මුදල් වෙන්කර තිබියදීත් මැතිවරණ නොපවැත්වීම ශ්‍රී ලංකාව වැනි රටකට වැරැදි පූර්වාදර්ශයක්

250

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබියදීත් මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන දී කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටකට වැරැදි පූර්වාදර්ශයක් වන්නේ යැයි මැතිවරණ කොමිසන් සභාව හා එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී පෙරේදා (05 දා) පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, යම්කිසි සුවිශේෂී කරුණක් නිසා යම් මැතිවරණයක් කල්දමන්නේ නම් නීතියේ ප්‍රතිපාදනවලට යටත්ව එය කළ යුතු බවත් අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පළාත් පාලන මැතිවරණයක් හෝ ඕනෑම වෙනත් මැතිවරණයක් නිසි කලට නොපවත්වා කල්දැමීම ජනතාවගේ ඡන්දවල අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක් වන්නේ යැයිද පැවසීය. මැතිවරණයක් පැවැත්වීම සඳහා පියවර හා සැළසුම් සකස් කිරීමේදී මෙවර එල්ලවූ බාධාවන් මෙන් වෙනත් අන් කවර මැතිවරණයකදීවත් බාධාවන් මැතිවරණ කොමිෂන් සභාවට එල්ලවී නැතැයිද ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර හා යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.2022 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිසි පියවර නොගැනීම මගින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගකිවයුත්තන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂය, ජාතික ජනබලවේගය ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විභාගයට එක්වෙමින් ජනාධිපති නීතිඥවරයා එලෙස පැවසීය.

ඒ. ජේ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment