සාරතීගේ වැඩවලට බාධා එපා දයාසිරිට උසාවියෙන් වාරණ 2 ක්

213

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට එම ධුරයේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදුකිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන හා වැඩබලන ලේකම්වරයා විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ පුලස්ති රූබසිංහ මහතා සමග පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා ලබන 22 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කළේය.

එයට අමතරව එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම වළක්වාලමින් ද තවත් වාරණ නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා ලබන 22 වැනිදා අධිකරණය හමුවට එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතිසි යැවීමට ද නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විත්තිකාර දයාසිරි ජයසේකර මහතා සිය ලේකම් ධුරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත පිළිබඳව තීන්දුවක් ලැබීමෙන් පසුව එම ලේකම් ධුරයේ කටයුතු කිරීමට සූදානම් බවට සාවද්‍ය තොරතුරු පතුරවන බව පෙන්වාදෙමින් මෛත්‍රිපාල සිරිසේන හා සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා එම පෙත්සම ගොනු කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment