ඉලක්කයට වෙඩි තැබීම

1206

අපේ ජනබල පක්ෂයේ අයිතිකරු වූ සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු බෙලිඅත්තේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හටගත් අභිරහස යම් ප්‍රමාණයකින් ලිහිල් වී ඇති බව පෙනේ. මත්ද්‍රව්‍යය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත, දැනට සෞදි අරාබියේ සැඟව සිටින කොස්ගොඩ සුජී නමැති මහ කුඩ්ඩාගේ විධානයන් මත බූස්සේ හර්ෂ නමැති අපරාධකරු මේ ඝාතනය මෙහෙයවූ බව දැනගන්නට තිබේ. බූස්සේ හර්ෂ සිටින්නේද පිටරටකය.

කොස්ගොඩ සුජී මේ මිනී මැරුම් කොන්ත්‍රාත්තුව බූස්සේ හර්ෂට දෙයි. හර්ෂ එම කොන්ත්‍රාත්තුව මෝල් අසංක ලෙස ප්‍රසිද්ධ ඉන්දික අසංක කුමාරට භාරදෙයි. මෝල් අසංක වූකලී යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු වන අතර අංක එකේ වෙඩික්කරුවෙකි. පාතාල නායකයන් කිහිපදෙනකුගේම කුලී වෙඩික්කරු ලෙස මෝල් අසංක කටයුතු කර ඇත. මෙබඳු කුලී මිනී මැරුමක් සඳහා රුපියල් මිලියනයක් හෝ ඊට වැඩි මුදලක් අය කෙරේ. සමූහ මිනීමැරුමකට නම් රුපියල් කෝටියකට කිට්ටු ගාස්තුවක් අයකරන බව දැනගන්නට ඇත. හැබැයි, මේ වැඩේ normal කුඩ්ඩකු ලවා රුපියල් දහ දාහකටත් කරවිය හැකිය. එකම ප්‍රශ්නය වන්නේ මිනී මැරුම සිදුකර විනාඩි 15 ක් ගතවීමටත් කලින් කුඩ්ඩා අත්අඩංගුවට පත්වීමය. මෝල් අසංක වැනි පළපුරුදු කුලී වෙඩික්කරුවෝ එසේ නොවෙති. ඔවුන් මිනීමැරුමක් කළ පසු සමහරවිට කවදාවත් පොලිසියට හසුවන්නේ නැත. නොඑසේ නම් ඔවුන් අත්අඩංගුවට පත්වන්නේ වෙඩි තැබීම් මාලාවක් සිදුකිරීමෙන් පසු අන්තිමටය. විජය කුමාරණතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හර්ෂ අබේවර්ධන පසුව එම තනතුරට පත්වූ නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු පනහකට කිට්ටු පිරිසක් ඝාතනය කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කුලී හේවායකු වූ ටාසන් රණසිංහ පොලිසියට අසුවන්නේ පෙරකී ඝාතන වලින් සෑහෙන කලකට පසුවය. 88, 89 භීෂණ කාලයේ සිටි පොලිස් ප්‍රධානියකු වන රොනී ගුණසිංහ රිමාන්ඩ් භාරයේ සිටි හෝ CID යේ රඳවාගෙන සිටි ටාසන් රණසිංහ රැගෙන ගිය බවත් ඉන්පසු ටාසන් රණසිංහ ගැන කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවත් දැනගැනීමට ඇත. කොහේ හෝ කැලෑ රොදකට කැටුව ගිය ටාසන් රණසිංහ ඝාතනය කරන්නට ඇති බව ජනප්‍රිය මතය වේ. ඉන්පසු ඔහුගේ සිරුර පුළුස්සා දමන්නට ඇත. ජනාධිපති ප්‍රේමදාස ඝාතනයට ලක්වූ මැයි දින බෝම්බයට අසුවී රොනී ගුණසිංහද මළේය. රොනී ගුණසිංහ කිට්ටුවෙන් ඇසුරු කළ සිරිසේන කුරේද මිය ගොසිනි. ඒ නිසා ටාසන් රණසිංහ පිළිබඳ සිද්ධිය කවදාවත් එළිනොවනු ඇත.

88, 89 භීෂණ යුගයේදී නාඳුනන තුවක්කුකරුවා යනුවෙන් සංකල්පයක් මේ රටේ බිහිවිය. එය unidentified gunman යන ඉංග්‍රීසි හැඳින්වීම් පදයේ සිංහල පරිවර්තනයකි. පසුකාලයේදී පැමිණි සුදු වෑන් මෙන් මේ නාඳුනන තුවක්කුකරුවාද වාතයක් බවට පත්විය. 88, 89 භීෂණයේදී වීරඟුල පොලිසියේ OIC සහ රජයේ භීෂක කල්ලියක් විසින් පැහැරගනු ලැබූ ජ.වි.පෙ සැකකරුවන් එකොළොස්දෙනකු පිළිබඳ සිද්ධිය 1990 න් පසුව උපන් නූතන පරම්පරාව නොදනී. පැහැරගත් එකොළොස්දෙනා අතර තරුණියකද සිටියාය. මේ පිරිස වවුල්කැලේ නමැති කැලෑ රොදට රැගෙන ගිය භීෂකයෝ තරුණිය දූෂණය කර මරා සෙසු තරුණයන්ටද වෙඩි තැබූහ. එහිදී එක් තරුණයෙක් බේරුණු අතර ඔහු කැලෑව දිගේ බඩගාගෙන ගොස් ප්‍රදීප් හපන්ගම නමැති දේශපාලනඥයාගේ ගෙට රිංගා සියලු විස්තර එළි කළේය. ප්‍රදීප් හපන්ගම මේ පුවත මුළු රටටම දුන් බැවින් වීරඟුල පොලිසියේ OIC ගේ වැඩ තහනම් කර නඩු පවරන ලදී. මේ නඩුවට පෙනී සිටීම සඳහා OIC සහ ඔහුගේ මාමණ්ඩිය ගම්පහ උසාවියට ගොස් සිටින විට එහි කඩාවැදුණු නාඳුනන තුවක්කුකරුවෙක් මේ දෙදෙනාටම වෙඩි තබා මරා කටුනායක ගුවන්තොටුපළට ගොස් ජපානයට පැන ගත්තේය. ඒ තුවක්කුකරු අදටත් ජපානයේ ජීවත්වනවා විය යුතුය. එසේම ස්ත්‍රී දූෂකයන්ට සහ අපරාධකරුවන්ට වෙඩි තබමින් ගතකළ තම තරුණ විය ගැන අභිමානයක් ඔහුගේ සිතේ ඇතිවනවා වීමටත් පුළුවන. එහෙත් නාඳුනන තුවක්කුකරු යනු දුටු තැන මරාදැමිය යුතු භයානක ජීවියෙකි. ඔහු එන්නේ යුක්තිය උදෙසා ද නැත්නම් අයුක්තිය උදෙසාද යන ප්‍රශ්නය මෙතනදී මතු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ යුක්තිය පසිඳලනු ලබන්නේ උසාවිය මගිනි. ඒ සඳහා අතහිත පොලිසියෙනි. එබැවින් තුවක්කුකරුවන්ගෙන් වැඩක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment