ජැකලින් චූදිතයෙක් වෙයි

510

දිල්ලි අධිකරණයේ විභාග වන මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකු ලෙස රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.

රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් මුදල් ලබා ගැනීම පිළිබඳව පාතාල නායකයකු සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ එක් චූදිතයකු ලෙස රංගන ශිල්පිනී ජැකලින් නම් කර තිබේ.

මෙම නඩුවේ විමර්ශන කටයුතු කරන ඉන්දීය බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දිල්ලි අධිකරණයට ගොනු කරන චෝදනා පත්‍රයේ මෙම නිළිය විත්තිකරුවකු ලෙස නම් කර ඇත. මීට පෙර, දිල්ලි පොලිසිය විසින් චන්ද්‍රශේකර් අත්අඩංගුවට ගෙන තිබුණේ ඖෂධ නිෂ්පාදන සමාගමකින් කෝටි 215ක පමණ මුදලක් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ පළමු චෝදනා පත්‍රයේ සඳහන් වූයේ චන්ද්‍රශේකර් කප්පම් ගත බව කියන මුදල් භාවිතා කළ ආකාරයයි. එහි පරිපූරක චෝදනා පත්‍රයේ චෝදනා කර ඇත්තේ චන්ද්‍රසේකර් විසින් තම හිතවතිය වූ රංගන ශිල්පිනී ජැකලින්ට රුපියල් කෝටි 5කට වඩා වටිනා තෑගි ලබා දුන් බවයි. එම අපරාධයේ ආදායමෙන් තෑගි මිලදී ගත් බව ඇය දැන සිටි බවට චෝදනා කරමින් එහි මෙම නිළිය චූදිතයකු ලෙස නම් කර ඇත.

“සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් ෆර්නැන්ඩස්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් රුපියල් කෝටි 5.71 ක විවිධ තෑගි ලබා දී ඇත. චන්ද්‍රසේකර් විසින් එම ත්‍යාග ලබාදීමට මෙම නඩුවේ සම චූදිතයා වූ පිංකි ඉරානි යොදවා තිබුණි” යනුවෙන් චෝදනා පත්‍රයේ සඳහන් වන බව ඉන්දීය මාධ්‍ය කියයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment