයක් යොමුව තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරකම් හා මේ වනවිටත් ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම පිළිබඳවය. ඇත්ත වශයෙන්ම අද රටේ මූලික ප්‍රශ්නය ක්‍රිකට් නොවේ. 2024 සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය තවත් වටයකින් ජනතාවට පීඩනයක් ලබා දෙන බව බොහෝ අය පෙන්වා දුන්හ. විශේෂයෙන් ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක වන වැට් (18%) බද්ද නිසා භාණ්ඩ හා සේවා තව වටයකින් ඉහළ යනු ඇත. ඒ මදිවාට අයවැයෙන් සාමාන්‍ය ජනතාව පසුපස ලුහුබැඳීම සඳහා අලුත් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ. අලුතින් නිවසක් ඉදිකිරීම, වාහන මිලට ගැනීම හා ආදායම් බලපත්‍ර ලබා ගැනීම වැනි කටයුතු සඳහා ආදායම් බදු අංකය අනිවාර්ය කිරීමේ පදනම කුමක්ද? අලුත් නිවස යන්න අර්ථ දක්වන්නේ කෙසේද? ණයතුරුස් වී යන්තම් වහලයක් ගසා ගන්නා පුරවැසියකුට වුවද මේ නීතිය අදාළය. එසේම යතුරුපැදි, ත්‍රිරෝද හා කාර් අයිති සාමාන්‍ය ජනයා ද වෙති. එසේම මෙහිදී ඉල්ලා සිටින තොරතුරු, ඒවා සහතික කිරීම කළ හැකි අය ඇත්තේ ද සුළු පිරිසකි. එහෙත් මේ ලුහුබැඳීම ඇති හැකි අයට නැත. අධිකරණ ඇමැති විජයදාස කෝටි 3000ක ණයක් නොගෙවූ ආයතනයක් ගැන අයවැය විවාදයේදීත් දක්වා තිබේ. තවත් සුරාබදු හොරු, සීනි බදු හොරු නිදහසේ සිටිති. එහෙව් රටක නැති බැරි එකාගේම බෙල්ලෙන් අල්ලා ගන්නා තීරණ ගැන පොහොට්ටුව එකඟ දැයි අපි නාමල් මන්ත්‍රීවරයාගෙන්ම අසමු.

අප මේ සඳහන් කළේ අයවැය යෝජනාවලින් බින්දු මාත්‍රයකි. ඒවා සම්බන්ධයෙන් ප්‍රාමාණික විවේචන ද පළවී තිබෙන අතර තවත් විශ්ලේෂණ සිදුවෙමින් ද ඇත. එහෙත් ඉහත දැක්වූ පරිදිම තවමත් සමාජ – දේශපාලන අංශවල මෙන්ම පාර්ලිමේන්තුවේ ද ප්‍රධාන මාතෘකාව වී තිබෙන ක්‍රිකට් ගැන කතා කිරීමට අපට ද සිදුව තිබේ. ක්‍රිකට් සම්බන්ධයෙන් තිබෙන, ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවකැයි යන පිළිගැනීම අද නැත. දේශපාලනය ද එබඳුම මහත්වරුන්ගෙන් ගිලිහී යන්නක් බව කියැවේ. කුමක් වුවත් දේශපාලනය හා ක්‍රිකට් යන දෙකම පිරිහීමට ප්‍රධාන හේතුව මුදල් හා බල තෘෂ්ණාව බවද නිසැකය. එනිසා මහත්හොරුන් අතට පත්ව තිබෙන බව කියැවෙන ක්‍රිකට් මෙන්ම දේශපාලනය ද පිරිසිදු කර ගැනීම භාර වන්නේ ද ඒ ඒ ක්‍ෂේත්‍රවල සිටින මහත්වරුන් සුළු පිරිසටම බව ද අප කිව යුතුය.

අද ක්‍රිකට් තහනම් කර තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනි. ක්‍රිකට් ක්‍රීඩාව අදූෂිත අදේශපාලනීකරණීය එකක් ලෙස පවත්වාගෙන යෑම එම කවුන්සිලයේ වගකීම වේ. එහිදී දේශපාලන අතපෙවීම් මෙහෙයුම් සඳහා ඉඩ නැත. එසේම දූෂණයට ද ඉඩ තිබිය යුතු නැත. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික කීර්තියක් හිමි වූ ප්‍රමුඛ ක්‍රීඩාව ද ක්‍රිකට්ය. 1996 දී ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ඉහළම ගෞරවය වන ලෝක ක්‍රිකට් කුසලානය ලංකාවට ගෙන ඒමට එදා අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායම සමත් වූහ. ලෝක සිතියමේ තිතක් බඳු ලංකාව ක්‍රිකට් ලෝකයේ යෝධයකු වීම කවර අතින් බැලුවත් විජයග්‍රහණයකි. ඒ ක්‍රිකට්වලට ජනතාව ලොල් වීම ද සුවිශේෂ සිද්ධියකි.

ක්‍රිකට්, මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස පිළිගැනීමේ ඉතිහාස කතාව තරමක් දිගය. අතීතයේ එංගලන්තයේ ඉඩම් හිමි රදල ප්‍රභූවරුන්ගේ ක්‍රීඩාවක් ලෙස තිබුණු ක්‍රිකට්, කාර්මික විප්ලවයෙන් පසු සමාජයේ වෙනත් කොටස් කරා ද පැතිර ගොස් ඇත. එහෙත් එය වරප්‍රසාද සහිත පන්තිය සතු බලයත්, ඒ සදාචාර පද්ධතියත් සමග ව්‍යාප්ත වූවකි. බි්‍රතාන්‍ය යටත් විජිතවල ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් පැතිර ගියේ ඉනික්බිතිවය. බටහිර අනුකාරක ප්‍රභූ පවුල්වල සංස්කෘතික විලාසිතා අතර ක්‍රිකට් ක්‍රීඩාව ද විය. ඉංග්‍රීසි කතාකරන ඒ පවුල්වල දරුවන්ගේ සුපිරි ක්‍රීඩාව එදා පන්තිමය හිමිකමක් වී තිබුණි. එය ක්‍රමයෙන් බෞද්ධ හා හින්දු උසස් පාසල්වල ද ප්‍රමුඛ ක්‍රීඩාව බවට පත්විය. කොළඹ බුෂුවා පන්තියට හිමි ඒ වරප්‍රසාදය සාමාන්‍ය පන්තියේ ඉංග්‍රීසි කතා නොකරන දරුවන් අතට පත් වූවා පමණක් නොව ඔවුන්ගේ දස්කම් ද ඉහළ තත්ත්වයක තිබුණි. එසේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම නිසා එහි චර්යාත්මක දුබලතා ද මතුවූවා විය හැකිය. ඒ කුමක් වුවත් අද ක්‍රිකට් පොදු ජනයාගේ විනෝදාස්වාදය උදෙසා තිබෙන ප්‍රමුඛ මාර්ගය බවට ද පත්ව තිබේ. ක්‍රිකට් උන්මාදය නිසා පාලකයන් ජනතාව මුළාවට පත් කළ යුග පවා තිබුණි. ආචාර්ය නන්දා මාලිනීගේ සමාජ ඇමතුම වූයේ රට ගිනිගත් අතරතුරේ පන්දු කෙළින අමනයන්ට සත්‍යය පෙන්වා දීමය. ‘බිග් මැච් පිස්සුව’ වැනි විකාර විලාසිතා පවා ඒ ක්‍රිකට් සංස්කෘතියේ සම්මත වූ දේවල්ය.

