පාරිභෝගික අයිතිවාසිකම් දැනගත යුත්තේ ඇයි?

127

මාර්තු මස 15 වැනි දිනට යෙදෙන ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය රවී දිසානායක මහතා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි.

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අපේ රටේ ජනතාව දැනුවත්ද? නොදැනුවත් නම් දැනුවත් කළ හැක්කේ කෙසේද?

එය දෙයාකාර විය යුතුයි. එකක් පාරිභෝගිකයාට ස්වයං වගකීමක් තිබෙනවා පාරිභෝගිකයෙක් වශයෙන් තමන් විසින්ම තමා ගවේෂණය කළ යුතුයි යන මූලධර්මය. අපේ රටේ පාරිභෝගිකයා තමන්ව ආරක්ෂා වීමේ වගකීමෙන් දුරස්වෙලා. එය විශාල අඩුපාඩුවක්. දෙවෙනි කරුණ වශයෙන් පොදු නීතිය, පොදු සම්මුතින් පිළිබඳව අපේ අධ්‍යාපන ක්‍රමය, උසස් අධ්‍යාපන ක්‍රමය තුළ විධිමත් පාරිභෝගික ආරක්ෂණ අධ්‍යාපනයක් තිබිය යුතුයි. නිදර්ශනයක් වශයෙන් වාණිජ විෂය සම්බන්ධ පාඨමාලාවලට ඔය කරුණු ඇතුළත්. නමුත් පාරිභෝගිකයා යනු වාණිජ විෂය හදාරපු අය පමණක් නොව රටේ සමස්ත ජනගහනයයි. සමස්ත ජනගහනයට පොදු අධ්‍යාපන ක්‍රමවේද තිබිය යුතුයි. වර්තමාන පාසල් අධ්‍යාපනය තුළත් අවම වශයෙන් පාරිභෝගික ආරක්ෂණයට අවශ්‍ය මූලිකාංග, පාරිභෝගිකයා ආරක්ෂා වීමට අවශ්‍ය නීතිරීති තිබේද, ඒ සම්බන්ධ පාරිභෝගිකයා ක්‍රියාත්මක වීමේදී කුමන ආයතන සම්බන්ධ විය යුතුද, යන්න පිළිබඳව ඇතුළත් විය යුතුයි. ඒ වගේම ඩිජිටල් මාධ්‍ය හරහා පාරිභෝගිකයාගේ ආරක්ෂණයට අදාළ ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම කළ යුතුයි. ජාතික මට්ටම හා ආයතන මට්ටම වශයෙන් දැනුවත් කිරීම දෙයාකාරයි. සෑම පුරවැසියෙකුටම ස්වයං වගකීමක් තිබිය යුතුයි. පාරිභෝගිකයා තමා හෝ තම පවුල සම්බන්ධව පාරිභෝගික තීරණය ගැනීමකදී ඔහුට හෝ ඇයට ඒ ගැන ගවේෂණය කිරීමේ වගකීමක් තිබිය යුතුයි. පාරිභෝගිකයා ව්‍යාපාරිකයා ඉදිරියේ හොඳ ගවේෂකයෙකු ලෙස හැසිරිය යුතුයි. එහිදී අපේ පාරිභෝගිකයා පසුගාමීයි. සමහර පාරිභෝගිකයන්ට තම ආරක්ෂාව, අයිතිය සම්බන්ධව අවබෝධය තිබුණද, ගනුදෙනුවකදී ඒ වෙනුවෙන් පෙනී සිටීමට පෞරුෂත්වය නැහැ. ඒ නිසා පාරිභෝගිකයා තමා ගැන පාරිභෝගික පෞරුෂත්වය (Customer Personality) ගොඩනගා ගත යුතුයි.

වර්තමාන ආර්ථික අර්බුදයත් සමග පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝන වන ආකාරයක් දක්නට ලැබෙනවා?

වර්තමානයේ සෑම දෙයක්ම රටක ප්‍රතිපත්ති නීති තුළින් ආවරණය වන්නේ නැහැ. අපේ රටේ ආර්ථිකය උග්‍ර අර්බුදයක තිබෙන අවස්ථාවකදී විශේෂයෙන් ව්‍යාපාරික ආයතනවලට සමාජ වගකීමක් (Social Responsibility) තිබිය යුතුයි. තම ආයතනය දියුණු කළේ පාරිභෝගිකයන් නම්, ආර්ථික අර්බුදය තුළදී ආයතනික වශයෙන් ද කැපවීම් කිරීම කළ යුතුයි. ඒ වගේම වර්තමාන නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදවල තිබෙන අඩුපාඩු නිසා සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ ක්‍ෂේත්‍ර තුළ ව්‍යාපාරිකයන් අනවශ්‍ය ලාභ ලබනවා. මෙහිදී ඔවුන් නියාමනයට ලක් නොවීම හෝ නියාමනයට ලක්වීමට තිබෙන සම්පත් ප්‍රමාණය හිඟ බව දන්නා නිසා ඔවුන් පාරිභෝගිකයන්ව සූරා කෑමට පෙළඹිලා. එහිදී පාරිභෝගිකයාට විකල්පයක් නැහැ. පෞද්ගලික ව්‍යාපාර හරහා සිදුවන අසාධාරණය තේරුම් ගැනීමට නම් පාරිභෝගිකයාට රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ගැන අවබෝධයක් තිබිය යුතුයි. එහිදී සේවා ගුණත්වයක්, හොඳ භාණ්ඩ සමූහයක්, හොඳ පාරිභෝගික සේවයක් නැහැ. අසාධාරණයට ලක් වන බව දැන දැනත් පාරිභෝගිකයා එයටම යොමු වන්නේ ඔවුන්ට විකල්ප නැති නිසා. නූතන ආර්ථික අර්බුදය ඉදිරියේ මිල සම්බන්ධයෙන් සිදුවන සූරා කෑම ඉතාමත්ම අසාධාරණයි. විශේෂයෙන්ම රටක උසස් ජීවන තත්ත්වය (Qulity Of Life) පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එතැනදී ආහාර හා සෞඛ්‍ය පෙන්වා දිය හැකියි. නිදසුනක් ලෙස පසුගිය වකවානුවේ එළවළු මිල ගණන් සම්බන්ධ පැණ නැගි දරුණු ගැටලුව. මෙය නිර්මාණය කළ මිල ඉහළ යෑමක්. මිල ඉහළ උච්ඡාවචනයක් සිදු වුණා. ඇතැම් විට පාරිභෝගිකයා අදාළ එළවළු මිලදී ගැනීමෙන් වැළකුණා. මෙහිදී පාරිභෝගිකයාගේ පිළිතුරු සමග වෙළඳපොළ යාන්ත්‍රණය සකස් වුණා. පාරිභෝගිකයන් මෙහිදී ධනාත්මකව සහ අවබෝධයකින් යුතුව ප්‍රතිචාර දැක්විය යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ සිදුවන පාරිභෝගිකයන් සූරා කෑම, අනවශ්‍ය ලෙස කෘතීම මිලක් නිර්මාණය වීම තුළ තමන්ගේ අයිතිවාසිකම් ගැන නොසිතා මිල වැඩි නිසා පාරිභෝගිකයා ගුණත්වය අමතක කර බාල භාණ්ඩයන් වුවත් මිලදී ගන්නවා. එවන් තත්වයකදී ඔවුන් ආරක්ෂා කර ගන්න නිසි ක්‍රමවේදයක් තියෙනවාද යන්න ජාතික මට්ටමෙන් අවබෝධ කර ගෙන නැත. ඒ පිළිබඳ හොඳ දැනුවත් කිරීමේ ක්‍රමවේදයකුත් ස්ථාපිත විය යුතුය.

පාරිභෝගික අයිතිවාසිකම් දැනගත යුත්තේ ඇයි?

පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවලදී පැමිණිලි කළ යුත්තේ කාටද?

පාරිභෝගිකයා පැමිණිලි කිරීමේ ක්‍රමවේද රාශියක් තිබෙනවා. අපේ පාරිභෝගික ආරක්ෂණ පනත සහ පාරිභෝගිකයා සම්බන්ධයෙන් ආරක්ෂණයට ආයතන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඩිජිටල් තොරතුරු තාක්ෂණය හරහා දුරකථනවලින් දැනුවත් කළ හැකි අවස්ථාව තිබෙනවා. නමුත් වර්තමාන තත්ත්වයට අනුව කොමිසම්වලට, රාජ්‍ය ආයතනවලට පැමිණිලි කළත් ඔවුන්ටත් සම්පත් සීමිත වීම නිසා සීමාවන් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙළෙඳපොළ ගවේෂණයෙන් වැටලීම, විමර්ශනය කිරීමට ප්‍රමාණවත් යටිතල පහසුකම් නැතිනම්, පාරිභෝගික ආරක්ෂණය ගැන දැනුවත් කිරීමට ව්‍යාපාර ආයතනවලට පොදු සම්මුතියක් සහ පොදු වගකීමක් තිබිය යුතුයි. පාරිභෝගික පැමිණිලි කිරීම සඳහා ස්ථාපිත ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. ගැටලුව ඒ ක්‍රමවේද ස්ථාපිත කළද ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාර්යක්ෂම යාන්ත්‍රණයක් නොමැති කමයි. අපේ රටේ ඉහළම නීතිය වන ගැසට් එකට වුණත් පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබී තිබෙනවා. ඒ හරහා වුණත් පාරිභෝගිකයා වෙනුවෙන් මිල පාලනයක් වැනි යමක් කළ නොහැකි තත්ත්වයකදී පාරිභෝගිකයා තුළ යාන්ත්‍රණය පිළිබඳව විශ්වාසය කඩ වෙනවා. රටක රාජ්‍යය පරිපාලනය සම්බන්ධව පුළුල් හා නවීන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන මේ මොහොතේ පාරිභෝගික ආරක්ෂණය හා සම්බන්ධ යාන්ත්‍රණයන්ද නූතන ඩිජිටල් වෙළඳපොළ හා සමගාමීව වෙනස් විය යුතුයි.

නියාමනය ක්‍රමවේදයන් තිබුණත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය වෙනම නිර්මාණය කළ යුතුයි. එය සම්ප්‍රදායික නොවී යාවත්කාලීන විය යුතුයි. අපිට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගෙන පාරිභෝගිකයා දැනුවත් කළ හැකි නම් පාරිභෝගිකයාට මේ සම්බන්ධව ඉක්මන් ප්‍රතිචාර ලබා ගත හැකිවන බව මගේ විශ්වාසයයි.

ඩිජිටල් ආර්ථිකය තුළ පාරිභෝගික ආරක්ෂණයේ වැදගත්කම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ රටේ තියෙනවද?

ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළෙඳාම දැන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. දේශීය මෙන්ම විදේශීය විද්‍යුත් ඩිජිටල් ක්‍රමවේද හරහා පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීම, ප්‍රවර්ධනය කිරීම ආදිය සිදු වෙනවා. නමුත් සාම්ප්‍රදායික නීතිය තුළ එවැනි මාර්ගගත (online) ගනුදෙනුවකදී සිදුවන අර්බුදවලට සාම්ප්‍රදායික නීති ගැළපීමක් නැහැ. අපේ ලංකාව තුළ Cyber Law ස්ථාපිත කළ යුතුයි. Cyber Law යාවත්කාලීන කර අපේ රටේ

පාරිභෝගිකයාට හා ඩිජිටල් වෙළෙඳාමෙහි නියුක්ත ආයතනවලට ගැළපෙන්න සකස් කළ යුතුයි. ඒවගේම මෙවැනි මාර්ගගත ගනුදෙනු හරහා පාරිභෝගිකයට අසාධාරණයක් සිදුවුවහොත් මූලික අවස්ථාව ලෙස මෙය ආවරණය වන පනත ගැන ශ්‍රී ලංකා පොලිසිය වැනි ආයතනයක නිලධාරීන් දැනුවත් කළ යුතුයි. පොලිසිය වැනි ආයතන පරිගණක අපරාධයක් වුණොත් ඒ ගැන වාර්තා කළ යුත්තේ කාටද යන්න පිළිබඳ ආයතන මට්ටමෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීම වැදගත්.

මීට අමතරව මාර්ගගතව ව්‍යාපාරවල යෙදෙන ආයතනවලට තමන්ගේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආයතනික විධි විධාන, එමෙන්ම ජාතික මට්ටමේ විධි විධාන පිළිබඳව වෙබ් අඩවි තුළ දැනුවත් කිරීම කළ යුතුයි. අපි online credit card මගින් ගෙවීම් කිරීමේදී යම් ගැටලුවක් මතු වුවහොත්, ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ වෙබ් අඩවිය දක්වා තිබිය යුතුයි. මම හිතනවා අපේ රටේ online ව්‍යාපාර කරන ආයතන මීට වඩා පාරිභෝගිකයා වෙනුවෙන් වගවීමේදී (Accountability) ධනාත්මකව ක්‍රියාත්මක විය යුතුයි.

සාකච්ඡා කළේ

ඉෂාරා විජේරත්න
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
(විශේෂවේදී දෙවන වසර) කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment