විවාහයයි ජ්‍යොතිෂයයි ඔබයි

108

දෙදෙනකු විවාහ වීමට කලින් හඳහන් බලන්නේ අවුරුද්දක් දෙකක් නොව මුළු ජීවිත කාලය ම දෙදෙනාට සතුටින් කල් ගෙවීම සඳහා ය. හඳහන් බලා විවාහ වුණත් සමහර අවස්ථාවලදී විවාහක දෙදෙනා අතර අඬදබර සිදුවන බව පෙනේ. බොහෝ විට ඒ හරියට හඳහන් නොබැලූ නිසා විය හැකිය. සමහර ජ්‍යොතිෂවේදීන් හඳහන් බැලීම යනුවෙන් කරන්නේ පොරොන්දම් බැලීම පමණ ය. පොරොන්දම්වලින් 50%කට වඩා හොඳ නම්, සමහරවිට ඊටත් වඩා අඩු ප්‍රමාණයක් හොඳ නම් එම ජ්‍යොතිෂවේදීහු විවාහය අනුමත කරති. මෙය සම්පූර්ණයෙන් නොමඟ යවන වැරදි ක්‍රමයකි. පොරොන්දම්වලින් ආවරණය වනුයේ විවාහයේ 25%කටත් අඩු ප්‍රමාණයකි. ඒ නිසා මෙම මිථ්‍යාවට ගැති නොවී හරියට ගැළපීම කර විවාහය අනුමත කරමු.

විවාහ ගැළපීම් යනුවෙන් අදහස් කරන්නේ දෙදෙනාට සතුටින් ජීවත් වීමට හොඳ පසුබිමක් සකස් කිරීම ය. මේ සඳහා දෙදෙනාගේ අදහස් ගැළපීම අත්‍යවශ්‍ය වේ. දෙදෙනාගේ අදහස් නොගැළපුණොත් බොහෝ අවස්ථාවලදී මත ගැටුම් ඇති වී වාද විවාද මතුවී සිත් රිදවාගෙන ආදර බැමි බුරුල් වී යන අවස්ථා එමට ය. පෙම් සබඳතා ඇතිකර ගෙන අවුරුදු ගණන් ඇසුරු කර එහෙත් දෙදෙනා පසුව විරසක වන අවස්ථා දැක ගැනීමට ඇත. අදහස් ගැළපෙනවා දැයි බලාගැනීමට කාලයක් ඇසුරු කිරීම සෑහුණත් ලිංගික ගැළපීම නොතිබුණොත් මුලදී ඇතිවන නොරිස්සීම දුරදිග ගොස් සිත් දූෂ්‍ය වී එකිනෙකාට වෛර කරන අවස්ථාවට පත් විය හැකි ය. කාලයක් යන විට දෙදෙනා දෙදෙනාට එපාවී වෙන් වන අවස්ථා සමාජයෙන් දැකිය හැකිය. මේ එපා වීම දවසකින් දෙකකින් ඇති වූවක් නොවේ. ලිංගිකව නොගැළපීම නිසා අප දෙදෙනා වෙන් වෙනවා යයි නොකීවත් සත්‍ය වශයෙන් ම බොහෝ විට සිදුවන්නේ එයයි. විවාහ වී අවුරුදු ගණන් පසු වුණත් දරුවන් හතර පස්දෙනා ලැබෙන තුරු එකට සිටියත් වෙන් වන අවස්ථා සමාජයෙන් දැක ගන්නට ලැබේ. වෙනත් වෙනත් හේතු දෙමවුපියන්ට හා සමාජයට කීවත් සත්‍ය කරුණ ඉහත සඳහන් කරුණම ය. අදහස් නොගැළපීමට වඩා ලිංගික නොගැළපීම බලවත් බව අවංකව බැලුවොත් ඔබත් පිළිගන්නවා ඇත.

මෙතරම් බලවත් මේ ලිංගික ගැළපීම සොයා ගන්නේ කෙසේද? මෙතරම් දියුණු වෛi විiාවෙන් වත් මෙය සොයාගෙන නැත. වෛiවරු තම දරුවන්ට විවාහ සහකරු/සහකාරිය සොයා ගැනීමට ජ්‍යොතිෂවේදීන් කරා එති. මෙම ගැළපීම හරියට කළ හැක්කේ උගත් ජ්‍යොතිෂවේදියකුටම පමණි. බොරු උගත්කමක් පෙන්වන මිථ්‍යා මත දරන කූට ජ්‍යොතිෂවේදීන් කරන බොරුවලට අසුවී තම දරුවන්ගේ ජීවිත කාලකණ්ණි කිරීමට දායක නොවන්න. ලිංගික ශක්තිය වැඩි අයත් අඩු අයත් සිටීම ලෝක ස්වභාවයයි. බුද්ධිමත්කම වැඩි අයත්, අඩු අයත් කාර්යක්‍ෂම ගතිය වැඩි අයත් අඩු අයත්, දක්‍ෂ අයත් අදක්‍ෂ අයත් මේ ආදී වශයෙන් වෙනස් වෙනස් චරිත සමාජයේ ඇත. ලිංගිකත්වය ද එසේම ය. එසේ වුවද මේ අඩු අවස්ථාව හෝ වැඩි අවස්ථාව යන දෙකම වඩා හොඳ හෝ වඩා නරක යයි කියා නම් කිරීම වැරදි ය. ලෝක ස්වභාවය අනුව පිහිටන මෙම සිද්ධීන් එකක්වත් බැහැර නොකළ යුතුය. එහෙත් නොගැළපෙන දෙදෙනකු එක් කළොත් ඒ දෙදෙනාගේ ජීවිත අඳුරු වීම වැළැක්විය නොහැකි ය.

යෝජිත විවාහ හා පෙම් සබඳතාවලින් ඇති වන විවාහ යනුවෙන් විවාහ වර්ග දෙකක් සමාජයේ දක්නට ලැබේ. බොහෝ විට යෝජිත විවාහවලදී හඳහන් බලා දෙදෙනකු එක් කිරීම සිරිතය. බොහෝ දෙමවුපියෝ තම දරුවන්ට ගැළපෙන අයකු තෝරා දීමට උනන්දු වෙති. ගැළපෙන අයකු සොයා දීම දරුවන්ට කරන විශාල සේවයකි. දෙමවුපියන් ද සමහර ජ්‍යොතිෂවේදීන්ට අසුවී රවටන අවස්ථා නැත්තේ නොවේ. ලෝකයේ සිටින සියලුම දෙනා ලිංගික ශක්තිය වැඩි, මධ්‍යම හා අඩු යනුවෙන් වර්ග තුනකට බෙදිය හැකිය. ලිංගික ශක්තිය වැඩි අයකුත් අඩු අයකුත් එක් කිරීම ඒ දෙදෙනා අසහනයට පත් කිරීමකි. බටහිර රටවල ජනයා හා මුස්ලිම් ජනයා හඳහන් බැලීමක් නොකර විවාහ වෙනවා නේදැයි කෙනකුට තර්ක කළ හැකිය. බටහිර රටවල විවාහ බැම්ම එතරම් ශක්තිමත් නැත. අපේ රටේ මෙන් විවාහයේ බැඳීම් නැත. මුස්ලිම් අයගේ නීති තදය. එක් පිරිමියකුට භාර්යාවන් කීප දෙනෙකි. මේවාට හඳහන් බලන්නේ කුමට ද?

විවාහයේදී හඳහනේ හතේ සිටින ග්‍රහයින් අනුව සුදුසු අය තෝරාගත යුතුය. හතේ රවි, කුජ, රාහු සිටින අය ලිංගික ශක්තිය වැඩිම අයයි. ඔවුන් විවාහ ගනුදෙනු කළ යුත්තේ එම ග්‍රහයින් හතේ සිටින අය අතරයි. එහෙත් හතේ රාහු සිටින අය මෙයින් අස්කළ යුතුය. ඒ රාහුගේ වෙනත් ක්‍රියාකාරකම් නිසාය. රාහු හතේ සිටින අයකු විවාහ විය යුත්තේ රාහු හතේ සිටින අයකු සමගමය. වෙනත් අයකු හා විවාහ වුණොත් ඒ විවාහය අසාර්ථක වනු ඇත. ස්ථිරවම හෝ වරින් වර වෙන් වීමට සිදුවේ. යම්කිසි අයුරකින් වෙන් නොවී සිටීමට සිදු වුණොත් සතුට පලා යනු ඇත. හතේ රවි, කුජ සිටින අය එවැනිම අයකු විවාහයට තෝරාගත යුතුය. තවද අනෙක් හඳහනේ හතේ කුජ හෝ රවි සිටියදී හත්වන රාශිය මේෂ, වෘශ්චික හෝ සිංහ යන රාශිවලින් එකක් වන අය ද ඒ අයුරින් ම ගැළපේ. මෙසේ බලන්නේ හතේ කිසිම ග්‍රහයකු නැති විටයි. (හතේ කුජ බලවත් නොවුණොත් හෝ ගුරුට නොපෙනෙන තැනක සිටියොත් භෞම දෝෂ ඇති වේ.

හතේ ගුරු, ශනි හෝ කේතු සිටින අය ලිංගික ශක්තිය අඩුම ගණයට වැටේ. එහි කිසිම වරදක් නැත. හරියට ගැළපීම කළ යුතුය. එවැනි අය සඳහා හතේ එම ග්‍රහයකු සිටින අයකු ම තෝරාගත යුතුය. නැත්නම් හතේ කිසිම ග්‍රහයකු නැතිව තිබියදී හත්වැන්න මකර, කුම්භ, ධනු, මීන යන රාශිවලින් එකක් විය යුතුය.

මධ්‍යම ප්‍රමාණයේ ලිංගික ශක්තීන් ඇති අය වනුයේ හඳහනේ හතේ චන්ද්‍රයා, බුධ හෝ සිකුරු සිටින අයයි. එවැනි අයට හතේ එම ග්‍රහයකු සිටින අයකුම ගැළපේ. හතේ කිසිම ග්‍රහයකු නැතිව හත් වැන්න කටක, මිථුන, කන්‍යා, වෘෂභ, තුලා යන රාශිවලින් එකක් වන අයකු ද ඒ අයුරින්ම ගැළපේ.

විවාහ ගැළපීමේදී තවත් සැළකිය යුතු කරුණු කීපයක් ඇත. කෙනකුගේ හඳහනේ කුජ සිකුරු යෝගයක් තිබේ නම් අනිවාර්යයෙන්ම අනෙක් හඳහනේ ද කුජ සිකුරු යෝගයක් තිබිය යුතුය. මෙම යෝගය අතිධාවන කාම යෝගයක් ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. අතිධාවනයට අතිධාවන අයකු ම සිටිය යුතුය. ලිංගික ශක්තීන් ගැන නොකියවෙතත් එක් හඳහනක කුජ ශනි යෝගය තිබේ නම් අනෙක් හඳහනේ ද කුජ ශනි යෝගය තිබිය යුතුය. ඒ දෙදෙනාගේ අදහස් හා ගති පැවැතුම් සමාන වීම සඳහා ය. මෙම යෝගය ඇති අයකුත් නැති අයකුත් එක් වීම ද දෙදෙනාගේ අභාග්‍යයකි.

සිකුරු නීච වී ඉපදුණු අය විවාහයට දක්වන්නේ සාමාන්‍ය කෙනකු දක්වන ඇල්මට වඩා අඩු ප්‍රමාණයකි. ඔවුන්ගේ විවාහය කල් යෑමට ද හේතුව එයයි. සිකුරු බලවත් අයකු සිකුරු නීච අයකු හා විවාහ වුණොත් එය බලවත් නොගැළපීමකි. සිකුරු නීච අයකු විවාහයට එවැනිම අයකු තෝරාගත යුතුය. ශාරීරිකව හා මානසිකව ගැළපෙන්නේ එවිටය. කුජ කේතු යෝගය මිනිසා විවාහයට අයෝග්‍ය අයකු කරයි. එහෙත් අද සමාජයේ මෙම කරුණු නොසළකා දෙමවුපියන්ගේ හා සමාජයේ අවශ්‍යතාවයට විවාහ වී ජීවිත කාලයම දුක් කරදර විඳින අය සිටිති. මෙම පිහිටීම් දරුවන් ලැබීමට බාධාවක් නොවේ. එහෙත් සතුටින් සිටීමට නම් බාධාවකි. දරුවන් ලැබීමෙන් පසු ද මෙවැනි අය අතහැර දමා යන සැමියන්/භාර්යාවන් සිටින බව සමාජයෙන් පෙනේ. සමහරවිට මේ අවමානය මකා ගැනීමට තවත් විවාහයක් කර ගන්නා අය සිටිති. එයින් වනුයේ තවත් අයකු කරදරයට පත් කිරීමකි.

කලියුග කාලයේ විවාහ ගැළපීම් කරන අලුත් ක්‍රමයක් ඇත. වැඩිපුර බටහිර රටවල කෙරෙන මෙම ක්‍රමය දැනට ලංකාවේ ද ජනප්‍රිය වෙමින් පවතී. එය Living together හෙවත් එකට ජීවත් වීමයි. ලංකාවේ පවතින නීති හා සම්ප්‍රදායන්ට පයින් ගසා ස්ත්‍රී පුරුෂ දෙදෙනකු විවාහ නොවී එකට ජීවත් වී, හොඳ නම් විවාහ වීමත් නරක නම් අතහැර දැමීමත් මෙහි අරමුණයි. ලංකාවේ සංස්කෘතියෙන් පමණක් නොව ජ්‍යොතිෂයෙනුත් මෙම ක්‍රමය සම්පූර්ණයෙන් බැහැර කරනු ලැබේ.

එඩී කරුණාතිලක
විශ්‍රාමලත් විදුහල්පති,
සාම විනිසුරු,
38/20, වීරක්කොඩි මාවත,
මහරගම.
ටෙලි.0717004360

advertistmentadvertistment
advertistmentadvertistment