මෙසේ පොදු ජන උරුමයක් ලෙස ක්‍රිකට් පත්වුවත් එහි පරිපාලනය තමන් අත රඳවා ගැනීමට ප්‍රාග්ධන හිමිකරුවන් පමණක් නොව දේශපාලනඥයන් ද උනන්දු වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ මුදල්ය. මෙරටේ මෑත කාලීනව ක්‍රිකට් පරිපාලනය කළ අයගේ විස්තර විමසා බලන විට එය තහවුරු වනු ඇත. දේශපාලන පවුල් මෙන්ම ක්‍රිකට් පවුල් ගැන ද අද ඇසෙයි. එපමණක් නොව දේශපාලනයේ තට්ටුමාරු ක්‍රමය ක්‍රිකට් පරිපාලනයේ ද දැකගත හැකිය. ඒ පරිපාලනයේ අතිශය දූෂිත වකවානු ද වූ බව කියති. අද උද්ගතව තිබෙන ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් තිබෙන විවේචන, චෝදනා, මැදිහත්වීම් දෙස බලද්දී පළමුව හැඟෙන කරුණ නම් එයට හිමිව තිබෙන මූල්‍ය වටිනාකම් හෙවත් විශාල මුදල් කන්දරාව නිසා මේ ආරවුල ඇතිවී තිබෙන බවය. එසේම මේ මුදල්, ක්‍රිකට් නිලධාරීන්ගේ අභිමතය පරිදි වියපැහැදම් කළ හැකිය යන ආකල්පය ද ඒ බලධාරීන්ට තිබීම ද තවත් ප්‍රශ්නයකි.

අද තිබෙන ක්‍රිකට් ගැටුම මේ ක්‍රිකට් පරිපාලනය හා ක්‍රීඩා ඇමැති අතර උද්ගතවූවකි. ක්‍රිකට් පාලනය දූෂිත හා අධිපතිවාදී එකක් බවට චෝදනාත් නැඟුණි. පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් විවාදයක් කිරීමට සිදුවූ අතර එහිදී යෝජනාවක් සම්මත වූයේ ක්‍රිකට් පාලකයන් ඉවත් විය යුතු බවටය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ තමන්ට හිමිව තිබෙන නීතිමය බලය අනුව ක්‍රියාකරද්දී ක්‍රිකට් බලධාරීහු අධිකරණ වාරණ ලබා ගත්හ. කොටින්ම පාර්ලිමේන්තුව එකමතිකව සම්මත කළ යෝජනාව ද ඔවූහු තඹයකට මායිම් නොකළහ. එහි අවසානය සනිටුහන් වූයේ ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමෙන්ය. අයවැය විවාදයට සමාන්තරව මෙන් ඒ ක්‍රිකට් තහනම ගැන ක්‍රීඩා ඇමැති හා විපක්‍ෂනායක සජිත් ඇතුළු මන්ත්‍රීවරු ද දිගින් දිගටම ප්‍රශ්න කළහ. මේ තහනම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලකයන්ට චෝදනා එල්ල වෙද්දී, කෝප් කමිටුව ද මේ ගැටුමට මැදිහත් වී, අද එය තවත් අවුලකට නිමිත්තක් වී තිබේ. ඒ කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්වීම නිසාය. එය විශ්වාසභංගයක් බවට පත්වීමේ ලකුණු ද පෙනේ.

ආර්ථිකයට අයි.එම්.එෆ්. ක්‍රිකට්වලට අයි.සී.සී - ඉතින් වැරැද්ද මොකක්ද?

මෙම සඳුදා (20 දා) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා ඇමැති රොෂාන් මෙන්ම විපක්‍ෂනායක සජිත් ද මෙම ක්‍රීඩා තහනම, මෙම පාලක මණ්ඩලයේ පෙලඹවීම නිසා පනවන ලද්දක් බව කියා සිටියහ. ඒ සඳහා අදාළ ලිපි, සාක්‍ෂි ලෙස ද සභාගත කළහ. විපක්‍ෂනායක එහිදී කියා සිටියේ පාලක මණ්ඩලය තම වරප්‍රසාද කඩකර තිබෙන නිසා ඔවුන් වරප්‍රසාද කමිටුව අබියසට කැඳවිය යුතු බවය. ක්‍රීඩා ඇමැතිගේ ලිපිවලින් පෙනී ගියේ ද ක්‍රිකට් සභාපති මෙම තහනම ලැබීමට අසත්‍ය කරුණු දක්වා ඇති බවය. දෙදෙනාගේම චෝදනාව වූයේ එය රටට කළ ද්‍රෝහි ක්‍රියාවක් බවය. එසේම ක්‍රිකට් සභාපතිට ඉහළින් අනුබලයක් හා රැකවරණයක් ලැබෙන බව ද සජිත්ගේ චෝදනාවකි. ඇමැති රොෂාන් ද වරක් පවසා තිබුණේ ජනාධිපති උපදේශක සාගල රත්නායක, ක්‍රිකට් පනත සංශෝධනයක් සඳහා යෝජනා එවූ බවකි. එය විමල් වීරවංශගේ විවේචනයට ලක් වූයේ ඇමැතිට වඩා ඔහුට බලයක් තිබිය නොහැකි බව කියමින්ය. කුමක් වුවත් මේ ක්‍රිකට් ගැටුමේදී ක්‍රීඩා ඇමැති රොෂාන්ට ඇමැතිවරුන්ගේ ඍජු සහායක් නොලැබුණු බව පෙනුණි. ආණ්ඩුව එක් අතකින් ඇමැති රොෂාන්ට සහාය දෙමින් අනෙක් අතින් ඔහුව පස්සට අදින්නේ දැයි අපට ද සැක සිතුණි.

ජනාධිපති රනිල් වෙනම කැබිනට් අනුකමිටුවක් පත්කිරීම ද කැපී පෙනුණි. පොලොන්නරුවෙන් පැමිණි රොෂාන් කොළඹ සුපිරි පන්තියට අභියෝග කිරීම සමහරුන්ට ප්‍රශ්නයක් වූයේ දැයි අපි නොදනිමු. පාර්ලිමේන්තු විවාදයේ සිට අද දක්වාම ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මෙහිදී පය බුරුලෙන් තබා ගිය බව හැඟී යයි. විපක්‍ෂනායක සජිත් ඍජුවම ක්‍රිකට් පාලනයට අභියෝග කිරීම ද ජනාධිපතිගේ සමීපතමයන්ට ප්‍රශ්නයක් වූයේ ද? ක්‍රිකට් සභාපතිගේ පිළිතුරුවල මෙන්ම ඔහුගේ බොහෝ ප්‍රතිචාර වලින් ද ගම්‍ය වූයේ ක්‍රිකට් පාලනය වෙනම සමාගමකට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවත්, ඒවා ප්‍රශ්න කළ නොහැකි බවත් ද යන කුහුල අප තුළ ද වේ. කෝප් කමිටුව අබියස ඔහු තම එතෙර සංචාරවලට එක්කර ගත් අය ගැන කළ විස්තරවලින් ද එය තහවුරු විය.

මෙරටේ ඇතැම් මැති ඇමැතිවරු ද තම භාර්යාවන්, දරුවන්, නෑයන් මෙන්ම හිතවතුන්ට ද ජනතා මුදල් වැය කරන්නෝ බවට විවේචන තිබේ. ක්‍රිකට් බලධාරීන් ගන්නේ ද ඒ හා සමාන මඟකි. ඔවුන් වියදම් කරන මුදල් ජනතාවගේ නොවූවද ඒවා ඔවුන්ට ලැබෙන්නේ ඥාති මිත්‍ර සංග්‍රහවලට ද? මේවා නීතියට එකඟ එහෙත් සදාචාරාත්මක නොවන දේවල් යැයි කිව නොහැකිද? ඇමැති රොෂාන් පවසන ආකාරයටම මේ ආයතනයේ මුදල් ගැන වෝහාරික විගණනයක් කළ යුතුමය. ක්‍රිකට් ගැන කතා කිරීම, පාර්ලිමේන්තුවටවත් නොහැකි යැයි මේ නිලධාරීහු කල්පනා කරත් ද? මෙරටේ මහජන නියෝජිතයෝ ද සමාජයේ බොහෝ ක්‍රියාකාරකම්වලට මැදිහත් වෙති. ඒවාට ද විවේචන තිබේ. එනිසා සද්භාවයෙන් කෙරෙන දේශපාලන විවේචන ජනතාව ද පිළිගනිති. එහෙත් ෂම්මි සිල්වලාගේ ක්‍රිකට් ගැන පාර්ලිමේන්තුවටවත්, ප්‍රශ්න කළ නොහැකි ද? එදා එල්.ටී.ටී.ඊ. ය සටන් කළේ වෙනම රාජ්‍යයක් සඳහාය. උතුරු නැඟෙනහිර පාලනය ද ඔවුන්ගේය. ඒ ප්‍රදේශ හැදින්වූයේ මුදානොගත් ප්‍රදේශ ලෙසය. මේ ක්‍රිකට් පාලනයත් එබඳු මුදා නොගත්, කපුටකුට හෝ උඩින් පියඹා යා නොහැකි නූතන ක්‍රිකට් මහත්වරුන්ගේ අධිරාජ්‍යයක් ද?

මේ වනවිට මෙරටේ ප්‍රභූ පාලනය බිඳවැටෙමින් තිබේ. පැරණි යල්පිනූ ගර්හිත බමුණු කුලය ගරාවැටෙමින් තිබේ. ක්‍රිකට්වල ද ඒ ප්‍රභූත්වයක් අද නැත. එහෙත් අද ඒ වෙනුවෙන් ඔවූහු අභියෝග කරත් ද? ගමින් ආ, මැදි විදුහලෙන්, සාමාන්‍ය පාසලෙන් පැමිණි ඉංග්‍රීසි කතා නොකරන කොල්ලන් ක්‍රිකට් පිටියේ ආධිපත්‍යය රැක ගනිමින් සිටීම මේ අල්පශ්‍රැත, ව්‍යාජ, හිස් හා පුස් ධනපති පන්තියට අත්වී තිබෙන ඛේදනීය පරාජයකි. එහෙත් තවමත් ලණුව තිබෙන්නේ ඔවුන් අත බව අප තේරුම් ගත යුතුය. එපමණක් නොව අපට එරෙහි වුවහොත් ඇමැතිවරයාට පමණක් නොව ආණ්ඩුවට වුවද ඇඩ්‍රස් නැති විය හැකි බව ද ඔවුන් කියන්නේ? ක්‍රිකට් පාලකයෝ ක්‍රීඩා ඇමැතිවරයාට එරෙහිව ලක්‍ෂ තුන් හාරසීය ලෝස් නැතිව නඩුවලට වැය කරතියි ද කියනු ඇසුණි. ඇත්තටම මේ මොන සදාචාරයක් ද නීතියක් ද? අනෙක් අතට මොන තත්ත්වයක් යටතේ හෝ මෙරටේ ක්‍රිකට් තහනම් කරන්නැයි එහි බලධාරීහු කියත් නම් නැතහොත් හඟවත් නම් එහෙව් රටක් ගැන කවර කතා ද? මහත්වරු බල්ල මාක් වී නොසිටිත් දැයි කෙනෙක් ඇසුවහොත් එයට දෙන පිළිතුර කුමක්ද? සත්තකින්ම ක්‍රිකට් තහනමක් ඉල්ලා ඇත්නම් එය රට පාවාදීමක් බව අපි ද නිර්භයව පවසමු.

මව්බිම, උපන්බිම යනු පුද්ගලයකුගේ අභිමානයයි. තම රටට ගරු නොකරන පුද්ගලයා වසලයෙක්, අධමයෙක් බව ද කිව යුතුය. කලකට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළලට සහභාගිවීමට පැමිණි ඇමෙරිකානුවන් එහිදී ජාතික ගීයට හා ජාතික කොඩියට ගරු නොකිරීම නිසා ආපසු ඇමරිකාවට කැඳවනු ලැබුණි. එහිදී තම රටට පදක්කම් අහිමිවීම ගැන සමහරු නොඉවසූහ. එහෙත් ක්‍රීඩා බලධාරීන් ඍජුවම ප්‍රකාශ කළේ තම මව්බිමට ගරු නොකරන අයගේ පදක්කම් කුමකට දැයි යනුවෙනි. මේ අභිමානය ක්‍රිකට් ක්‍රීඩකයන්ට තිබෙන බව නිසැකය. ඔවූහු තම රටේ ජාතික ගීය ඇසෙද්දී ඍජු කයෙන් යුතුව හිස කෙළින් තබා එයට ගරු කරන්නෝය. එහෙත් ඒ ක්‍රීඩාවේ මහත්වරු ලෙස පෙනී සිටින අය තම දේශයට හතුරුකම් කරන්නෝ නම් ඔවූහු යහපත් උතුම් අය සේ ගරු පුද ලැබිය යුතු වෙත් ද? නොඑසේ නම් සිර මැඳුරුවල දඬුවම් ලැබිය යුතු අය නොවෙත් ද? එසේම ක්‍රිකට් පාලනය අල්ලාගෙන සිටින ව්‍යාපාරික පන්තියත් එය දූෂණයෙන් වංචාවෙන් මුදාගෙන යහපත් මැදිහත්වීමක් කිරීමට උත්සාහ කරන ආණ්ඩුවත් දෙකම එක වගේ යැයි විවේචනය කරන අය ද සිටිති. ඇත්තටම අද මේ ක්‍රිකට්වල සිටින සැබෑ මහත්වරුන් වන්නේ ගම් දනව්වල සිට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවට දායකවී රටට ජයග්‍රහණය ලබාදෙන තරුණයන් හා ඒ තරග අතින් මුදල් ගෙවා නරඹමින් ඔල්වරසන් දෙන ක්‍රිකට් ලෝලීන් වන හුදී ජනයාත් පමණකැයි ද සිතේ. ඒ ක්‍රිකට් සංස්කෘතියට අංචි අදින ඩොලර් ලොබින් අයිසීසී එකට ගතු කියන එවුන් මහත්වරුන් වන්නේ කෙසේ ද යන්නත් අපි නොදනිමු.

මේ අතර රටේ ආර්ථිකය මෙහෙයවීම අයි. එම්. එෆ්. ආයතනයට භාර දී තිබේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව අයි.සී.සී. එකට භාර කිරීමේ වරද කුමක් දැයි මේ මහත්වරු තර්ක කරත්දැයි අපි නොදනිමු. ඒ කුමක් වුවත් අද ප්‍රභූ දේශපාලනය මෙන්ම ප්‍රභූන් අතට ක්‍රිකට් පාලනය පත්වීම ද අභියෝගයට ලක්ව තිබෙන බව නම් පැහැදිලිය. එසේම අද ක්‍රිකට් ක්‍රීඩාව යනු යුද්ධයකි. අවසන් වූ ලෝක කුසලාන තරගයේදී අපේ ඇන්ජලෝ මැතිව්ස්ට මුහුණ දීමට සිදුවූ බංග්ලාදේශයේ ක්‍රිකට් නායක අල් හසන්ගේ පසමිතුරු ප්‍රතිචාරය ලොවට කියන්නේ ද තවදුරටත් ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවන බවය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment