රජයේ සේවකයන්ගේ වැටුප් රු. දසදහසකින් වැඩි කිරීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

41

අයවැය තනිකරම ඇස්බැන්දුමක් 2022 අයවැයට කියූ දේවල් කිසිවක් ඉෂ්ට නොකර මේ පාරත් ඒවම කියනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රට කඩා වැටීමට වගකිව යුත්තේ පොදුජන පෙරමුණයි – රංජිත් මද්දුම බංඩාර (සජබ)

යල්පැනගිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි – ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි

හැම ආණ්ඩුවක්ම අයවැය හදන්නේ මැතිවරණයට රුකුලක් ලෙසයි – ගාමිණි ලොකුගේ (ශ්‍රීලපොපෙ)

මුදල් සොයන හැටි ආණ්ඩුව රටට කිව යුතුයි – මහාචාර්ය චන්න ජයසුමන (ශ්‍රීලපොපෙ)

වගකීම් පැහැර හැරියොත් 225ටම ගුටිකන්න වෙනවා – වජිර අබේවර්ධන (එජාප)

රාජ්‍ය සේවකයන් බහුතරයක් රැකියාවලින් ඉවත් කරාවි සහ ඔවුනට මාසික වැටුප් ගෙවීමට නොහැකිවේ යැයි මත පළවෙද්දී මෙවර අයවැයෙන් රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (16දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව පෙරේදා පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. අනතුරුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසනු ලබන ප්‍රශ්න සහ 27/2 යටතේ විශේෂ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඒවාට අදාල ඇමැතිවරු පිළිතුරු සැපයූහ. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය තුන්වෙනි දිනට ආරම්භ කෙරිණි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ආණ්ඩුව අලුතෙන් ඇමැතිතුමාලා සමග දිවුරුම්දීමෙන් පසු ඒ අභියෝගයට මුහුණ දෙන දුෂ්කර කාල පරිච්ඡේදයක් අපි ගත කළා. අප වෙත නොවේ අපට වැඩිය අපේ රටේ ජනතාව. නමුත් මා ඉතාම විශ්වාසයෙන් යළිත් සඳහන් කරනවා, දැන් අපි ඉන්නේ ස්ථාවරභාවය සහ වර්ධනය කියන ගමන් අවස්ථාවකට පැමිණෙන්න පුළුවන් තත්වය සකස් කරගෙන. එය මා විතරක් නෙවෙයි ජාත්‍යන්තර හා අපේ රටේ මේ ක්ෂේත්‍ර කරුණු සමීක්ෂණය කරන සෑම ආයතනයක්ම ද ප්‍රකාශ කර තිබෙනවා. මා මුලින්ම අප රට ගොවි ජනතාවට යළිත් වරක් ගිය වසරේත් අපි විශ්වාසය තිබ්බා ගොවි ජනතාව කෙරෙහි, මේ අර්බුදකාරී කාලයේත් විශ්වාසය තිබ්බා, ආහාර අස්වැන්න ලබා දීමට පුළුවන් කමට ගොවි ජනතාවට පැමිණෙන්න පුළුවන් වුණා. ඒ සඳහා ඇති කළ සහයෝගයන් මධ්‍යයේ. එය ජාතියට විශාල රුකුලක් වුණා. ජාත්‍යන්තර සාකච්ඡාව තිබුණේ ආහාර දුර්වලවී අපි භායානක සාගින්නකට මුහුණ දෙනු ඇතැයි කියා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ අනිත් ක්ෂේත්‍ර ජනාධිපතිතුමා අය වැය ලේඛනය ඉදිරිපත් කරනකොට කිව්වා, ඒ ආකාරයෙන්ම යථා තත්ත්වයට ගේන්න හා ජාත්‍යන්තර විශ්වාසය ඇති වුණා.

අපි ආරම්භ කරපු මූලික සාකච්ඡාවට ජාත්‍යන්තර ප්‍රජාව සමග ඊට සහයෝගය දුන්නු සියලු ආයතන අයිඑම්එෆ්, ලෝක බැංකුව ඒ සියලු ආයතන හා විශේෂයෙන් ඉන්දියාව, මහජන චීනය, ජපානය හා පැරිස් ක්ලබ් මෙම්බර් ඒ වාගේම වෙනත් ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි යළි හිස එසවිය හැකි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් විශ්වාසය පළ කළා. ඒ විශ්වාසය පළ කිරීම නිසා ජාත්‍යන්තරව අපි මුහුණ දෙමින් තිබුණු මූල්‍ය හා අපට අවශ්‍යව තිබුණු සහයෝගය වර්ධනය කරගන්න පුලුවන්කමට අපි පැමිණියා. ඒ නිසා ඒ කාරනාවල් පසුබිම් කරගෙන තමයි අපි අද මේ අයවැය ලේඛනයන් සාකච්ඡා වෙන්නේ. කිසිම රාජ්‍ය සේවකයෙක් අපි රැකියාවලින් දොට්ට දැම්මේ නෑ. අයින් කළේ නෑ. එය සම්ප්‍රදායට බලාපොරොත්තු වුන දේ නෙවෙයි, බලාපොරොත්තු වුණ දේ තමයි විශාල ප්‍රමාණයක් දහතුන් ලක්ෂයෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවයි. පඩි ගෙවන්න බැරි වෙයි කියන ප්‍රශ්නය.

විශේෂයෙන් ජීවන වියදම. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ 10,000කින් එය වැඩිකරලා තිබෙනවා. මේ අමාරුකම් මධ්‍යයේ මූල්‍ය කළමනාකරණයේ තිබෙන අභියෝග ජයගනිමින් තමයි මෙය කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු අයවැය ලේඛනය සාකච්ඡා කරන වෙලාවේ මා විශේෂයෙන් අපේ රටේ වැඩකරන ජනතාවට සම්බන්ධ මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය සේවකයින් 13 ලක්ෂයක්, ඒ වගේම අස්වැසුමින් තුන්වරක් මේ ප්‍රමාණය වැඩි කරන කොට, ඒ වාගේම අපේ රටේ අනිත් ක්ෂේත්‍ර මෙයට අන්තර්ගත වෙනවා. අස්වැසුම කිව්වහම විශාල ක්ෂේත්‍රයක්. වැඩිහිටියන්ගේ දුර්වල කොටස් විවිධ ආබාධිතයන්, ඒ වාගේම වකුගඩු රෝගාතුරව සිටින අය, ඒ වාගේ විශාල කොටසකට මේ සහන දෙනවාට ඔබලා විරුද්ධ ඇයි? ඔබලා මේවා අනුමත කරනවා නම් මේ ජාතක පාර්ලිමේන්තුවේ හැසිරෙන ජාතික විශේෂ අවස්ථාවකදී හැසිරීමයි. එසේ නොකොට කිසිවක් වෙන්නේ නෑ කියන කතාව අසත්‍ය බව ප්‍රකාශ කරන්න කැමතියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

ඇත්ත වශයෙන්ම මා සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ සමජීවී කතා ආශ්‍රිතව කතාව පටන් ගැන්ම ගැන. සමජීවී කතාවල සඳහන් වෙනවා ආදායමට සමාන ජීවිකාව ගැන. හැබැයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉතුරු ධර්ම 3 ගැන එතුමා කිව්වේ නැහැ. ඉතුරු ධර්ම 3 ගැන කිව්වොත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ආණ්ඩුවත් අමාරුවේ වැටෙනවා. දැන් බලන්න බාල ඖෂධ ඇතුළු රාජ්‍ය පාලනයේ දුර්වලතා හේතුවෙන් ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම මේ අයවැය ගැන අගමැතිතුමා බොහොම ලස්සනට කතා කළා. අපේ විශ්වාසය තහවුරු කරන අයවැයක් කියලා. දැන් කොහොමද විශ්වාසය තහවුරු වෙන්නේ මීට පෙර ජනාධිපතිවරයා කියපු කතාවල් ක්‍රියාත්මක නොකර ආපහු මේ අයවැය කතාවේ කියනවා. 2022 අගෝස්තු 3 වැනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දෙන බව. එහෙම කියල දැන් ඒක ආපහු කියනවා. 2023 ජනවාරි 17 කියනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 1996 ඉදිකර නොමිලේ දෙනවා කියලා. බිලියන 10ක් වෙන් කරනවා කියනවා. එහෙම කියාල ආපසු කියනවා නාගරික වැඩසටහන් යටතේ ඉදි කරන ලද නිවාසවල පුර්ණ අයිතිය එම පවුල්වලට දෙනවා කියලා. මම කියන්නේ වැඩේ කෙරෙනවා නම් හොඳයි. රබන් ගහන්න කලින් කිරිබත් කන්න කලින් ජය ඝෝෂා නංවන්න පෙර ජනාධිපතිතුමා ඉස්සෙල්ලා කියලා කතා ටික ක්‍රියාත්මක කරලද නැද්ද ගැන හොයල බැලුවොත් හොඳයි. උතුරේ විසඳිය යුතු ඉඩම් ප්‍රශ්න ඇතුළු සංවර්ධන කාර්ය පිළිබඳ අලුතින් සිතා බලා කටයුතු කරනවා. ඒත් මොනවත් කළේ නැහැ. ඒත් දැන් කියනවා උතුරු නැගෙනහිර අවතැන් ජනතාව සඳහා නිවාස සහ අත්‍යාවශ්‍ය සහන ලබා දෙනවා කියලා. ඒක අලුත් තීන්දුවක්ද කියල හොයල බලන්න.

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කරනවා කියලා දෙසැම්බර් 17 කියනවා. මොනවත් වෙන්නේ නැහැ. ජාතික ඵලදායි කොමිසමක් පිහිටුවනවා කියලා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. 2022 දෙසැම්බර් 17 අයවැයෙන්. මොනවත් වුණේ නැහැ. ආපසු මේ පාරත් අයවැයට ඒක දානවා. මේ පාර මිලියන 150ක් වෙන් කරනවාලු. මේ කාවද රවට්ටන්නේ. මේක හරි විහිලුවක්නේ. ලක්ෂ 220ක් මෝඩයෝ නොවෙයි. එහෙම හිතලද අයවැය කතාව කියෙව්වේ. 2022 දෙසැම්බර් 14 කියනවා මිරිදිය ධීවර කර්මාන්තයට පහසුකම් සැලසීමට මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල ධාරිතාව වර්ධනයට රුපියල් මිලියන 100ක් වෙන් කරනවා කියලා. ඇමතිවරයාත් දැන් ඉන්නවා. මොනවත් කළේ නැහැ. මුකුත් නොකර මේ පාර අයවැයට දානවා මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනයට මිලියන 200ක් වෙන් කරනවා කියලා. ඒ වගේම ආපහු කියනවා විදේශ රැකියා සඳහා තරුණයන් පුහුණු කිරීමට ජාතික තරුණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50ක් වෙන් කරනවා කියලා. ඒක කළේ නැහැ. මෙදා පාර කියනවා පුහුණු පාඨමාලා නවීකරණය කිරීමට පදනම් ආයතනයට මිලියන 150ක් වෙන් කරනවා කියනවා. මොන බොරුවක්ද? කෘෂිකාර්මික නවීකරණ කටයුතු සඳහා 2023 පෙබරවාරි 8 කියනවා තාක්ෂණික පහසුකම් දෙනවා කිව්වට කළේ නැහැ. මේ පාර කියනවා වී නිෂ්පාදනය ඉහළ නැංවීමට කෘෂිකාර්මික කේන්ද්‍රස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට මිලියන 2500ක් වෙන් කරනවා කියලා. බිලියන 2.5ක්. කාවද මේ රවට්ටන්නේ. ඇස්බැන්දුම් කතා මේ. මේක මේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ ඇන්දවිල්ල. ජනතාව ඇන්දවිල්ල.

වනජීවි සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි :

අද අපේ තරුණ පරපුර වසර 70ක දේශපාලන ශාපය ගැන කතා කරනවා. නමුත් දන්න විදියට පාර්ලිමේන්තුවේ සියලුදෙනා විවිධ ක්‍රමවලින් ඉකුත් වසර 70දි බලය භුක්ති වින්දා.

වසර 70ක කාලය තුළපාර්ලිමේන්තුව ගත් තීන්දුවල දුර්වල පැති ගැන අපි සලකා බැලිය යුතුයි. මාරුවිය යුත්තේ සම්ප්‍රදායික දේශපාලනඥයා පමණක් නොව යල්පැනගිය දේශපාලන ප්‍රතිපත්තියි.

නව සංවර්ධන මාර්ගයක් දෙසට අයවැය දක්වා ඇති ප්‍රවේශය අගය කළ යුතුයි. රාජ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරගෙන බදුබර අඩු දෙසට රට රැගෙන යමින් ඩිජිටල්කරණයට වැඩි බරක් දීමත් කළ යුතුයි. රුපියල් බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙන් කිරීම අගය කළ යුතුයි.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර (සජබ) :

පසුගිය වසර 74ක ආර්ථිකය සෘණ වුණේ අවස්ථා 3කයි. 1971 ශ්‍රීලනිප පාලනය. 2001 පොදුජන පෙරමුණු පාලනය හා 2021 පොදුජන පෙරමුණ පාලනයයි. රට වැටුණේ නම් වගකිව යුත්තේ ශ්‍රීලනිපයෙන් පැවත එන කණ්ඩායමයි.

1948-1994 යුගයේ කර්මාන්තපුර, අපනයන කලාප, ඇඟලුම් කර්මාන්ත, වැව්අමුණු, කෘෂිකර්මාන්තය දියුණු වුණා. 94න් රට භාරදෙන විට ණය සියල්ල ගෙව්වා. ජනතාවගේ ජීවන තත්ත්වය හොඳට ගියා. 94 සිට 2022 යුගය තෙක් අපේ ජනපතිවරයෙක් හිටියේ නෑ. රට කඩා වැටීමට පොදුජන පෙරමුණ කණ්ඩායම වගකිව යුතුයි.

පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන (එජාප) :

පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ වැඩ හැරෙන්න අනිත් හැම දෙයක්ම කරනවා. ස්ථාවර නියෝගවල පැහැදිලිවම තියෙනවා කිසිම මන්ත්‍රීවරයකු අධිකරණයේ විභාග වන කරුණු ගැන සඳහන් නොකළ යුතුයි කියලා. ඒත් අපි මොනවද කරන්නේ. තවම 225 උත්සාහ කරන්නේ බෙදෙන්න වෙන්වෙන්නයි. අපි එක්වෙලා කුමක්ද කළ යුත්තේ කියලා තවම හිතන්නේ නෑ.

වැටුණු රට ගොඩ ගන්න ජනපති උත්සාහ කරන්නේ. ඔහු පොහොට්ටුවේ මුදල් ඇමති හෝ කාගෙවත් මුදල් ඇමැති නොවෙයි. එජාප නායකයා වුණාට ජාතික නායකයෙක් ලෙස කටයුතු කරනවා. මේවා අමතක කරලා දැන් ක්‍රියා කරනවා.

මේ අයවැය ජාත්‍යන්තරයට ඉදිරිපත් කළා. එය ඔවුන් පිළිගත්තා. යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අපේ වගකීම් පැහැර හැරියෙත් 225ටම ගුටිකන්න වෙනවා.

2000 දී ආර්ථිකය වැටුනම 2001 දී රට භාරගෙන අභියෝගය ජයගත්තා. එදා අලුතෙන් මන්ත්‍රීවරුන් 60කට වැඩිය පාර්ලිමේන්තුවේ හිටියා. 2004 දී ඒ සියල්ල පැරදුනා. අදත් ඒ තත්වයමයි. නවක මන්ත්‍රීවරු 83ක් දෙපැත්තෙනම ඉන්නවා. ඔවුන් අද අභියෝගවලට මුහුණදීලා. අපි ආපසු බෙදුනොත් අපි විනාශ වේවි. එක් වුණොත් ආරක්ෂා වේවි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ :

මේ අයවැයෙන් හොඳ යෝජනා රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රට ගොඩගන්න වැඩපිළිවෙළකට යායුතුයි. තිත්ත කසාය බොනවා වගේ වැඩක් අද තියෙන්නේ. රාජ්‍ය සේවයට වැටුප් වැඩිවිය යුතුයි. සමහරු කියනවා මැතිවරණය ලංවෙනවා කියලා. හැම ආණ්ඩුවක්ම මැතිවරණයට රුකුලක් ගේන්න තමයි අයවැය හදන්නේ. මහජනයා අද මේවා පිළිගන්නේ නෑ.

2019 ජනාධිපතිවරණයෙදිත් ඉල්ලීම් දුන්නා. ඒත් ජනතා ජනවරම ලැබුණේ නෑ. ජනතාව දැනටමත් තීරණය කරලා ඇති කාටද ඡන්දය දෙන්නේ කියලා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන (ශ්‍රීලපොපෙ) :

රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට මාසිකව බිලියන 93ක් වැයවෙනවා. වැඩි වූ පඩියට බිලියන 13ක් මාසිකව අවශ්‍යයි. වැටුප් වැඩිකිරීම හැරෙන්න අනෙකුත් ප්‍රතිලාභ දෙන්න ශක්තියත් ආණ්ඩුවට තියේවි යැයි සිතන්න බැහැ. මුදල් හොයාගන්නේ කොහොමද කියලා රටට ආණ්ඩුව කිව යුතුයි.

ඩීසල් හා පෙට්‍රල් සඳහා ජනවාරි මස 01 වැනිදාසිට වැට් බදු අයකරනවා කියලා ආරංචියි. එහෙම වුණොත් තෙල්මිල වැඩිවෙනවා.

නව වෛද්‍ය පීඨ කිහිපයකට යෝජනා තියෙනවා. රජරට, නැගෙනහිර, වයඹ හා සබරගමුවේ වෛද්‍ය පීඨ දැනට තියෙනවා. ඒවා පවත්වාගෙන යෑම දැඩි ලෙස අසීරුවෙලා. ආචාර්යවරු නෑ. උපකරණ මිලදී ගැනීමට මුදල් නෑ. ඒවා ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල :

ජනාධිපතිතුමා අනාවැකියක් පළ කළොත් බොහෝවිට සිදුවෙලා තියෙන්නේ එහි අනිත් පැත්ත. සුරංගනා කතාවක් කියවනවා වගේ අයවැය කියද්දීමට රට ගැන මහා බියක් දැනුණා. මේ අර්බුද එන බව කලින්ම මම කිව්වා. එදා ජනාධිපතිට මම මේ ගැන සාකච්ඡාවක් ඉල්ලුවා. ආර්ථික ප්‍රධානීන් රැසක් මැද කතා කළා. ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි කියලා මම කිව්වා. එහිදී ඔවුන් කිව්වේ අපි ළඟ දේශීය විසඳුමක් තියෙනවා කියලයි.

අද ඉන්දියාව ලොව 4 වන බලවතා බවට පත් වෙමින් ඉන්නේ. හතරගාතෙන් 90 දශකයේ ඇදවැටිලා හිටිය ඉන්දියාව අර්බුදය ආශිර්වාදයක් කරගෙන නැගිට්ටා. රුසියාවත් එහෙමයි. රුසියාවත් මූල්‍ය අරමුදලේ සහය අරගෙන බලවතෙක් බවට පත්වීමට හැකි වුණා.

සෑම සිසුවකුටම සරසවිවරම් දෙනවා කියලා ජනපති කියනවා. අද විශ්වවිද්‍යාල වහන්න වෙලා ආචාර්යවරු නෑ.

පාර්ලිමේන්තුව නැවත 19දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment