අනුකම්පාව එපා! අපිත් එක්ක ගමනක් යමු

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට අලුත් පනත් ගේනවා…
සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්

අනුකම්පාව එපා! අපිත් එක්ක ගමනක් යමු

ආබාධිත අයට පින් පඩි ඕන නෑ ස්වශක්තියෙන් නැඟිටින්න වාරුවක් දෙන්න…
ආසියා පැසිපික් කලාපයේ ආබාධිත අන්තර්කරණය පිළිබඳ විශේෂඥ කසුන්ජීත් ගීමිත පටන්නආරච්චි

මෙරට ආබාධිත ප්‍රජාව ලක්‍ෂ 16 ට වැඩියි රැකියාවල නිරත ආබාධිතයන් 1% යි…

වයස්ගත ආබාධිතයන් රැකබලාගැනීමට රජයට තවම වැඩපිළිවෙළක් නෑ…

ආබාධිත ළමයි විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම ඉතා අඩුයි…

දෙපා වාරු නැති පුද්ගලයෙක්ට දුම්රියකට, බස් එකකට ගොඩ වෙන්න පහසුකම් නෑ

ගුවන්තොටෙදී රෝද පුටුවක් ඉල්ලගන්න වෙලා…

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් යනු සිය ජීවිතයේදී තම අවශ්‍යතා සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සපුරාගැනීමට නොහැකි ආකාරයේ කායික හෝ මානසික ඌනතා සහිත පුද්ගලයන්ය. එම තත්ත්වය උපතින්ම ඇති වූවක් හෝ ජීවන ගමනේදී නොසිතු මොහොතක ඇති වූවක් විය හැකිය. එමෙන්ම පෙනීම, ඇසීම, සංචරණය, මතකය, සංජානනය සහ සන්නිවේදනය ආදී තත්ත්වයන් යටතේ ආබාධිත භාවයට පත් විය හැකි බවද සැබෑය. එවැනි අසරණ පුද්ගලයින් රැකබලාගැනීමට ප්‍රමුඛතාවය ලබාදීම සෑම ශිෂ්ට සමාජයකම ප්‍රධාන කාර්යභාරයකි. එමෙන්ම ඕනෑම රටක බලාත්මක රජය විසින් එරට ආබාධිත පුද්ගලයන් රැකබලාගැනීම ප්‍රධාන කාර්යභාරයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලෝක ජනගහනයෙන් 15% ක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව හඳුනාගෙන ඇත. එම ප්‍රජාව ලෝකයේ විශාලතම ප්‍රතිලාභීන් නොවන සුළුතර ජනතාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලෝක බැංකුව විසින් පෙන්වා දී ඇත. එමෙන්ම ලෝක ආබාධිත ජනගහනයෙන් 80% ක් ජීවත් වනුයේ සංවර්ධනය වෙමින් පවතින මෙන්ම ඌන සංවර්ධිත රටවලය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2012 වර්ෂය වන විට මෙරට ජනගහනය ලක්‍ෂ 204 කි. එම ජන අනුපාතය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලක්‍ෂ හයක් ලෙස ගණනය කර තිබිණි. එනම් එම වර්ෂයේදී මිනිසුන් 1000 කට 87 දෙනකු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබිණි. මේ වන විට මෙරට ජනගහනය මිලියන 22 කි. එම ජනගහනයෙන් ලක්‍ෂ 16 ක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස ජීවත් වෙති. මෙරට වයස්ගත ප්‍රජාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සංඛ්‍යාව ද ප්‍රමාණාත්මකව ඉහළ යන බව වාර්තා වේ. වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ පුද්ගලයන් අතරින් 50% කට වඩා වැඩි සංඛ්‍යාවක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව වාර්තා වේ. වයස අවුරුදු අසූව ඉක්ම යන විට එම අගය 60% දක්වා ඉක්ම යන බව ද වාර්තා වේ. එමෙන්ම මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවෙන් හතරෙන් එකක් පමණ සක්‍රියව ආර්ථික ක්‍රියාවලියට දායක වේ. අනුන්ට අත පා ජීවත්වීම වෙනුවට අභිමානවත් අයුරින් මුදල් උපයමින් ජීවත්වීමට වෙහෙසෙන ආබාධිත පුද්ගලයන් දැකීම ද සතුටකි. ආබාධවලට අභියෝග කරමින් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයම ජයගෙන සිටින කසුන්ජීත් මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අත්ව ඇති ඉරණම සම්බන්ධයේ දුක හිතෙන කතාවක් කීවේය. මේ ඒ කතාවය.

“ආබාධිත පුද්ගලයන් සඳහා වන අන්තර් ජාතික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය 2007 වර්ෂයේදීයේ අත්සන් කරනවා. එම ප්‍රඥප්තියට ප්‍රථම වතාවට අත්සන් කරපු රටවල් අතර අපේ රටත් ඉන්නවා. ඒත් එම ප්‍රඥප්තියේ ඇතුළත් නීති ප්‍රවාහයන් මෙරට නීතියට අනුගත කරගන්න තවම අපි අපොහොසත් වෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට සමාන අයිතිවාසිකම් ආබාධිත පුද්ගලයන්ටත් තියෙන බව මෙරට නීතිය තුළ ප්‍රමාණවත් ආකාරයට පිළිගෙන නෑ. මෙරට ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන ප්‍රධනතම ගැටලුව ඒක තමයි. ඒ වගේම ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට විතරක් නෙමෙයි. මෙරට සෑම අමාත්‍යාංශයකට ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් කොටසක් තියෙනවා. රටේ සාමාන්‍ය පුද්ගලයන්ට වගේම ආබාධිත අයටත් පොදු ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතුයි. ලෝකෙ සමහර රටවලදී රෝද පුටුවක වාඩි වුණහම එරට වටේම ගිහින් එන්න පුළුවන්. ඒ රටවල ආයතනවලත් ආබාධිත අයට පහසුවෙන් ගමන් කරන්න අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. අපේ රටේ දෙපා වාරු නැති පුද්ගලයෙක්ට දුම්රියකට, බස් එකකට ගොඩ වෙන්න පහසුකම් නෑ. මේ වෙනකොට ගුවන්තොටුපළෙත් රෝද පුටුවක් ඉල්ලගන්න වෙලා. රෝද පුටුවක් අවශ්‍ය බව අදාළ අංකයට දැනුම් දීලා රෝද පුටුව අරගෙන එන තෙක් අපි හිටගෙන ඉන්න ඕනෑ. අන්තර්ජාතික ගුවන් තොටුපළක ආබාධිත පුද්ගලයන් හිටගෙන ඉන්නවා විදේශිකයන් දකිනකොට එරට ගැන ජාත්‍යන්තරයට යන ප්‍රතිරූපය ගැන තව කතා ඇවැසි නෑ. ඒ වගේම සමහර ආයතනවල තට්ටු ගණන් පඩි නඟින්න ඕනෑ. ඒ සමහර ගොඩනැඟිලිවල තවම විදුලි සෝපාන නෑ. එවැනි ස්ථානවලට ආබාධිත කෙනෙක් යනවා නම් තව කෙනෙක් උස්සගෙන යන්න ඕනෑ. අන්ධ පුද්ගලයන්ට විශේෂ වූ ඇවිදින මංතීරු රට හැම තැනම නෑ. ඒ තත්ත්වයට වගකියන්න ඕනෙ ප්‍රවාහන අමාත්‍යාංශය සහ අදාළ ආයතන භාර අමාත්‍යාංශය. ඒ විදිහට එකින්, එක විස්තර කරන්න පුළුවන්. එහෙම කළොත් මේ කතාව බෝරින් වෙනවා. මේ ගැටලුවලට ප්‍රධාන නොදැනුවත්කම නෙමෙයි, නොසැලකිලිමත්කමයි. ඒ වගේම රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ලබාදෙන ආබාධිත පුද්ගලයන් හෝ වයස්ගත වූ විට රැකබලාගැනීමට මෙරට රජයට තවමත් නිසි වැඩපිළිවෙළක් නෑ. මම දකින විදිහට ලෝකයේ වෙනත් රටවල ආබාධිත පුද්ගලයන්ට ලැබෙන පහසුකම්, පිළිගැනීමට සාපේක්‍ෂව අපේ රට තියෙන්නෙ බින්දුවේ. ආබාධිත කෙනෙක්ට අවශ්‍ය පින් පඩියක් නෙමෙයි, අනෙක් අයට වගේම සමාජයේ ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය. ස්වශක්තියෙන් නැඟිටින්න වාරුවක්. මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් 10% ක් පමණ මෙරට ආර්ථිකයට වැඩිදායී පුද්ගලයන් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒත් මෙරට රජය ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන්නෙ නෑ. අද, ඊයේ නෙමෙයි, අතීතයේ ඉඳලා මේ රටේ ආබාධිත පුද්ගලයන්ට තැනක් නෑ…” මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට තිබෙන ගැටලු සම්බන්ධයෙන් සංවේදී කතාවක් කළ කසුන්ජීත් ගීමිත පටන්නආරච්චි තිස්තුන් හැවිරිදි තරුණයෙකි. උප්පත්තියෙන්ම රැගෙන ආ ඇවිදීමට තිබෙන ආබාධය ඔහුගේ දෙමවුපියන්ට බරක් නොවිණි. මවුපියන්ගෙ මඟපෙන්වීම යටතේ කසුන්ට ද බරක් නොවිණි. කළුතර විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධියක් ලබාගෙන සිටින ඔහු වසර හයක කාලයක සිට ලෝකයම පිළිගත් ජාත්‍යන්තර ආයතනයක ආබාධිත අන්තර්කරණය පිළිබඳ විශේෂඥයෙක් ලෙස ලංකාව නියෝජනය කරමින් සිටිති. ආසියා පැසිපික් කලාපයේ ප්‍රථම ආබාධිත අන්තර්කරණය පිළිබඳ විශේෂඥයා ද ඔහුය.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අධ්‍යාපන අයිතීන් සුරක්‍ෂිත කළ යුතු බවට අන්තර්ජාතික වශයෙන් එකඟතාවන්ට පැමිණ ඇති පසුබිමක මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවෙන් පරිපූර්ණ අධ්‍යාපනය වෙත යොමු වී ඇත්තේ 5% කට අඩු ප්‍රමාණයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව නොතිබීම, පවතින ස්වල්පයක් වූ අධ්‍යාපන මධ්‍යස්ථානවල තිබෙන පහසුකම් ප්‍රමාණාත්මක නොවීම, පුහුණු ගුරුවරුන් නොමැතිකම ආදී කාරණා මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් නිතර හඬ අවදි කරන බොහෝ දෙනකුට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් පිළිබඳ අමතකවීම ද පුදුමයකි. එමෙන්ම රාජ්‍ය සේවයේ 3% ට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බඳවාගැනීමේ ක්‍රමවේදයක් පැවැතිය ද මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රාජ්‍ය, පෞද්ගලික අංශයේ රැකියාවලට බඳවාගැනීම 1% ත් අඩුය. අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් නොමැතිකම ඉස්මතු කරමින් ආබාධිත පුද්ගලයන් රැකියාවලට බඳවාගැනීම ප්‍රතික්‍ෂේප කරමින් සිටිති. හඳුන්කූරු, පහන් තිර නිෂ්පාදනය වැනි ස්වයං රැකියාවලින් ඔබ්බට ගොස් වැඩි ආර්ථික වාසි සහිත කර්මාන්තවල නිරතවීමට අවශ්‍ය මගපෙන්වීම අදාළ ආයතනවලින් ලබා නොදෙන බව ද පෙනේ.

එමෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ විශේෂ අවශ්‍යතා සහිත ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කරගෙන ගිය ස්වයං රැකියා කර්මාන්ත හා සුළු වෙළෙඳ ව්‍යාපාර බොහෝමයක් බිඳ වැටී තිබේ. නිෂ්පාදන කිරීම් සඳහා අමුද්‍රව්‍ය නොමැති ගැටලුව ද දැඩිව බලපාන බව වාර්තා වේ. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සහාය තාක්‍ෂණික උපකරණ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදනකරුවන් ගැන රජය කිසිදු දැනුවත් භාවයක් නොමැති බව ද ලැබෙන ආරංචි මාර්ගය. එමෙන්ම අධික ලෙස ආනයනික බදු ඉහළ යෑම තුළ ආබාධිත පුද්ගලයන් පරිහරණය කරන මෙවලම් සහ උපකරණ මිල ගණන් තුන්, හතර ගුණයකින් වැඩි වී ඇති බව ද වාර්තා වේ. රෝද පුටු සහ ඒ සඳහා අවශ්‍ය අමතර කොටස්, කිහිළිකරු, සැරයටි සහ ඒවාට අවශ්‍ය අමතර කොටස්, ශ්‍රවණධාර උපකරණ සහ ඒවාට අවශ්‍ය අමතර කොටස්, දෘෂ්‍යාබාධිත පුද්ගලයන් කියැවීම සඳහා භාවිත කරන බ්‍රේල් උපකරණ සහ අමතර කොටස් ඒ අතර ප්‍රධානය. දැනට වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ තිබෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පාවිච්චි කරන උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද විවිධ ගැටලු මතු වෙමින් තිබෙන බව වාර්තා වේ. අධික මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් තොර සහාය තාක්‍ෂණික උපකරණ වෙළෙඳපොළේ අලෙවි කිරීම තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව ද එම ප්‍රජාව තුළින් ඇසෙන සංවේදී කතාවකි. එමෙන්ම මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීමේ ප්‍රවණතාවක් ද ඇති බව වාර්තා වේ. එහෙයින් එම පුද්ගලයන් මානසික වශයෙන් දැඩි පීඩාවන්ට පත්ව ඇති බව ද වාර්තා වේ.

ආගමික විශ්වාස සහ විවිධ මති මතාන්තර අනුව ආබාධිත තත්ත්වයට පත්වීම අවාසනාවන්ත බවේ සංකේතය ලෙස හුවා දැක්වීම වැනි පටු ආකල්ප මත මෙරට බහුතරය එල්බ සිටිති. එහෙත් මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, මවුපියන්, සහෝදරයන් තම පවුලෙන් ඈත් කොට තැබීමට සහෝදර සාමාජිකයන් කටයුතු නොකරති. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් නඩත්තු කිරීම කොතරම් අපහසු කාර්යක් වුවද එම සාමාජිකයාව හැකි පමණින් පෝෂණය කිරීම, රැකබලාගැනීම, ආදරය, කාරුණාව දැක්වීමට ඇතැම් සහෝදරයන්, මවුපියන් කැප වී සිටිති. එම තත්ත්වය පුද්ගලයාගෙන්, පුද්ගලයාට කුටුම්භයෙන්, කුටුම්භයට වෙනස් වේ. එහෙත් මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට පොදු වූ ප්‍රතිපත්තියක් මෙන්ම වැඩපිළිවෙළක් තිබිය යුතුය.

1996 වර්ෂයේදී සම්මත කළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම සඳහා වූ පනත යටතේ සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය යටතේ මෙරට විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පහසුකම් සැපයීමට රජය බැඳී සිටී. ආබාධිතයන් වෙනුවෙන් මහලේකම් කාර්යාලයක් පිහිටුවා තිබේ. එම මහලේකම් කාර්යාලය තුළ ආබාධිත සභාවක් පිහිටුවා තිබේ. පාර්ලිමේන්තුවේ ආබාධිත සංසදයක් පිහිටුවා තිබේ. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ගැන සොයාබැලීම රජයේ ප්‍රධාන කාර්යභාරයෙන් ඔබ්බට ගිය මානුෂීය යුතුකමක් බව ද සැබෑය. එහෙත් මෙවර අයවැයෙන් හෝ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව පිළිබඳ රාජ්‍ය අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රැකබලාගැනීම වෙනුවෙන් ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් මෙරට රජයට ලබා දුන් මහා පරිමාණ ආධාර මුදල්වලට සිදුව ඇති දේ ගැන කිසිවෙක් කතා නොකිරීම ද පුදුමයකි. ලෝක සංවිධානවලින් ලබාදෙන ඩොලර් කුට්ටි යටි මඩි නොගසා ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මෙරට රජයේ වගකීම ය. එහෙයින් මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා රජය කරගෙන යන වැඩ කටයුතු ගැන විමසා බැලීමට සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතාව අපි හමු වීමු. පෙළගැසෙන කතාවට ඔහු ඉදිරිපත් කළේ මෙවැනි අදහසකි.

“පුද්ගලයාගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට නම් මානසික දිළිඳු භාවය නැති කරන්න ඕනෑ. ශිල්පීය දැනුම වැඩි කරන්න ඕනෑ. ඒ නිසා ආබාධිත පුද්ගලයන් සවිබලගැන්වීමට නම් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පුද්ගලයන් බවට පරිවර්තනය කරන්න ඕනෑ. සවිබලගැන්විය හැකි ආබාධ සහිත පුද්ගලයන් හඳුනාගෙන නව තාක්‍ෂණය තුළ ඔවුන්ව සවිබලගැන්වීමට අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ආබාධිත දරුවන්ටත්, සාමාන්‍ය ළමයින් සමඟ එකට ඉඳගෙන අධ්‍යාපනය ලබන සිස්ටම් එකක් හදාගෙන යනවා. මෙරට ආබාධිත ළමයි විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ ප්‍රවණතාව දශම තුනකටත් අඩු මට්ටමක පවතින්නෙ. එම සංඛ්‍යාව ඉහළට ගැනීමට මේ වනවිටත් වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම 1996 වර්ෂයේදී සම්මත වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමේ පනත දැන් යල්පැන ගිහින්. ඒ පනත අලුත් කරන්න කාලයක ඉඳලා සූදනම් වුණා. ඒත් තවම පනත සම්පත කරගන්න බැරි වෙලා තියෙනවා. මේ මාසෙ දවසක අපි එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. සංඥා භාෂා පනතක් හඳුන්වාදීමටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම ආබාධිත පුද්ගලයන් සාමාන්‍ය පුරවැසියන් බවට පත් කිරීමට නම් සංචාරක ව්‍යාපාරයට ඔවුන්ව ඇතුළත් කරන්න ඕනෑ. විදේශීය රටවල ආබාධිත පුද්ගලයන්ට මේ රටේ සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කරන්න ඕනෑ. සියල්ල සම්පූර්ණ කරලා එම කටයුත්ත ආරම්භ කරන්න බෑ. ඒ නිසා අවම පහසුකම් යටතේ ලෝකයේ ආබාධිත සංචාරකයන්ට මේ රට විවෘත කරනවා. දෙසැම්බර් 03 වැනිදා ලෝක ආබාධිත දිනයට සමගාමීව කොළඹ කොටුවේ සිට දුම්රියෙන් නුවරට ගමන් කර දළදා මාලිගාව අසල ඉඳගෙන එම පණිවිඩය ලෝකයට ඉදිරිපත් කරනවා. බස්වලින් නැවත කොළඹට පැමිණෙනවා. ඒකෙන් තව දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ආබාධිත පුද්ගලයන්ට වගේම විදේශීය ආබාධිතයන්ට පහසුවෙන් සංචාරය කිරීමට මෙරට දුම්රිය සේවය, බස් සේවය දියුණු කළ යුතුයි කියන පණිවිඩයත් සමාජගත කිරීමයි. මේ වැඩසටහන අවසානයේ මෙරට යැපෙන්නන් ලෙස ඉතිරි වෙන්නෙ පූර්ණ ආබාධිත සහිත පුද්ගලයන් විතරයි. සෙසු සියලුම ආබාධිත පුද්ගලයන් සමාජයට, රටට වැඩදායී පුද්ගලයන් බවට පරිවර්තනය කරනවා. ඒක මගෙ සිහිනයක්…”

සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතාගේ සුබ සිහිනය යථාර්ථයක් වනු දැකීම අපගේ ද සිහිනයකි. එම සිහිනය සැබෑ වීම මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වාසනාවකි. එහෙත් රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලැබෙන ඩොලර් මිටියටත් විඳින දේශපාලනඥයන් සහිත රජයක් යටතේ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයාගේ සිහිනය යථාර්ථයක් බවට පත් වේද යන්න අපට ඇත්තේ සැකයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment